පූසෙක්ව ඇති කරමුද? පූසෝ වද දෙනවද? එහෙමනම් තව දිගට කියවලා බලන්න.

දැන් අපි ගොඩක් අය සත්තුන්ට ආසයිනේ. විශේෂයෙන්ම සුරතලේට හදන්න පුළුවන් සත්තුන්ට අපි හැමෝම ආසයි. හැබැයි සතෙක්ව හුරතලේට හදන්න හිතන ගොඩක් දෙනා ඉන්නේ සුරංගනා ලෝකවල. ඒ කියන්නේ උදාහරණයක් විදියට ගත්තොත් පූසෙක්ව බල්ලෙක්ව හදන්න හිතන කෙනෙක් ඒ සත්තුන්ගේ තියෙන හුරතල් ගති, අපිට ආදරේ දක්වන එක වගේ කරුණු කාරණා ගැන හිතුවට, ඒ සත්තුත් අපි වගේම මළපහ කරනවා, උන්ටත් අපිට වගේම බඩගිනි වෙනවා, අපි වගේම සත්තුත් අසනීප වෙනවා වගේ කරුණු කාරණා ගැන ඒ තරම් අවධානයක් යොමු කරන්නේ නෑ. ආන්න ඒ නිසා, අපි හිතුවා ගොඩක් දෙනෙක් සුරතල් සතෙක් විදියට කැමති පූසෙක්ව ඇති කරනවා නම්, ඌ අපිට දෙන දස වද මොනවද කියලා පෙන්නලා දෙන්න. හැබැයි ඒ වලට විසඳුම් මොනවද කියලත් අපි කියනවා. ආන්න එතකොට තේරෙයි, හුරතලේට පූසෙක්ව ඇති කරනවා නම් හරියට සතාව ඇති කිරීම ගැන දැනගෙන කටයුතු කිරීම වටිනවා කියන එක.

 

1. කක්ක සීන්

ගොඩක් “අනේව් පූස්” කියලා පූසෙක්ව තුරුල් කරගෙන ගෙදර අරං එන ඈයෝ නොදන්න දේ තමයි පූසෝත් කක්කා දානවා කියන එක. සාමාන්‍යයෙන් නම් පූසෙක් කැමති ඔය වැලි, පස් තියෙන තැනක කක්කා දාන්න තමයි. මොකද එතකොට උන්ට දෙයියනේ කියලා ගාණට ඒක වහන්න පුළුවන්. හැබැයි ඉතින් ගේ ඇතුළේ හදන පූසා මක්කා කොරන්නද? ඌ අහුවෙන තැනක කක්කා දානවා!

 

හැබැයි ඔය ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. ගන්න ලිටර් බොක්ස් එකක්. ඒක වැලි දන්න පුළුවන් විදියේ පළල් පෙට්ටියක් වගේ. දැන් පූසා කෑම කෑවට පස්සේ, නිදාගෙන නැගිට්ටට පස්සේ එහෙම උස්සගෙන ගිහින් ඔය ලිටර් බොක්ස් එකෙන් තියන්න. ආන්න එතකොට ඌ ටික ටික පුරුදු වෙයි ලිටර් බොක්ස් එකේ කක්කා දාන්න. හැබැයි පුතෝ, ලිටර් බොක්ස් එක නිරන්තරයෙන් වැලි මාරු කරලා පිරිසිදු කරන්න ඕන. එහෙම නැති වුනොත් ආයෙ ඌ අහුවෙන තැනක තමයි කක්කා දාන්නේ!

 

2. බඩගිනියි කියලා ඥාව් බාසාවෙන් කියන්නෙ කොහොමද?

දැන් අපිට ඔය හදිසියක් වුනොත් වේලක් බඩගින්නෙ හරි ඉන්න පුළුවන්. හැබැයි ඉතින් ගෙදර හදන පූසා එක්ක ඒ කෙලි බැහැනේ. අන්න ඒ නිසා ඌට බඩගිනි වුණු ගමන් ඥාව් ඥාව් ගගා පස්සෙන් එනවා. දැන් ඔය එක එක පූසගේ විදියට ඔය බඩගිනි පෙළපාලිය වෙනස්. සමහර පූසෝ ඉන්නවා බඩගිනියි කියලා පුදුම වදයක් දෙන.

 

ඕකත් විසඳගන්න පුළුවන්. එකක්, පූසාට කෑම දෙන දිනචරියාවක් හදාගන්න. එතකොට ඌ හුරුවෙනවා කෑම දෙන වෙලාවට විතරක් කෑමට සෙට් වෙන්න. එතකොට ඕන නම් ඔය කැට් ෆුඩ් පැකට් එකක් එහෙම ගෙනැල්ලා තියාගත්තත් කමක් නෑ, හදිසියේ පූසට සාලයෙක් සෙට් කරගන්න බැරි වුණු වෙලාවට දෙන්න.

 

3. ඕන දෙයක් කන්න පුළුවන්ද?

සාමාන්‍යයෙන් අපි හිතාගෙන ඉන්නේ පූසෝ කියන්නේ සර්වභක්ෂික සත්තු කියලනේ. හැබැයි ඇත්තටම ගත්තහම ඔය කිරි ටිකක් එහෙම බිව්වට ඇත්තටම පූසෝ මාංශභක්ෂක සත්තු තමයි. එහෙම නෙවෙයි කියලා හිතනවා නම් එළවලු ටිකක් එක්ක බත් ටිකක් පූසෙක්ට දීලා බලන්නකෝ කනවද කියලා. හැබැයි ඉතින් කිරි එහෙම බොනවා තමයි. එතකොට බල්ලෙක්ට වඩා පූසෙක්ට කෑම සපයන එක පොඩ්ඩක් අභියෝගාත්කමයි තමයි.

 

ඒ ඇරෙන්න පූසෙක් හදනවා නම් තවත් ප්‍රශ්නයක් තියෙනවා. ගොඩක්ම පොඩි වයසේ පූසන්ට වගේම වයස්ගත පූසන්ට වුනත් කිරි දෙන එක ඒ තරම් හොඳ නොවෙන්න පුළුවන්. එතකොට පූසෝ මාංශ භක්ෂකයෝ වුනත් ඔය මාලු එහෙම අමුවෙන් දෙන එකත් ප්‍රශ්නකාරී වෙන්න පුළුවන්. වඩාත් හොඳ මාලු එහෙම තම්බලා නැතිනම් උයලා දෙන එක. එතකොට තියුණු කටු තියෙන මාළු නම් කටු ගලවලාම දෙන්න වෙනවා. ඒ ඇරෙන්න ඔය චොකලට්, තේ, කෝපි එහෙම නම් පූසන්ට කොහෙත්ම හොඳ නෑ.

 

4. හූරන්නෙපා අයිසේ!

පූසොන්ගේ නියපොතු කොයි තරම් සැරද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. පූසෝ හිටපු ගමන් ඇවිත් ඔය ටෙක්ස්චර්ඩ් මතුපිටක් තියෙන හැම එකක්ම හූරන්න පටන් ගන්නවා. වාඩි වෙලා ඉන්න කුෂන් පුටුවේ ඉඳලා, ඇඳුම් පැළඳුම් වල ඉඳලා සමහර වෙලාවට අපේ කකුල් දක්වා හූරන්න ගන්නවා. ඇත්තටම ඌ මේක කරන්නේ එක්කෝ අර සෙල්ලම් මෝඩ් එකට ආවහම ශක්තිය වැය කරගන්න, එහෙම නැතිනම් සමහර වෙලාවට අර නියපොතු අස්සේ හිරවුණු කෑලි බෑලි ඉවත් කරගන්න.

 

මේකටත් සරල විසඳුමක් තියෙනවා. ඔය පෙට් ෂොප් වල තියෙනවා පූසන්ට හූරන්න පුළුවන් විදියේ ටෝයිස්. අන්න එව්වැයින් එකක් සෙට් කරලා දෙන්න. එතකොට ඕනවට වඩා දිගට නියපොතු වැවෙන කොට අපිට අපේ නියපොතු කපනවා වගේ, ඊට වඩා පරිස්සමෙන් පූසගේ නියපොතු කපන්නත් පුළුවන්.

 

5. ලෙඩත් වෙනවනේ ඉතින්

ගෙදර සුරතලේට පූසෙක්ව ඇති කරනවා නම්, මුලින්ම කරන්න ඕන පූසව පශුවෛද්‍යවරයා ගාවට එක්කගෙන යන එක. ඉන් පස්සේ ඌට අවශ්‍ය එන්නත් ටික එහෙම දෙන්න ඕන. ඉන් පස්සේ වුනත්, අපි දරුවෙක්ව රැකගන්නවා වගේම පූසෙක්වත් බලාගන්න වෙනවා. සාමාන්‍යයෙන් ඔය ලංකාවේ ඉන්න පූසෝ නිතර නිතර අසනීප නොවෙනවා වුනත්, අසනීප තත්ත්වයක් හෝ දිගින් දිගටම පවතින මලානික ගතියක් හෝ පෙන්නුම් කරනවා නම්, අනිවාර්යයෙන්ම පශුවෛද්‍යවරයා ගාවට ගෙනියන්න ඕන. එහෙම හරියට බලාකියාගෙන හිටියොත්, පූසා පරමායුෂ අරගෙන ජීවත් වෙයි.

 

6. මවිල් හැමතැනම

අපේ කොණ්ඩේ යනවා වගේ තමයි ඉතින් පූසෙක්ගේ මවිල් කියන්නෙත්. පූසෙක් අපේ ඇඳුමක් උඩ එහෙම නිදාගෙන ඉඳලා ගියාට පස්සේ, පූසගේ මවිල් ඇඳුමේ දකින්න පුළුවන්. ඒක සමහරුන්ට වාතයක්නේ. ඒකට කරන්න පුළුවන් දේවල් තියෙනවා. එකක් තමයි පූසාට නිතර බොන්න වතුර එහෙම දීලා තියාගන්න එක. ඒ වගේම නිරන්තරයෙන් පූසගේ ඇඟ බ්‍රෂ් කරන එක. ඒකට හරියන බ්‍රෂ් එහෙමත් ඔය පෙට් ෂොප් වල ගන්න තියෙනවා. ඒ වගේම සතියකට දෙහෙකට සැරයක් ස්පොන්ජ් එකක් තෙමලා, පූසව පිහිදාලා පොඩි බොඩි වොෂ් එකක් දෙන එකත් හොඳයි. කොහොමත් ඉතින් සමහර පූසෝ එහේ මෙහේ රිංගලා ටික දවසක් යනකොට ඩස්ට්බින් එකක් වගේ වෙනවා. ඒ නිසා ඔය බොඩි වොෂ් එක කොහොමත් හොඳයි. හැබැයි කෙලින්ම වතුරට අල්ලලා නාවන්න යන්න එපා.

 

ඒ ඇරෙන්න අසාමාන්‍ය විදියට පූසගේ රෝම වැටෙනවා නම්, පශුවෛද්‍යවරයාව මුණගැහෙන්න වෙනවා.

 

7. ඇඟේ ඇතිල්ලෙන්නෙපා!

දැන් ඔය පූසෝ සාමාන්‍යයෙන් අපිව ඩෝන්ට් කෙයාර් විදියට ජීවත් වුනාට, ඕන වුනහම ඇවිල්ලා හෝ ගාලා අපේ කකුල් වල උන්ගේ මූණ අතුල්ලනවා නේද? ඊට පස්සේ ගිහින් පුටු මේස වලත් ඇතිල්ලෙනවා, ඒක වෙනම කාරණාවක්. හැබැයි සමහරු ඉන්නවා මේ පූසෝ ඇවිත් ඇඟේ ඇතිල්ලෙන එක පෙන්නන්න බැරි. දැන් ඇයි ඇත්තටම පූසෝ ඔහොම කරන්නේ? ඇත්තටම ඒකෙන් පූසෙක් කියන්නේ අපිත් එයාගේ ගැංසියේ කෙනෙක් කියන එක. එහෙම නැතිනම් එයාගේ සීමාව ලකුණු කරන එක. එහෙමත් නැතිනම් අපිත් එයාට අයිතියි කියලා කියන එක. හැබැයි පූසෙක් විදියට හිතලා බැලුවොත් ඒක ආදරයත් මිශ්‍ර වෙච්ච, අයිතිය ප්‍රකාශ කරන ක්‍රියාවක්. මොකද, පූසෙක් ගෙදරට එන ඕනම මනුස්සයෙක්ට ඕක කරන්නේ හරිම කලාතුරකින්.

 

ඉතින් ඕකට විසඳුම මොකද්ද? විසඳුමක් නෑ. පූසෙක් ඒ විදියට තමන්ගේ ආදරේ පෙන්නන එක ඇලජික් නම් එක්කෝ ඒකට හුරුවෙන්න වෙනවා. එහෙම නැතිනම් පූසෙක්ව හදන්නේ නැතුව ඉන්න වෙනවා.

 

හැබැයි මේ හැම දෙයක් එක්කම අන්තිමට කියන්න තියෙන්නේ එක දෙයයි. මේ විදියේ වද දෙන පූසෙක්ව වුනත්, ඒ වදකරදර වලට හරි විසඳුම් එක්ක හුරතලේට ඇති කරන එක වටිනවා. බල්ලෙක් පූසෙක් සුරතලෙක් විදියට අපිට ලබාදෙන මානසික සහනය කියලා නිම කරන්න බැරි තරම්…

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *