ගෙදරදීම හදාගන්න පුළුවන් ස්වභාවික ෆේස් පැක් (Face Packs) 7ක්

පහුගිය දවස්වල අපි ලස්සන ගැන ගොඩක් කතා කළානෙ. ලස්සන කියන්නෙ ඉතින් කවදා කොහොම කතා කළත් ඕනම කෙනෙක් කැමති, උනන්දුවෙන් කතා කරන මාතෘකාවක්. කෙනෙකුගේ ලස්සන ගැන කතා කරනකොට මුල්ම තැනට දාල කතා කරන, අමතක කරන්නම බැරි අංගය තමයිනෙ මුහුණ කියන්නෙ. ඉතින් ඒ නිසාම අපි මුහුණේ ලස්සන වැඩි කරගන්න, තියෙන ලස්සන හරි විදිහට නඩත්තු කරල දිගු කාලයක් රැකගන්න පුළුවන් විදිහේ දේවල් ගැන ටිකක් කතා කරන්න හිතුව. මේ කියන්න යන්නෙ ලොකු වියදමක්, සැලෝන් ගානෙ බඩගෑමක් නැතුව ගෙදරදීම කරගන්න පුළුවන් ෆේස් පැක්ස් කීපයක් ගැනයි.

මොකක්ද ඇත්තටම මේ ෆේස් පැක් එකක් කියන්නෙ? ෆේස් පැක් එකක් කියන්නෙ මුහුණ මත ආලේප කරන ඝණ ආලේපයක්. මුහුණේ හමට අවශ්‍ය අතිරේක පෝෂණය ලබාදීමේ අරමුණින් තමයි මේ ෆේස් පැක් එකක් දාන්නෙ. හොඳින් පිරිසිඳු කරගත් මුහුණේ ෆේස් පැක් එකක් ආලේප කරලා විනාඩි 20ක් පැය බාගයක් වගේ කාලයක් වේලෙන්න ඇරල, සෝදල ඉවත් කරල හොඳ moisturizing cream එකක් ආලේප කරන එක තමයි හරිම විදිහ.

ඉතින් අපි මේ කියන්න යන්නෙ ගෙදරදීම හදාගෙන ආලේප කරගන්න පුළුවන් සරල හැබැයි ගොඩක් හොඳ ෆේස් පැක් කීපයක් ගැනයි. මේ හැම එකක්ම ට්‍රයි කරන්න කලින් මේවගේ අඩංගු වෙන අමුද්‍රව්‍ය වලට තම තමන්ගේ හම අසාත්මිකතා දක්වනවද කියන එක අනිවාර්යෙන්ම හොයලා බලල ඉන්න කියන එකත් මුලින්ම කියන්නම ඕන.

 

1. ලෙමන් සහ මී පැණි

ලෙමන් උදව් වෙනව මුහුණේ මැරුණු සම ඉවත් කරන්න, blackheads ඉවත් කරන්න වගේම කුරුලෑ සහ අවපැහැ වීම් අඩු කරන්නත්. මී පැණි කියන්නෙ හමට ඉතාම ගුණදායක ප්‍රතිඔක්සිකාරකයක් වගේම ප්‍රතිජීවකයක්. මේ දෙකෙන් ෆේස් පැක් එකක් හදාගන්නෙ මෙන්න මෙහෙමයි.

මී පැණි මේස හැඳි බාගෙකට ලෙමන් යුෂ තේ හැන්දක් කලවම් කරල මුහුණේ හොඳින් ආලේප කරන්න. විනාඩි 20ක් පැය බාගයක් වගේ කාලයක් ආලේපය මුහුණ මත වියලෙන්න ඇරල මද උණුසුම් වතුරේ පොඟවපු ස්පොන්ජ් එක්ක හෝ ටවල් එකක් භාවිතා කරලා හෝදලා අරින්න. මේ ආලේපය ගාගෙන ඉන්න වෙලාවට මුහුණ අව්වට නිරාවරණය වෙන්න දෙන්නනම් එපා. මොකද ලෙමන් නිසා මුහුණ කැසීම වගේම අව්වට පිච්චීමක් වෙන්නත් පුළුවන්.

 

2. මී කිරි සහ කඩල පිටි

මේකත් මුහුණේ මැරුණු සම ඉවත් කරලා නැවුම් පැහැපත් පෙනුමක් ලබාදෙන්න පුළුවන් හොඳ ස්වභාවික ෆේස් පැක් එකක්. මී කිරි කියන්නෙ හමේ තෙතමනය හොඳින් රැකදෙන්න පුළුවන් දෙයක්.

  • කඩල පිටි මේස හැඳි දෙකක්
  • මී කිරි මේස හැන්දක්
  • මී පැණි තේ හැන්දක්
  • පිරිසිඳු කහ කුඩු ස්වල්පයක්

මේ සියල්ලම එකට මිශ්‍ර කරලා මුහුණේ ආලේප කරන්න. හොඳින් වේලෙනකන් ඉඳල හෝදලා ඉවත් කරන්න.

 

3. තක්කාලි

හමේ ලප කැළැල් ඉවත් කරන්න හොඳම බෙහෙතක් තමයි තක්කාලි කියන්නෙ. ඒ වගේම කුරුලෑ, හමේ තෙල් ගතිය වගේ ගැටළු වලටත් තක්කාලි හොඳ ස්වභාවික ප්‍රතිකාරයක්. උණු වතුර භාජනේක දාලා පොතු ඉවත් කරගත්ත තක්කාලි තලපයක් වෙනකන් පොඩි කරලා මුහුණේ ආලේප කරන්න. විනාඩි 10ක් වගේ කාලයකින් හෝදලා අරින්න.

 

4. කෙසෙල් සහ යෝගට්

කුරුලෑ, කුරුලෑ කැළැල්, හමේ අවපැහැය වගේ හුඟක් ගැටළු වලට හොඳ ෆේස් පැක් එකක් තමයි මේ කෙසෙල් සහ යෝගට් පැක් එක. සාමාන්‍ය යෝගට් කෝප්ප 1/3 කට හොඳින් පොඩි කරගත්ත කෙසෙල් ගෙඩියක් කලවම් කරලා මුහුණ මත ආලේප කරලා විනාඩි 15ක් හෝ 20ක් වගේ කාලයක් තියලා හෝදලා අරින්න.

 

5. කැරට් සහ මී පැණි

කැරට් වල අඩංගු විටමින් A නිසා කැරට් කියන්නෙ ස්වාභාවිකවම හමේ පැහැය වැඩි කරන්න පුළුවන් අමුද්‍රව්‍යයක්. ටිකක් ප්‍රමාණයෙන් ලොකු කැරට් ගෙඩියක් අරගෙන හොඳින් තම්බා ගන්න. නිමෙන්න ඇරලා හොඳින් පොඩි කරගන්න. මේ පොඩිකරගත් කැරට් වලට පිරිසිඳු මී පැණි තේ හැඳි 4ක් එකතු කරලා මුහුණ මත හොඳින් ආලේප කරන්න. විනාඩි 10කට පස්සෙ සිසිල් වතුරෙන් හෝදන්න.

 

6. හාල් පිටි  සහ සුදු හඳුන්

හාල් පිටි සහ සුදු හඳුන් කියන දෙවර්ගයම හමේ පැහැපත් බව වැඩි කරල දීප්තිමත් හමක් ලබාගන්න උදව් කරන අමුද්‍රව්‍යයන්. ඒ වගේම හාල් පිටි වලින් හම මත තියෙන මැරුණු සෛල හොඳින් ඉවත් කරගන්න පුළුවන්. ඉතින් මේ දෙකම එකතු කරලා හදන මේ ෆේස් පැක් එකත් මුහුණට ඉතාම හොඳ ෆේස් පැක් එකක්. සුදු හඳුන් කුඩු අපිට ඕනම සිංහල බෙහෙත් බඩු කඩේකින් අඩු මුදලකට අරගන්න පුළුවන්.

හාල්පිටි මේස හැඳි එකකට සුදු හඳුන් කුඩු තේ හැඳි එකක් කලවම් කරන්න. මේ මිශ්‍රණයටම කිරි පිටි තේ හැඳි භාගයක්, කඩල පිටි තේ හැඳි එකක් සහ රෝස වතුර තේ හැඳි එකක් කලවම් කරලා හොඳින් මිශ්‍ර කරල මුහුණේ ආලේප කරමින් විනාඩි 10ක් විතර මුහුණ සම්බාහනය කරන්න. ඊට පස්සෙ විනාඩි 15ක් විතර වේලෙන්න තියලා මද උණුසුම් වතුරෙන් හෝදන්න.

 

7. කෝමාරිකා

කෝමාරිකා කියන්නෙත් මුහුණට හරිම ගුණදායක, ඒ වගේම සිසිල්කාරක ශාකයක්. කුරුලෑ, කුරුලෑ ලප, වෙනත් අඳුරු ලප, වියලි සම වගේ හුඟක් ගැටළු වලට මේ කෝමාරිකා ගොඩාක් හොඳ ප්‍රතිකාරයක්. දිනපතාම, දවසට දෙපාරක් උනත් ආලේප කළාට කිසිම ගැටළුවක් නැති ස්වභාවික ප්‍රතිකාරයක්. ඒ වගේම විවිධ සමේ වර්ගයන්ට වෙන වෙනම ෆේස් පැක්ස් විදිහට හදාගන්නත් පුළුවන් අමුද්‍රව්‍යයක්.

අද මේ කියන්න යන්නෙ තෙල් සහ කුරුලෑ අධික සමකට හොඳ කෝමාරිකා පැක් එකක් ගැනයි.

පොත්ත නොගෑවෙන්න හොඳින් කෝමාරිකා මදය සූරගන්න. මොකද පොත්ත ගෑවුනොත් හම මතුපිට කසන්න පුළුවන්. එහෙම සූරාගත්ත කෝමාරිකා මද මේස හැඳි දෙකකට මී පැණි බින්දු 4ක් විතර එකතු කරල හොඳින් කලවම් කරල මුහුණ මත ආලේප කරන්න. විනාඩි 20ක් විතර වේලෙන්න තියල ම ද උණුසුම් වතුරෙන් හෝදන්න.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *