ක්ලැසික් තාලෙට ඩිකැන්ටර් එකක දාලා තියාගෙන විස්කි ටිකක් බොමුද?

සාමාන්‍යයෙන් අපි ගොඩක් දෙනෙක්ට ඔය විස්කි එහෙම කල් තියාගන්න අවශ්‍ය වෙන්නෙ නැහැනේ. සෙට් වෙන දවසට බෝතලේ කැඩුවා, ගසලා ඉවරයක් කළා. එච්චරයි. හැබැයි අපි සාමාන්‍යයෙන් තමන්ගේ පාවිච්චියට වගේ විස්කි එකක් කැඩුවොත්, ඒක ඊට පස්සේ කල් තියාගන්න ක්‍රමයක් හොයාගන්න ඕන. මොකද, නිකම්ම වාතයට නිරාවරණය වෙන විස්කි වල රසය වෙනස් වෙනවා. ඔය කීමට කියන්නේ රැස් බහිනවා කියලා. ඉතින් අන්න ඒ නිසා හරියට කොහොමද විස්කි කල්තබා ගන්නේ කියන එක තමයි අද කතා කරන්න යන්නේ. ඒ එක්කම ක්ලැසික් විදියට කොහොමද ඩිකැන්ටරයක් විස්කි තියාගන්න පාවිච්චි කරන්නේ කියන එකත් අපි කතා කරනවා.

 

1. විස්කි කඩපු නැති බෝතලයක් කොහොමද තියාගන්නේ?

සාමාන්‍යයෙන් ගොඩක් අය වරද්දගන්න තැනක් තමයි, කඩපු නැති විස්කි බෝතලයක් ඕනම තැනක තියලා තියන්න පුළුවන් කියලා හිතන එක. ඇත්තටම කඩපු නැති විස්කි බෝතලයක් ගබඩා කරනකොට හිතන්න ඕන දේ තමයි හිරුඑළිය හෝ අධික ආලෝකයට නිරාවරණය වෙන්න නොදෙන එක. අන්න ඒ නිසා සරලවම කඩපු නැති විස්කි බෝතලයක් කබඩ් එකක, පැන්ට්‍රි කබඩ් එකක බැරිනම් ගේ ඇතුළේ තියෙන පෙට්ටගමක හරි තිබ්බට කමක් නෑ. ඒ කියන්නේ අර සමහරු පෙනුමට විස්කි බෝතල් ගෙදර සාලේ කැබිනට් එකක් උඩ තියෙනවනේ. අන්න ඒවා හරියන්නෙ නෑ. අනික උෂ්ණත්වය අඩු, සිසිල් ස්ථානයක, කෙලින් අතට තමයි කඩපු නැති විස්කි බෝතලයක් වුනත් තියන්න ඕන.

 

2. සීල් කඩපු විස්කි බෝතලයක්?

සීල් කඩපු විස්කි බෝතලයක් සම්බන්ධයෙන් වුනත් උඩ කියපු දේවල් අදාළයි. උෂ්ණත්වයෙන් සහ දැඩි ආලෝකයෙන් ආරක්ෂා වුණු, සිසිල්, වියලි ස්ථානයක තමයි බෝතලේ තියන්න ඕන. හැබැයි විශේෂයෙන්ම, බෝතලේ එයාර් ටයිට් වෙන්න, ඒ කියන්නේ වාතයට ඇතුළට යන්න බැරි වෙන්න හොඳින් වහලද කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕන. මොකද වාතයට රිසිසේ බෝතලය ඇතුළට යන්න පුළුවන් නම්, වයින් සෙලර් එකක විස්කි බෝතලේ තිබ්බත් වැඩක් වෙන එකක් නෑ. 

 

අනික් කාරණාව, එක්ස්පර්ට්ලා කියන්නේ, බෝතලේ විස්කි පාවිච්චි කරලා අඩු වෙනකොට, ඒක සීල් කරලා අඳුරු, සිසිල් ස්ථානයක තිබ්බත් වැඩක් නැහැයි කියලා. මොකද, බෝතලේ ඇතුලේ ප්‍රමාණවත් තරම් වාතය තියෙනවා. එතකොට ඉතුරුවෙලා තියෙන විස්කි ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා රසය වෙනස් වෙනවා. ඒක අපරාදෙනේ. අන්න ඒ නිසා බෝතලේ අඩුවෙනකොට හොඳම දේ තමයි වඩාත් පොඩි එයාර් ටයිට් භාජනේකට විස්කි ටික මාරු කරන එක.

 

3. ඩිකැන්ටරේ කතාව

මේ කියන්න යන්නේ ඩිකැන්ටර් එකේ ඉතිහාස කතාව නෙවෙයි. හැබැයි අපි ඔය ෆිල්ම් වල එහෙම දැකලා තියෙන ඩිකැන්ටරේ ක්ලැසික් ගතිය ගැන තමයි මේ කියන්නේ. දැන් ඔය ෆිල්ම් වල පෙන්නන්නේ ලයිබ්‍රියක හරි එහෙම නැතිනම් ඔෆිස් රූම් එකක හරි ලස්සට ටීපෝ එකක් උඩ තියලා තියෙන ලස්සන ඩිකැන්ටරයකින් විස්කි ටිකක්, එතනම තියෙන ග්ලාස් දෙකකට දාලා අමුත්තාට පිළිගන්වන හැටි. ඒකේ මාර ගතියක් නැද්ද හා? ආන්න ඒක තමයි ඩිකැන්ටරේක තියෙන විශේෂත්වය. අනික, ඩිකැන්ටරේට දාන විස්කි වල කොලිටිය වුනත් වැඩි වෙන තරමට, ඒක අයිතිකාරයාගේ ක්ලැසික් ගතියත් ඉහළ යනවා. සමහර වෙලාවට ඩිකැන්ටරෙත් එක්කම සීතල රැඳිලා තියෙන භාජනයක දාපු අයිස් කැටත් තියලා තියෙනවා අපිට පේනවා.

 

4. ඩිකැන්ටරේ දාපු විස්කි!

විස්කි ඩිකැන්ටරයකට දාන එකේ ක්ලැසික් ගතිය මතුවෙන තවත් හේතුවක් තමයි විස්කි වල තියෙන පාට. සාමාන්‍යයෙන් විස්කි එන්නේ අඳුරු පාට බෝතල් වලනේ. එතකොට අපිට ගොඩක් වෙලාවට විස්කි වල හරි පාට දැකගන්න ලැබෙන්නෙ නෑ. හැබැයි ක්‍රිස්ටල් ඩිකැන්ටරේකට විස්කි දැම්මහම, අර ක්‍රිස්ටල් එකෙන් මතුවෙලා පේන විස්කි වල රත්තරන් පාට බොහොම ප්‍රිය උපදවන දර්ශනයක්. ඒක ඩිකැන්ටරෙන් ක්‍රිස්ටල් ග්ලාස් එකකට වක් කරන එක වුනත් ප්‍රියජනක අත්දැකීමක්. ඇත්තටම ඩිකැන්ටර් එකක් පාවිච්චි කරන්න ඕන අර ගෙදරට එන අයට තමන් මාර ක්ලැසික් කියලා පෙන්නන්න නම් නෙවෙයි. ඒ වෙනුවට තමන්ට ඇත්තටම ඒ ක්ලැසික් අත්දැකීම විඳගන්න තමයි විස්කි දාපු ක්‍රිස්ටල් ඩිකැන්ටරයක් පාවිච්චි කරන්න ඕන.

 

5. කොච්චර කල් ඩිකැන්ටරේ දාලා තියාගන්න පුළුවන්ද?

ඇත්තටම ඩිකැන්ටරේක විස්කි දාලා තියාගන්න හිතන ගොඩක් අයට මතුවෙන දැවෙන ප්‍රශ්නේ තමයි මේක. මොකද, අපිව බලන්න ඉතින් ටෝනි ස්ටාර්ක් එන්නෙ නෑනේ, ඩිකැන්ටරෙන් විස්කි දෙන්න. එතකොට අපිටම තමයි හෙමිහෙමිහිට විස්කි ටික ඉවර කරන්න වෙන්නේ. හැබැයි ඉතින් මේ වැටෙන්න ගහන සීන් එකකුත් නෙවෙයිනේ. දවසකට ඩ්‍රෑම් එකක් දෙකක් තමයි වැටෙන්නේ. එතකොට, ටික දවසක් යනකොට විස්කි පරණ වෙලා රස වෙනස් වුනොත් විසික් කරන්නද? 

 

හැබැයි හොඳ ආරංචිය තමයි, අර උඩින්ම කියපු විදියට විස්කි දාපු ඩිකැන්ටරේ දැඩි ආලෝකයට හෝ හිරු එළියට නිරාවරණය වෙන්නේ නැතිනම්, අනවශ්‍ය විදියට උෂ්ණත්වයට නිරාවරණය වෙන්නේ නැතිනම්, ඩිකැන්ටර් එක එයාර් ටයිට් නම්, අවුරුදු ගාණක් වුනත් ඩිකැන්ටරේ දාලා තියාගන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ විස්කි ඩිකැන්ටරේ කබඩ් එකේ දාලා තියලා, ඕන වෙලාවට එලියට ගන්න පුළුවන්.

 

6. ඩිකැන්ටරයක් තෝරගන්නේ කොහොමද?

විස්කි ඩිකැන්ටරේ ක්‍රිස්ටල් වෙන තරමට කොලිටිය සහ ක්ලැසික් ගතිය වැඩියි. ඒ වගේම අනිවාර්යයෙන්ම බලන්න ඕන දේ තමයි ඩිකැන්ටරේ එයාර් ටයිට්ද කියන එක. එහෙම නොවුණොත් ඩිකැන්ටරේ කන්සෙප්ට් එකම වැඩක් නැතුව යනවා. ඊලඟට බලන්න ඕන සයිස් එක. සාමාන්‍යයෙන් විස්කි බෝතලයක් එන්නේ මිලිලීටර් 750 නේ. ඒ කියන්නේ අවුන්ස 25 ක් වගේ. එතකොට සම්පූර්ණ විස්කි බෝතලේ දාන්න නම් ඊට වඩා ලොකු ඩිකැන්ටරයක් ඕන වෙනවා. එහෙම නැතිනම් පොඩි සයිස් එව්වත් ඇති. ඒක අවශ්‍යතාවේ හැටියට. ඊලඟට අර ඊයම් රහිතව හදපු ක්‍රිස්ටල්ද කියන එකත් හොයලා බැලුවට කමක් නෑ. දැන් කාලේ ගොඩක් ක්‍රිස්ටල් බඳුන් ඊයම් රහිතව නිර්මාණය වුනත්, ඒක ඩබල් චෙක් කරලා බලන්න. ඊයම් අතිශයින්ම වි​ෂ සහිතයි.

 

7. ඩිකැන්ටර් නිර්මාණ

ඇත්තටම ඩිකැන්ටරයක් කියන්නේ එක්තරා විදියක කලා නිර්මාණයක් වගේ. ඩිකැන්ටරයක් බොහොම සුන්දර විදියට තමයි නිර්මාණය කෙරෙන්නේ. හැබැයි ඉතින් සල්ලි බාගේ තියෙනවා නම්, ලෝකේ තියෙන විවිධ හැඩේ, විවිධ විසිතුරු ආකාරයේ ඩිකැන්ටර් වර්ගත් ගන්න පුළුවන්. සමහරු විනෝදාංශයක් විදියටම ඩිකැන්ටර් එකතු කරනවා. සමහර ඩිකැන්ටර් වල නිර්මාණයත් එක්ක එව්වා අතිශයින්ම දුර්ලභයි. ඒවා ඉතින් අපි ලක්ෂපතියෝ වුණු දවසක ගන්න පුළුවන්!

 

ඩිකැන්ටර් ලංකාවේ ගන්න තියෙනවද? අපොයි ඔව්. ලංකාවේ ඩිකැන්ටර් ගන්න තියෙන එක තැනක් තමයි පිටකොටුවේ ටයිටස් ස්ටෝර් එක. ඒකේ ක්‍රිස්ටල් ඩිකැන්ටර් තියෙනවා ඒකටම ගැලපෙන ක්‍රිස්ටල් විස්කි ග්ලාසස් එක්කම. ඕන නම් වයින් ඩිකැන්ටර් වුනත් එතන තියෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *