හාමුදුරු චරිත හරහා අපිට සමීප වුණු ටෙලි සිනමා නළු​වෝ

හාමුදුරුවෝ කියන්නේ අපේ රටේ සංස්කෘතිය එක්ක අවුරුදු දහස් ගණනක් තිස්සේ බැඳුණු චරිතයක්. මේ නිසා අපේ රටේ නිර්මාණය වන කලා නිර්මාණ තුළ හාමුදුරුවරුන්ගෙ චරිත විවිධ අවස්ථාවල නිරූපණය වෙලා තියෙනවා. අපි අද කතා කරන්න යන්නේ ඒ විදිහට කලා නිර්මාණවල දී හාමුදුරුවන්ගේ චරිතය අමතක නොවන ආකාරයට නිරූපණය කළ කලාකරුවෝ කීප දෙනෙක් පිළිබඳව.

 

1. සතිශ්චන්ද්‍ර එදිරිසිංහ 

මේ ලැයිස්තුවේ මුලටම එන්න ඕන කලාකරුවා තමයි සතිශ්චන්ද්‍ර එදිරිසිංහ. ‘සැඩොල් කඳුළු’ චිත්‍රපටයේ පළවෙනි වතාවට හාමුදුරුවන්ගේ චරිතය නිරූපණය කරපු සතිශ්චන්ද්‍ර එක්තරා වාර්තාවකටත් හිමිකම් කියනවා. ඒ තමයි තප්පර අනූවක රංගනයක් වෙනුවෙන් සරසවි සම්මාන උළෙලේ ජූරියේ විශේෂ කුසලතා සම්මානයක් හිමිකර ගැනීම. ඒ ‘කොටි වලිගය’ චිත්‍රපටියේ හාමුදුරු නමකගේ චරිතයක් නිරූපණය කිරීම වෙනුවෙන්. ඊට පස්සේ ටෙලි නාට්‍ය හරහා පළමු වරට ඔහු හිමිනමකගේ චරිතය නිරූපණය කළේ ‘පළිඟු මැණිකේ’ ටෙලි නාට්‍ය තුළින්.

 

2. ඩබ්ලිව්. ජයසිරි

ජය ශ්‍රී මහ බෝධිය යට ඉඳන් අඩියක් ගහන්න ඕන වගේ අශිෂ්ට සම්පන්න කතා කියපු ඩබ්ලිව් ජයසිරිට ලංකාවෙම ජනප්‍රිය වෙන්න ලැබුනේ භික්ෂු චරිතයක් හරහාම වීම එක්තරා විදිහක උත්ප්‍රාසජනක කාරණයක්. අද වෙනකොට ‘සිදූ’ ටෙලි නාට්‍යයේ ලොකු හාමුදුරුවෝ විදිහට ඔහු දිනපතාම වගේ අපේ ආලින්දයට එනවා. සරත් වීරසේකර අධ්‍යක්ෂණය කරපු ‘ගාමණී’ චිත්‍රපටයේත් යුද තර්ජනයට ලක්වූ ගම්මානයකට නායකත්වය දෙන භික්ෂූන් වහන්සේ නමකගේ චරිතයක් ඔහු නිරූපණය කළා.

 

3. ජයලත් මනෝරත්න 

තමන්ගේ දිගුකාලීන රංගන ජීවිතය තුළ ජයලත් මනෝරත්න එකම එක අවස්ථාවක විතරයි භික්ෂු චරිතයක් රඟපාලා තියෙන්නේ. ඒ  සූරිය අරණ චිත්‍රපටියේදී. මේ චිත්‍රපටය තුළ දී සාම්ප්‍රදායික භික්ෂු චරිතය යම්තාක් දුරකට වෙනස් අයුරකින් නිරූපණය වී තිබුණා. මනෝරත්න කියලා තියෙන විදිහට මේ චරිතය නිරූපණය කරන්න ඔහු සිහියට නගා ගෙන තියෙන්නෙ දිඹුලාගල නායක හාමුදුරුවන්ව

 

4. බුද්ධදාස විතානාච්චි 

බුද්ධදාස විතානච්චි මෑත කාලයේදී තිරගත කළ චිත්‍රපටි තුනක ලංකාවේ ඉතිහාසය තුළ නම රන්ඳපු සුවිශේෂී භික්ෂූන් වහන්සේලාගේ චරිත තුනක් රඟපෑවා. ‘මහරජ ගැමුණු’ චිත්‍රපටයේ මහා සිව මහරහතන් වහන්සේ ලෙසත්, ‘ඇහැලේපොළ කුමාරිහාමි’ චිත්‍රපටයේ වාරියපොළ සුමංගල හිමියන් ලෙසත්, ‘ආලෝකෝ උදපාදී’ චිත්‍රපටයේ කුපික්කලතිස්ස හිමියන්ගේ චරිතයත් ඔහු විසින් රඟපෑවා. කෙසේවෙතත් මෙම භික්ෂු චරිතවලට තමන් සීමාවී ඇති බව දැනුන නිසා මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ චරිතය රඟපාන ලෙස කරන ලද ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ බවයි ඔහු පවසන්නේ.

 

5. තුමිඳු දොඩන්තැන්න 

කූඹියෝ ටෙලි නාට්‍යයේ ජෙහාන් විදිහට ජනප්‍රිය වෙන්න කලින් තුමිඳු දොඩන්තැන්න විසින් සිදු කරපු විශිෂ්ටතම රංගනය විදිහට ‘සංකාරා’ චිත්‍රපටයේ චිත්‍ර ඇඳීම සිදුකරන භික්ෂුන්වහන්සේගේ චරිතය හඳුන්වන්න පුළුවන්. හැබැයි කූඹියෝ රඟපෑමත් එක්ක බොහෝ දෙනෙක්ට තුමිඳු විසින් එහෙම චරිතයක් නිරූපණය කරාද කියන එකත් අමතකයි. තේලපත්ත ජාතකය සිතුවම් කරන එම භික්ෂූන්වහන්සේගේ සිත ඒ ගමෙහි වාසය කරන තරුණියක් (සචිනි අයේන්ද්‍රා) කෙරෙහි ඇදී යනවා. මෙම චෛතසික ගැටුම තුමිඳු දොඩන්තැන්න විසින් ඉතා මැනවින් නිරූපණය කර තිබුණා.

 

6. ජේ.එච් ජයවර්ධන

දැනට ජීවිතයේ තිස්වැනි  විය පසු කර ඇති අයට පොඩි කාලේ බලපු ‘පිළිම වහන්සේ’ ඒකාංගික නාට්‍ය හොඳට මතක ඇති. ඒ අයට ලොකු හාමුදුරුවන්ගේ චරිතය නිරූපණය කරපු රංගන පෞරුෂය ජේ.එච් ජයවර්ධනවත් ඒ විදිහටම මතකයේ රැඳිලා තිබීම අනිවාර්යයි. තමන්ගේ රංගන ජීවිතයේ අවස්ථා කිහිපයකදීම භික්ෂුවකගේ චරිතය නිරූපණය කරපු ජේ.එච් ජයවර්ධන, එම චරිතය නිරූපණය කිරීමට පෙර පන්සලකට ගොස්  භික්ෂූන් වහන්සේ නමකගේ චරිතය අධ්‍යයනය කළ බව සඳහන් වනවා.

 

7. තිස්ස බණ්ඩාරනායක 

අද වෙනකොට ලංකාවෙ වැඩිම වතාවක් භික්ෂු චරිතය රඟපාපු නළුවා විදිහට තිස්ස බණ්ඩාරනායක හඳුන්වන්න පුළුවන්. එම චරිතයන් බැහැරව විවිධ අවස්ථාවලදී වෙනත් චරිත නිරූපණය කළත් බොහෝ නිර්මාණකරුවන් ඔහුව තෝරා ගන්නේ භික්ෂූන්වහන්සේගේ චරිතයටමයි. විශේෂයෙන් සංසාරේ පිය සටහන් ඒකාංගික ටෙලිනාට්‍ය මාලාවට ඔහු නැතුවම බැරි චරිතයක්. 2012 වර්ෂයේ දී ‘තක්සලාව’ ටෙලිනාට්‍යය වෙනුවෙන් සුමති, රයිගම් සහ රාජ්‍ය යන ටෙලි සම්මාන උළෙල තුනෙන්ම හොඳම සහාය නළුවාට හිමි සම්මාන ලැබීම ඔහුගේ රංගන ජීවිතය තුළ සුවිශේෂී සන්ධිස්ථානයක්.

 

මේ ලයිස්තුවට ඇතුළත් කළ පිරිසට අමතරව මතකයේ රැඳුණු භික්ෂු චරිත නිරූපණය කළ නළුවන් ගැන කමෙන්ට් එකකින් අපිට කියන්න ඔබටත් අවස්ථාව තියෙනවා.ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *