හරි. මේක චිත්ත අභ්‍යාසයක් විදියට හිතමු. ඔන්න අපිට දෙයියෝ දුන්නා වගේ උදේ නැගිටිනකොට මේසේ උඩ තියෙනවා රුපියල් ලක්ෂ 50 ක්. ආයෙ ඇහිල්ලක් බැලිල්ලක් නෑ, හොර සල්ලිත් නෙවෙයි, රුපියල් පන්දාහේ නෝට්ටු වලින්ම ලක්ෂ 50 ක්. පන්දාහේ නෝට්ටු සීයේ මිටි දහයක්! හරි, මුලින්ම අපි බයවෙනවා. ෆුල් කන්ෆියුස් වෙනවා. ඊට පස්සේ අපි හිතනවා මේක කවුරුහරි ගෙනැල්ලා දාලද, දැන් අපිව හොයාගෙන පොලීසිය මෙහෙට්ට එයිද කියලා. ඊට පස්සේ අපි හිතනවා ලක්ෂ 50 ක් අපේ ගෙදර ප්‍රාදූර්භූත වුනා කියලා දැනගෙන ඉන්කම්ටැක්ස් එකෙන්වත් ඊලඟට ගෙට පනීද කියලා. හැබැයි අපි කියමු එහෙම කිසිම ගැටළුකාරී දෙයක් මෙතන නැහැයි කියලා. මේවා හොර සල්ලිත් නෙවෙයි, කවුරුත් හොරකම් කරලා ගෙනැල්ලා දාලත් නෙවෙයි, ඉන්කම්ටැක්ස් එකෙන් ගැටළුවකුත් නෑ. දැන් එතකොට අපි මේ සල්ලි වලින් මොනවද හැබෑටම කරන්නේ? ආන්න ඒක තමයි අපිත් මේ හිතන්නේ. දිගටම කියෝගෙන ගිහිල්ලා බලමු ඇත්තටම මෙහෙම දෙයියෝ දුන්න ලක්ෂ 50 කින් අපිට මොනවද කරන්න පුළුවන් කියලා.
හැබැයි එකක්. මේක අදාළ වෙන්නේ මාසෙකට ලක්ෂ දහයක් පහළොවක් හොයන සල්ලිකාරයන්ට නෙවෙයි. රුපියල් විසිතිස්දාහක ඉඳලා පණහක් හැටක් වෙනකල් උපරිම මාසික ආදායමක් තියෙන, අපි වගේ මධ්‍යම පාංතිකයින්ට. හරි, පටන් ගමු.
1. සුපිරි වණ්ඩියක්?
සාමාන්‍යයෙන් ඉතින් සිරි ලංකාවේ මධ්‍යම පාංතිකයින්ගේ හීනයක් තමයි සුපිරි වණ්ඩියක් තමන්ටම කියලා ගන්න එක. එහෙව් එකේ, ලක්ෂ පණහක් දෙයියෝ දුන්නොත් ගොඩක් උන්දැලා සරම පිටින්ම ගිහින් නවතින්නේ කාර් සේල් එකේ! හැබැයි ඉතින් මෙහෙමයි. මෝස්තරේට, රටට ලෝකෙට පේන්න ලක්ෂ 50 වියදං කරලා වණ්ඩියක් අරන් වැඩක් නෑ කියන එක තමයි අපේ මතය. වඩාත් හොඳ දේ තමයි ලක්ෂ 50 න් කොටසක් ඉතුරු කරගෙන, ඉතුරු කොටසින් ඕන නං වාහනයක් ගන්න එක. හැබැයි එහෙම ගන්නකොට හිතලා බලන්න ඕන, සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එහෙම හොඳට තියෙන, පාවිච්චි කරලා හොඳ ගාණකට දීගන්න පුළුවන් වාහනයක් ගන්න. එහෙම නැතුව සෝබනේට ලක්ෂ 50 කුඩු කරලා හරියන්නෙ නෑනේ!
2. ව්‍යාපාරයක්?
දැන් කාලේ ව්‍යාපාර වැටිලා නිසා, ව්‍යාපාර අවදානම් කියලා ගොඩක් අය කියනවා. ඒකේ ඇත්තක් නැත්තෙමත් නෑ. හැබැයි ඉතින් කරන්නන් වාලේ කරන්නේ නැතුව, මිනිස්සුන්ට මේ වෙලාවේ ගොඩක්ම අවශ්‍ය දේවල් මොනවද, ඒ අවශ්‍ය දේවල් සපුරාලන්න තියෙන වෙළෙඳපොළ මොන වගේද කියන කාරණා ගැන පොඩි රිසර්ච් එකක් කරලා බැලුවා නම්, අපි ඇත්තටම සාර්ථකත්වයක් බලාපොරොත්තුවෙන් අත ගහන්න ඕන ව්‍යාපාරය මොකද්ද කියන එක ගැන අදහසක් ගන්න පුළුවන්. හැබැයි එකක්, ලක්ෂ 50 ම එකවර ව්‍යාපාරෙකට යොදවන්න එපා. මොන තරම් ෂුවර් ව්‍යාපාරයක් වුනත්, හැකිතාක් සීමිත කැපිටල් එකක් යොදවලා, ඔය ව්‍යාපාරික ණයක් වගේ දෙයක් අරගෙන ඇදගෙන යන්න බලමු.
3. කොටස් වෙළඳපොළ ආයෝජනයක්?
මේක බොහොම ආකර්ෂණීය අදහසක්. මොකද, කොටස් වෙළඳපොළ ආයෝජනයන්ගෙන් ඔය ඩබල් ට්‍රිබල් වෙලා සල්ලි එන විදි හොලිවුඩ් ෆිල්ම් වල, ටීවී සීරීස් වල එහෙමත් පෙන්නනවනේ. අන්න ඒවා බලලා අපිත් හිතනවා සල්ලි දාලා මාසයක් ඉන්නකොට දාපු සල්ලි ඩබල් වෙලා අතට එයි කියලා. ඇත්තටම නම් එහෙම වෙන්නෙ නෑ. හැබැයි කොටස් වෙළඳපොළේ ආයෝජනය කරනවා කියන්නේ බොහොම හොඳ අදහසක්. කරන්න ඕන මේකයි. මුලින්ම කොටස් වෙළෙඳපොළ කොහොමද වැඩකරන්නේ, ආයෝජනය කොහොමද කරන්නේ කියන කාරණා ගැන ඒ ටු ඉසෙඩ් ඉගෙන ගන්න. ඊට පස්සේ හොඳ කොටස් තැරැව්කාර ආයතනයක් එහෙම සෙට් කරගෙන වැඩේට බහින්න පුළුවන්. හැබැයි එතනින් නවතින්න එපා. සමාගම් ගැන හොඳ අවධානයෙන්, ව්‍යාපාරික පුවත් ගැන හොඳ අවධානයෙන් ඉඳලා, සමාගම් වල වාර්ෂික වාර්තා එහෙම කියවලා එක්ස්පර්ට් දැනුමක් ලබාගන්න එකත් මරු. අන්න එතකොට කොටස් වෙළඳපොළ හරහා තමන්ට තවත් දියුණු වෙන්න පුළුවන් මං පෙත් පාදාගන්න පුළුවන්.
4. අගාර්වුඩ්?
ඔය වල්ලපට්ට වලට කොයි තරම් ඉල්ලුමක් තියෙනවද කියලා දන්නවනේ. එතකොට අගාර්වුඩ් කියන්නෙත් වල්ලපට්ට කුලයේම ශාක විශේෂයක් තමයි. ඉතින් ඔය එක එක ආයතන වලින් කරන ආයෝජන ව්‍යාපාරයක් තමයි, අගාර්වුඩ් වවන්න ආයෝජනය කරන්න මිනිස්සුන්ට අවස්ථාව දෙන එක. ඒ කියන්නේ මෙහෙමයි. ඔන්න මේ ආයතනයේ ඉඩමක අගාර්වුඩ් වවනවා. ඒකට අපි කියමු රුපියල් ලක්ෂයක් අපෙන් යනවා කියලා. ඒක වාරික වලිනුත් ගෙවන්න පුළුවන්. ඉන් පස්සේ අවුරුදු යම් ගාණකට පස්සේ, ඒ කියන්නේ ගස් වැවෙන්න යන කාලයට පස්සේ ඒ ආයෝජනය පස් හය ගුණයකින් හෝ සමහර වෙලාවට ඊටත් වඩා ප්‍රමාණයකින් ආපහු ලබාගන්න පුළුවන්. සමහරු අපිට ඉඩමේ සින්නක්කර අයිතියත් දෙනවා. හැබැයි ගෙවන්න ඕන ගාණ වැඩියි.
දැන් මේ වගේ ආයෝජනයක තියෙන අවදානම තමයි හොරුන්ට අහුවෙන්න පුළුවන් වීම. ආන්න ඒ නිසා, ඉඩමේ සින්නක්කර අයිතිය අපිට තියෙන විදියට, නීත්‍යානුකූලභාවය ගැන හොඳට හොයලා බලලා, විශේෂයෙන්ම අගාර්වුඩ් වගා කිරීම ගැන වුනත් ඉතාම හොඳට හොයලා බලලා ආයෝජනයක් කරන පුළුවන්.
5. අපි වවමු?
මේකත් වගා ආයෝජනයක් තමයි. හැබැයි අර උඩින් කිවුවා වගේ අවුලක් ඇති ආයෝජනයක් නෙවෙයි. හැබැයි ඉතින් මේ වගේ වැඩ කොළඹ හාන්සි පුටුවේ සැපට ඉඳගෙන කරලා ආදායම් ගන්න නම් අමාරු වෙයි. මේකට පොඩ්ඩක් බැහැලා, වැඩකරලා, මහන්සි වෙන්න පුළුවන් අය වෙන්න ඕන. කතාව මෙහෙමයි. දුරබැහැර පළාතකින් හොඳ ඉඩම් කෑල්ලක් ගන්නවා. හැබැයි මේ ඉඩම් කෑල්ල සාරවත් වෙන්න ඕන. ඒකට ඔය ගැන දැනුම් තේරුම් තියෙන කෙනෙක්ගේ උපදේශනය ලබාගත්තත් වරදක් නෑ. ඊට පස්සේ තියෙන්නේ හොඳ ඉල්ලුමක් තියෙන භවබෝග, නියම තාක්ෂණික ක්‍රමවේද වලට අනුව වගා කරන එක. මේවලට කෘෂිකර්ම නිලධාරීන්ගෙන් උපදෙස් ලබාගෙන එහෙම තමයි කරන්න ඕන. ආයෙ එකකට එකක් ලාබ ගන්න පුළුවන් හරියට කළොත්!
6. බැංකුවේ දාමුද?
මෙන්න බොහෝම කාලෝචිත යෝජනාවක්. උඩ අපි කතා කරපු ප්‍රැක්ටිකල් දේවල් වලට යන්න කාලවේලාව හරි, අවශ්‍යතාවය හරි නැතිනම්, හොඳ බැංකුවක් බලලා, ස්ථාවර තැන්පතුවක් හරි, සේවින්ග්ස් එකක් හරි දාන එක හොඳයි. මේ වෙනකොට සේවින්ග්ස් වලට එන පොලී අනුපාත නම් පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. හැබැයි ඒත් ලක්ෂ 50 ක් බැංකුවේ දානවා කියන්නේ සැලකිය යුතු මාසික පොලියක් අතට ලැබෙනවා කියන එක. අනික් එක, ඕන නම් ඔය ලක්ෂ 50 ට ලෝන් එකක් එහෙමත් ගන්න පුළුවන්.
7. බිට්කොයින්? වෙන වෙන කොයින්?
අපි මේ ගැනත් කියන්න හිතුවේ, විශේෂයෙන්ම ඔය තරුණ පරම්පරාව මේ ක්‍රිප්ටෝකරන්සි ගැන උනන්දුවක් තියෙන නිසා. හැබැයි ඉතින් මෙහෙමයි. අපි මේ ක්‍රිප්ටෝකරන්සි වල ආයෝජනය කිරීම ගැන තරයේම කියා සිටිනවා, වැඩේ නොදැන අතගහන්න එපා කියලා. මොකද, ලංකාවේ සෘජුව ක්‍රිප්ටෝකරන්සි වලට ඇක්සෙස් හොයාගන්නත් අමාරු එකේ, නොදැන වැඩේට අතගහලා අතේ තියෙන ලක්ෂ ගාණ එහෙ බලලා මෙහෙ බලනකොට ඉවර වෙන්න පුළුවන්. ආන්න ඒ නිසා, මේ බිට්කොයින් හෝ වෙනත් රිප්ල්, එතීරියම්, මොනෙරෝ වගේ ක්‍රිප්ටෝකරන්සි වර්ගයක් සඳහා ආයෝජනය කරනවා නම්, කරුණාකරලා ඒ ගැන ඉගෙන ගන්න. ඉන් පස්සේ වැඩේට අතගහන්න.
දැන් ඇයි අපි මේ වගේ දෙයියෝ දුන්න ලක්ෂ 50 ක් ගැන හිතලා බලන්න ඕන? සරලයි. අපිට දෙයියෝ ලක්ෂ ගණන් සල්ලි මවලා දෙන එකක් නැතිවෙයි. හැබැයි අපිට උත්සාහයෙන් දියුණු වෙලා ලක්ෂ කීපයක් හරි සංචිතයක් විදියට උපයලා පැත්තකින් තියන්න පුළුවන් නම්, අපි මොනවද ඒ සල්ලි වලින් කරන්න ඕන කියන එක ගැන පොඩි හරි අවබෝධයක් මෙතැනින් ලැබෙයි. විශේෂයෙන්ම හොරුන්ට, වංචාකාරයන්ට අහු නොවී තමන් වැරවෑයමින් උපයාගන්න සල්ලි වලින් ඉස්සරහට යන්න වුවමනා නම්, ආයෙමත් උඩ ඉඳලා ආටිකල් එක කියවලා බලන්න.
වෙන ආයෝජන අවස්ථා ගැන ඔයාලගේ අදහස් එහෙමට් කමෙන්ට් කරගෙන යන්න!
Leave a Reply