මුහුණ ලස්සන කරන ස්වභාවික රුපලාවණ්‍ය රහස්

ලස්සනට ඉන්නනම් අකමැති කව්ද? ලස්සන කියන්නෙ බාල, මහළු කියල කිසිම භේදයක් නැතුව හැමෝම උනන්දු වෙන මාතෘකාවක්නෙ. ඒ වගේම තමා ලස්සන කියන්නෙ කතා කරන්න ගියෝතින් හරිම ලොකු මාතෘකාවක්. මුහුණ, අතපය, හම, කොණ්ඩේ, අඳින පළඳින විදිහ වගේ බාහිර ලස්සනට හේතු වෙන දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මේ අද කතා කරන්නෙ මුහුණ ගැනයි. ලස්සන කිව්වම කොහොමත් හැමෝගෙම මතකෙට මුලින්ම එන්නෙත් මුහුණනෙ. හැබැයි හුඟක් අය වැරදියට හිතන් ඉන්න දෙයක් තමයි මේ මුහුණ ලස්සන වෙන්නනම් ටිකක් සල්ලි වියදම් කරලා ෆේෂල් කරන්න ඕන, ක්‍රීම් වර්ග එහෙම පාවිච්චි කරන්න ඕන කියන එක. ඒව කලත් වරදක් නැහැ පුළුවන් කමක් තියෙන අය. ඒත් මේ කියන්න යන්නෙ එහෙම කිසිම වියදමක් නැතුව මුහුණ ලස්සන කරගන්න කරන්න පුළුවන් ස්වභාවික, ඒ වගේම හරිම සරල දේවල් ටිකක් ගැනයි. ඉතින් ලස්සනට ඉන්න, මූණ ලස්සන කරගන්න කැමති හැමෝම පොඩ්ඩක් මේ පැත්තට ඇවිල්ල කියවලා බලන්නකෝ. 

 

 

1. මුහුණට ව්‍යායාම

 

අහපු ගමන්නම් ටිකක් විකාර කතාවක් වගේ. අත පය එහෙට මෙහෙට පද්දල, නැමිලා, දිගෑරිලා කරන ඒවටනේ අපි ව්‍යායාම කියන්නෙ. ඉතින් කොහොමද අනේ මුහුණට ව්‍යායාම කරන්නෙ? හපොයි පුළුවන්. ඇඟට වගේම මුහුණට කරන ව්‍යායාමත් තියෙනවා. අපි නොදන්නව උනාට මුහුණේ එක එක විදිහේ මාංශ පේශීන් 50 කට වඩා තියෙනව. හැබැයි ඇඟේ තියෙන අනික් මාංශපේශි වගේ මේ මුහුණේ මාංශපේශි නිතර භාවිතා වෙන්නෙ නැහැ. ඉතින් නිතර ව්‍යායාම කළෝතින් මුහුණේ විවිධ තැන් වලට වෙන රුධිර සැපයුම වැඩිවීම, ඔක්සිජන් සැපයුම වැඩිවීම මඟින් හමේ පැහැය, දීප්තිමත්බව, හම එල්ලා වැටෙන එක, රැලි වැටෙන එක, මුහුණේ අනවශ්‍ය මහත වගේ ගොඩාක් දේවල් වෙනස් කරගන්න පුළුවන්. Facial Exercises කියන මාතෘකාව යටතේ Youtube එකේ එහෙම මේ ව්‍යායාම ඕනතරම් බලාගන්න පුළුවන්. අපි ඒ ගැන සවිස්තරාත්මක ලිපියකුත් ලියල තියනවා. ඒක පහත ලින්ක් එක ක්ලික් කරලා කියවන්න.

මුහුණේ ලස්සන වැඩි කරගන්න මේ ව්‍යායාම ටික මුහුණට කරලා බලන්න

 

 

2. හොඳ නින්දක්  

 

ලස්සනත් එක්ක සෘජුවම බලපාන දෙයක් තමයි නින්ද කියන්නෙ. මොකද නින්ද අඩු වුණාම දැනෙන වෙහෙසකාරී බව, ඇඟට වෙන සෞඛ්‍යමය හානි එක්ක කොහොමටත්ම ලස්සන මුහුණක් නම් බලාපොරොත්තු වෙන්න බැහැ. රාත්‍රී නින්දේදී ඇඟේ තෙතමනය සමතුලිත කරල හම නිරෝගීව තියාගන්න ලොකු කර්තව්‍යයක් සිද්ධ වෙනව. ඒ නිසා ලස්සන මුහුණක් ඕන නම් රෑට නිදිමරණ එක, රෑ දෙගොඩහරි ජාමයක් වෙනකම් ෆේස්බුක්, යූ ටියුබ් බලන එක, චැට් කරන එක පුරුද්දක් කරගන්න එපා. 

 

 

3. ඇති තරම් වතුර

 

මේක ඉතින් උදේ හවස අපිට සෑහෙන්න ඇහෙන දෙයක්නෙ. ශරීරය නිරෝගීව තියාගන්න වගේම හම නිරෝගීව තියාගන්නත් ඕනම දෙයක් තමයි වතුර කියන්නෙ. ගොඩක් වතුර බොන එකෙන් ඇඟේ තියෙන අහිතකර විෂ රසායනයන් ඉවත් කෙරෙනව. ඒක ලොකු උදව්වක් වෙනවා හම නිරෝගීව තියාගන්න. ඒ වගේම කුරුලෑ ඇතිවීම වළක්වන්න, ලප කැළැල් ඉක්මනින් මකා දමන්න, හමේ pH අගය සමතුලිතව තියාගන්න වගේ ගොඩක් දේවල් වලට උදව්වක් වෙනව මේ වතුර බොන එක. හරිම ලේසි වැඩක්නෙ. වියදමක්, මහන්සියක් ඇත්තෙම නැහැ. ඉතින් පුළුවන් තරම් වතුර බොන්න.

 

 

4. අයිස් කැට සත්කාරය

 

මේකත් හරිම පහසු, වියදමක් නැති සත්කාරයක්. දිනපතා කපු රෙදි කැබැල්ලක ඔතපු අයිස් කැට කීපයක් විනාඩි 3ක් 4ක් වගේ කාලයක් මුහුණේ කවාකාර විදිහට අතුල්ලන්න. නිකන්ම අයිස් කැට නැතුව Green Tea, කෝමාරිකා වගේ දේවල් එක්ක හදපු අයිස් කැටත් ගාන්න පුළුවන්. ඒත් ඒ මුකුත්ම නැති වුනත් නිකන්ම වතුරෙන් හදපු අයිස් කැට වලින් උනත් මූණට ලොකු වාසි ගොඩක්ම තියෙනව. මුහුණේ පැහැය දීප්තිමත් වෙනවා, මුහුණට ආලේප කරන අනෙක් රූපලාවණ්‍ය නිෂ්පාදන හමට උරාගන්න හැකියාව වැඩි කරනව, හමේ කුරුලෑ නිසා ඇතිවුන වලවල් නැති කරනව, අව්වට පිච්චුන කැළැල් නැති කරනව. ඔන්න ඔය වගේ වාසි ගොඩයි. ඉතින් වියදමකුත් මහන්සියකුත් නැති එකේ කරලම බලන්න. 

 

 

5. බාර්ලි තේ  

 

බාර්ලි තේ කිව්වම ටිකක් හුරු නැහැ නේද? මේ කියන්නෙත් අපි දන්න බාර්ලි වතුරම තමයි. පිටරටවල කියන්නෙ Barley Tea කියල. අපි වැඩිය ගණන් නොගන්න බීමක් උනාට පිටරටවල අයනම් මේක හමට ඉතාම ගුණවත් පානයක් කියලයි හඳුන්වන්නෙ. මේ බාර්ලි වතුර ශරීරයේ රුධිර සංසරණ පද්ධතියට වගේම අක්මාවටත් ඉතාම ගුණදායකයි. හමේ සියුම් පටක වලට හානි කරන්න පුළුවන් ඔක්සිකාරක වලට එරෙහිව ක්‍රියාකරන ප්‍රතිඔක්සිකාරක මේ බාර්ලි තේ වල අඩංගුයි. කොරියානුවන් හැම ආහාර වේලකටම වගේ පස්සේ පානය කරන බීමක් මේක. කැෆේන් අඩංගු නොවෙන නිසා නිතර භාවිතයෙන් කිසිම අතුරු අබාධයක් ඇතිවෙන්නෙත් නැහැ.

 

 

6. ඇස් වලට Tea Bags

 

මේක ගෙදර පාවිච්චි කරන tea bags අහක නොදා මුහුණට සත්කාරයක් කරන්න පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක්. කිසිම අමතර වියදමක් නැහැ ඔන්න. ඇස් වටේ අවපැහැ වීම, ඇස් යට ඇතිවෙන eye bags අඩුකිරීම, ඇස් ආශ්‍රිත රෝග ඇතිවීම වැලැක්වීම වගේ ගොඩක් වාසි තියෙන සත්කාරයක් තමයි මේ tea bags ක්‍රමය. තේ හදන්න පාවිච්චි කරපු tea bags දෙකක් වැඩි වතුර මිරිකලා එළිමහනේ හරි ෆ්‍රිජ් එකේ හරි තියල නිවෙන්න ඇරලා ඇස් උඩ තියාගෙන විනාඩි 15ක් 20ක් වගේ කාලයක් ඉන්න. 

 

 

7. පිරිසිඳු කොට්ට උර

 

කවුරුත් නොහිතන, ඒත් මුහුණේ සමට ලොකුවටම බලපාන කාරණයක් තමයි මේක. හොඳම වැඩේ තමයි පුළුවන් තරම් මුහුණ කොට්ටවල නොගෑවෙන්න උඩු අතට නිදියන එක. ඒත් අපි සැහැල්ලු ඉරියව්වෙන් නිදාගනිද්දී කොහොමත් මුහුණ කොට්ට වල ගෑවෙනවනේ. ඉතින් රළු රෙදි වලින් මහපු කොට්ට උර භාවිතයෙන් මුහුණේ හමට හානි වෙන්න පුළුවන්. ඒ වගේම තමා කොට්ට උර වල පිරිසිඳු භාවය ගැනත් නිරන්තරයෙන් සැලකිලිමත් වෙන්න ඕන. මොකද ඒ උරවල රැඳෙන කුණු, දුහුවිලි නිසා අපි පිටින් මුහුණ කොයි තරම් පිරිසිඳු කළත් වැඩක් නොවෙන්න පුළුවන්.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *