නිර්මාංශ අයට රසම රසට හදාගන්න ටෝෆු රෙසිපි 5ක්

සෝයා ටෝෆු එහෙමත් නැත්තන් බීන් කර්ඩ් කියන්නෙ ගොඩක් ගුණ කෑමක්. සෝයා ඇට වලින් හදාගන්න මේ කෑම වල රස වගේම පෝ​ෂණයත් අපිට වැදගත්. විශේෂයෙන් නිර්මාංශ අයට අවශ්‍ය පෝෂණය ලබාගන්න සෝයා කිරි ප්‍රෝටීන් ඉතාම ගුණදායකයි. ටෝෆු ගෙදර හදාගන්න හැටිත් බලාගෙනම රෙසිපි වලට යමු. 

 

සෝයා ටෝෆු හදාගන්නා ආකාරය

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. සෝයා ඇට කෝප්ප 1
  2. දෙහි යුෂ මේස හැඳි 2
  3. විනාකිරි මේස හැඳි 1

 

  • සෝයා ඇට පැය 12ක් පෙඟෙන්න තියන්න. ඊළඟට වතුර අයින් කරලා, පොතු ඇරලා හෝදගෙන වතුර කෝප්පයක් දාල  බ්ලෙන්ඩ් කරගන්න.
  • පිරිසිදු පෙරෙන රෙදි කෑල්ලකින් කිරි ටික පෙරාගන්න. මේ වගේ දෙවරක් පෙරාගන්න. 
  • මේ විදියට හදාගත්ත සෝයා කිරි ලිපේ තියලා හැඳි ගාන්න. උතුරනකොට වතුර කෝප්ප  1/2ක් දාලා දෙහි යුෂ හා විනාකිරි ටික දාගන්න. 
  • ටිකකින් කිරි කැටි ගැසීගෙන එයි. තව විනාඩි 10ක් වගේ තියලා හිල් තියෙන ට්‍රේ එකකට රෙදි කෑල්ලක් එලලා මිශ්‍රණය දාගන්න. දැන් මේ සෝයා කුට්ටියෙ වතුර අයින් කරන්න රෙදි කෑල්ලෙන් සෝයා ටික ඔතලා, ට්‍රේ එක වෙන භාජනයක් උඩින් තියල සෝයා ටික උඩින් බරක් තියාගන්න. පැය දෙක තුනකින් වතුර සියල්ලම අයින් වේවි. ඉන් පස්​සේ මේ කුට්ටිය කෑලි කපාගන්න. 

 

1. ටෝෆු සැලඩ්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. තලතෙල් මේස හැඳි 1
  2. කොටුවට කපාගත් ටෝෆු කප් 2
  3. කොටුවට කපාගත් ළූණු ගෙඩි 1
  4. කොටුවට කපාගත් තක්කාලි ගෙඩි 1
  5. කොටුවට කපාගත් බෙල්පෙපර් ගෙඩි 1/2
  6. කොටුවට කපාගත් සුකිනි කෝප්ප  1/2
  7. ගම්මිරිස්කුඩු හා ලුණු
  8. චොප්කරගත් නිවිති කෝප්ප  1
  9. චොප්කරගත් පිපිඤ්ඤා කෝප්ප  1/4
  10. ස්වීට් කෝන් ඇට කෝප්ප 1/4
  11. ග්‍රේට් කරගත් කැරට් කෝප්ප 1/2

 

ඩ්‍රෙසින් එක​ට

 

  1. ලෙමන් ජූස් මේස හැඳි 1
  2. මී පැණි මේස හැඳි 1/2
  3. ගම්මිරිස්කුඩු මේස හැඳි 1/2

 

  • පෑන් එක​කට තලතෙල් දාලා ‍රත්වෙනකොට ටෝෆු ටික දාලා පෑන් ෆ්‍රයි කරගන්න.
  • ඒ ටික පෑන් එකෙන් අයින් කරලා ඒ පෑන් එකටම ළූණු, තක්කාලි, බෙල්පෙපර්, නිවිති හා සුකිනි ටික දාලා ෆ්‍රයි කරගන්න. ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න. ටිකකින් ලිප ඕෆ් කරගන්න.
  • සැලඩ් ඩ්‍රෙසින් එක හදාගන්න ලෙමන් ජූස් වලට ගම්මිරිස්කුඩු  හා මී පැණි දාලා කලවම් කරගන්න.
  • වෙනම භාජනයකට පිපිඤ්ඤා, කෝන් හා කැරට් දාලා කලවම් කරගන්න. මේකට ෆ්‍රයි කරගත් එළවළු ටික දාලා කලවම් කරලා සැලඩ් ඩ්‍රෙසින් එක දාගන්න. අන්තිමට ටෝෆු ටික දාලා කලවම් කරගන්න.

 

 

2. ටෝෆු ඔම්ලට්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. සෝයා ටෝෆු ග්‍රෑම් 100
  2. චොප්කරගත් රතු ළූණු ගෙඩි 2
  3. චොප්කරගත් අමුමිරිස් කරල් 2
  4. පාන්පිටි කෝප්ප 1/2
  5. කෝන්ෆ්ලා මේස හැඳි 1
  6. ලුණු හා ගම්මිරිස්කුඩු
  7. චොප්කරගත් කරපිංචා ටිකක්
  8. කහ තේ හැඳි 1/2

 

  • ටෝෆු ටික අතින් පොඩි කරගන්න. මේකට චොප්කරගත් සියල්ලම සම​ග පාන්පිටි, කෝන්ෆ්ලා​ත් දාලා රස අනුව කහකුඩු, ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න. 
  • උකු බැටර් එකක් හදාගන්න වතුර ටිකකුත් දාලා කලවම් කරගන්න. දැන් තෙල් ගාගත් පෑන් එකට මේ මිශ්‍රණයෙන් හැන්දක් දාලා දෙපැත්ත ෆ්‍රයි කරගන්න.

 

 

3. ටෝෆු ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. කොටුවට කපාගත් ටෝෆු ග්‍රෑම් 200
  2. ලොකුවට කපාගත් ළූණු ගෙඩි 1
  3. කපාගත් මාළුමිරිස් කරල් 2
  4. කපාගත් තක්කාලි ගෙඩි 2
  5. චොප්කරගත් ඉඟුරු සුදුළූණු පේස්ට් මේස හැඳි 1

 

සෝස් එකට

 

  1. ඔයිස්ටර් සෝස් මේස හැඳි 2
  2. සෝයාසෝස් මේස හැඳි 4
  3. තක්කාලි සෝස් මේස හැඳි 4
  4. සීනි මේස හැඳි 2
  5. චිලී සෝස් මේස හැඳි 2

 

  • පෑන් එකට තෙල් ටිකක් දාලා ටෝෆු ටික දාලා පෑන් ෆ්‍රයි කරගන්න. 
  • සෝස් වර්ග ටික හා සීනි එකට කලවම් කරගෙන සෝස් එක හදල පැත්තකින් තියාගන්න. 
  • ටෝෆු බැදගත් පෑන් එකටම තව තෙල් ටිකක් දාලා ඉඟුරු සුදුළූණු පේස්ට් එක දාගන්න. ඊළඟට කපාගත් එළවළු ටික දාගෙන තෙම්පරාදු කරගන්න. 
  • ඒකට සෝස් එකත් දාලා කලවම් කරලා ටෝෆු කෑලි ටික දාගන්න. හොඳට කලවම් කරලා ලිපෙන් බාගන්න.

 

 

4. ටෝෆු සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. තෙල් ස්වල්පයක්
  2. චොප්කරගත් ළූණු ගෙඩි 1
  3. කපාගත් ටෝෆු ග්‍රෑම් 100
  4. වතුර කෝප්ප 4
  5. කපාගත් කැරට් අල 1
  6. කපාගත් අල ගෙඩි 1
  7. කඩාගත් කෝලිෆ්ලවර් කෝප්ප  1
  8. ලුණු 
  9. තලතෙල් මේස හැඳි 2

 

  • භාජනයකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට ළූණු ටික දාලා බැදෙන්න අරින්න. දැන් වතුර කෝප්ප 4ක් වගේ දාලා උතුරවන්න.
  • උතුරනකොට ටෝෆු ටික කපලා දාලා තැම්බෙන්න තියන්න. ඊළඟට කැරට්, අල, කෝලිෆ්ලවර් ටික දාගන්න. රස අනුව ලුණු එකතු කරගන්න. උතුරනකොට ලිපෙන් බාගන්න.

 

5. ටෝෆු මසාලා

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කපාගත් ටෝෆු ග්‍රෑම් 200
  2. තලාගත් ඉඟුරු මේස හැඳි 1
  3. තලාගත් සුදුළූණු මේස හැඳි 
  4. චොප්කරගත් අමුමිරිස් කරල් 2
  5. චොප්කරගත් ළූණු ගෙඩි 1
  6. චොප්කරගත් තක්කාලි ගෙඩි 2
  7. කජු මද 10ක් පමණ
  8. ලුණු
  9. කහකුඩු තේ හැඳි 1/2
  10. වතුර කෝප්ප 1/4
  11. මිරිස්කුඩු තේ හැඳි 1
  12. කොත්තමල්ලි කුඩු තේ හැඳි 1/2
  13. ගරම් මසාලා තේ හැඳි 1/2
  14. තම්බාගත් ග්‍රීන්පීස් කෝප්ප 1
  15. ෆ්‍රෙශ් ක්‍රීම් මේස හැඳි 1

 

 

  • පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට ඉඟුරු, සුදුළූණු, අමුමිරිස් දාගන්න. ඊළඟට ළූණු, තක්කාලි හා කජු, රස අනුව ලුණු දාලා කහකුඩු ටික දාගෙන තෙම්පරාදු කරගන්න.  
  • වතුර කෝප්ප කාලක් දාලා උතුරවගන්න. ටිකකින් ලිප ඕෆ් කරලා මේ ටික බ්ලෙන්ඩ් කරගන්න. තව වතුර ටිකක් දාලා ආයේ හොඳට ස්මූත් වෙනකල් බ්ලෙන්ඩ් කරගන්න.
  • දැන් මේක පෑන් එකකට පෙරලා දාගන්න. පෑන් එක ලිපේ තියල ඒකට මිරිස්කුඩු, කොත්තමල්ලි කුඩු හා ගරම් මසාලා දාගන්න. රස බලල අවශ්‍ය නම් තව ලුණු දාගන්න. 
  • ඒකට තම්බාගත් ග්‍රීන්පීස්, ටෝෆු ටික දාගන්න. අන්තිමට ෆ්‍රෙශ්ක්‍රීම් ටික දාලා උතුරවගෙන ලිපෙන් බාගන්න.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *