දැන් පරිසර දූෂණය කියන වචනය අපි මොන්ටිසෝරි යන කාලේ ඉඳලම අහන වචනයක්නේ. ඒ එක්කම ඔය පරිසර දූෂණය නොවෙන්න නම් අපි කරන්න ඕන දේවල් එහෙමත් පැටි කාලේ ඉඳලම කියලා දෙනවා. ඒ කියන්නේ ජල සම්පත රැකගැනීම, කුණු තැන තැන නොදැමීම, ගස් නොකැපීම, පොලිතීන් භාවිතය අඩු කිරීම වගේ කාරණා. හැබැයි ඉතින් එහෙම ඉගෙනගත්තට මොකෝ, ඕක කටපාඩමෙන් අපිත් තැන තැන කිව්වට මොකෝ, සාමාන්‍යයෙන් බොහොම අතලොස්සක් ඇරෙන්න අනික් හැමෝමත් ඔය පරිසර දූෂණය කියන එකට මහාපරිමාණෙන් දායක වෙනවා. නැහැයි කියලද කියන්නේ? එතකොට අපේ පාරවල් වල කුණු තියෙන්නේ අඟහරු ලෝකෙන් ඇවිත් දාලා ගිහිල්ලද? ඇත්තටම ගොඩක් අයගේ “පරිසරය රැකගමු” සීන් එකත් අර රහසින් පව් කරන සීන් එකටම සමානයි. ඒ කියන්නේ වටපිටාවේ කවුරුහරි ඉන්නකොට, ආයෙ ටොපි කොළයක්වත් පාරේ දාන්නෙ නෑ. ඒක බෑග් එකට දාගන්නවා. හැබැයි එහෙම බෑග් එකේ ගෙනිහින් එකතුවෙන ටොපි කොළ අනං මනං ඔක්කොම, රෑ පානේ කවුරුවත් නැති වෙලාවක ගාබේජ් බෑග් එකක දාගෙන ඇවිත් පාරට අතෑරලා යනවා!
හරි, දැන් ඔය පරිසර දූෂණය අවම කරලා පරිසරය රැකගන්න කරන්න ඕනැයි කියන ලොකු ලොකු දේවල් ගැන අපි අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍ය නෑනේ. ඒවා උපන්දා ඉඳලම අහන්න ලැබෙනවා. හැබැයි ගොඩක් මිනිස්සුන්ට අමතක වෙන පොඩි පොඩි දේවල් තියෙනවා පරිසර දූෂණයට සාමූහිකව ඉහළ දායකත්වයක් ලබාදෙන. ආන්න එව්වා කොහොමද නවත්තගන්නේ, මොනවද ඒ පොඩි පොඩි එව්වා කියන එක තමයි මේ කියලා දෙන්න සූදානම් වෙන්නේ.
1. ඒටීම් රිසිට් එක
කඩදාසි පාවිච්චියෙන් පරිසර දූෂණයක් වෙනවා. ඒ කියන්නේ, කඩදාසි කියන්නේ සාපේක්ෂව දිරායන ද්‍රව්‍යයක් වුනත්, කඩදාසි පාවිච්චිය අධික වෙනකොට, කසළ ගොඩගැසීම එහෙම වැඩිවෙනවා. ඔය කඩදාසි ප්‍රතිචක්‍රීකරණයේදී වුනත් සෑහෙන ප්‍රමාණයක පරිසර දූෂණයක් වෙනවා කියල තමයි කියන්නේ.
දැන් ඔය ඒටීඑම් එකට ගියාට පස්සේ අපි සල්ලි ගත්තත්, ශේෂය බැලුවත් ඒකේ ප්‍රතිඵල ස්ක්‍රීන් එකේ පෙන්නනවනේ. ඕන නම් රිසිට් එකක් ගන්නත් පුළුවන් වුනත්, ඒක ඉතින් විකල්පයක් විදියට තමයි ඉදිරිපත් කරන්නේ. ඇත්තටම අපේ එකවුන්ට් එකෙන් සල්ලි ගත්තා කියලා හරි, ශේෂය බැලුවා කියලා හරි අපිට රිසිට් එකක් මොකටද? ඒත් ඉතින් ගොඩක් දෙනෙක් කරන දෙයක් තමයි ඔන්න ඔහේ කියලා බැලන්ස් එක බැලුවත් රිසිට් එකක් ගන්නවා. ඊට පස්සේ රිසිට් එක බලන්නෙවත් නැතුව එතන කුණුකූඩෙට දාලා එනවා. නිකමට ඒටීඑම් එකක් ගාව තියෙන කුණුකූඩේ පැයකට දෙකකට ගොඩගැහෙන කඩදාසි කන්දරාව දැක්කහම හිතාගන්න පුළුවන් කොයිතරම් පරිසර දූෂණයක් ඒ ඔස්සේ සිදුවෙනවද කියලා.
2. තැපෑලෙන් එන බිල්
දැන් දැන් ඔය ටෙලිෆෝන් බිල්, වතුර බිල්, ලයිට් බිල් එහෙමත් ඊමේල් ඔස්සේ ගෙන්නගන්න පහසුකම් තියෙනවා. ඔය ටෙලිකොම් එකෙන් එහෙමනම් කෝල් කරලත් අහනවා බිල ඊමේල් එකට හරවන්නද, එහෙම හැරෙව්වොත් නොමිලේ ගිගාබයිට් 5 කුත් දෙනවා කියලා. හැබැයි ඒ පහසුකම අතිබහුතරයක් දෙනා පාවිච්චි කරන්නෙ නෑ.
ඇත්තටම මේ බිල් ඊමේල් එකට ගෙන්නගන්න එක පහසු නැද්ද? බොරුවට කොළ ගොඩගැහෙන්නෙත් නෑ. ඕනම තැනක පෘෆ් එකක් විදියට වුනත් ඊමේල් එකෙන් එන බිල් පෙන්නන්න ගැටළුවකුත් නෑ. විශේෂයෙන්ම පරිසර දූෂණයට ලැබෙන දායකත්වයත් අවම වෙනවා.
3. සබන් ගානකොටත් ටැප් එක ඇරලා!
දැන් ඔය කොවිඩ්-19 සීන් එකත් එක්ක සුපර් මාකට් එකකට ගියත් අත් හෝදලනේ යන්න ඕන. ඒකට අර කකුලෙන් ක්‍රියාකරවන්න පුළුවන් සින්ක් එහෙමත් හැමතැනම හයි කරලා තියෙනවා. හැබැයි අපි නිරීක්ෂණය කරපු දෙයක් තමයි, ගොඩක් දෙනෙක් ඔය සින්ක් එකේ වතුර එන්න කකුලෙන් පාගලා, සබන් ගාන්නෙත් එහෙමම වතුර එනකොට තමයි. ඕක ගෙදරදී ටැප් එකෙන් අත හෝදනකොට වුනත් ගොඩක් දෙනෙක් කරන දෙයක්. ඉතින් ඒ තත්පර තිහට වුනත් වතුර ප්‍රමාණයක් අපතේ යනවා නේද? ආන්න ඒ වතුර ටික වුනත් ඉතුරු කරගන්න පුළුවන් නම්, ඒක පරිසරයට කරන උදවුවක් නේද?
4. හැමදාමත් කාර් එකේද?
වායු දූෂණය ගැන කතා කරනකොට මේක අපිත් හැමදාමත් කියන දෙයක්. ඒ තමයි, ගෙදර කාර් එකක් තිබුණු පළියට හැමදාම කාර් එකේ වැඩට යන්න එපැයි කියන එක. විශේෂයෙන්ම කාර් එකේ යන්නේ තමන් විතරක් නම් ඒක හරිම අපරාදයක්. එක්කෝ කාර් පූලින් ක්‍රමේට හවුලේ කට්ටියටම කාර් එකක යන්න පුළුවන්. එහෙම නැතිනම් පොදු ප්‍රවාහනය පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැතුව ඔය බස් වල මාරු වෙවී එහෙ මෙහේ යන්න තියෙන දවසකට කාර් එක එලියට ගත්තට කමක් නෑ. හැබැයි ඉතින් කොළඹ රටේ ඒ වගේ එහෙ මෙහේ යන දවසක කාර් එක පාවිච්චි කරනවා කියන්නේ මොන තරම් හිසරදයක්ද කියලත් අපිට හිතලා බලන්න වෙනවා. ඊට වඩා ලාභදායී ටුක් ටුක් එකක් අරගෙන යන එක.
5. ඊ-බුක්ස්
උඩ අපි කියපු විදියට කඩදාසි පාවිච්චියෙන් පරිසර දූෂණයක් වෙනවා. අන්න ඒ නිසා තමයි කඩදාසි පාවිච්චිය හැකිතාක් දුරට අවම කරන්න අපි උත්සාහ කරන්න ඕන වෙන්නේ. එතකොට අපි කියවන්න ගන්න පොත් වලින් වුනත් යම්තාක් දුරකට සුළුවෙන් හෝ ඔය පරිසර දූෂණයට දායකත්වයක් ලැබෙනවනේ. හැබැයි මේ කියන්නේ පොත් ගන්න එපා කියන එක නෙවෙයි. භෞතික පොත් පරිශීලනය කරන අතරවාරයේදීම ඊ-බුක්ස් වලටත් හුරු වෙන්න කියලා. ඒ කියන්නේ ඔය කින්ඩ්ල් ඊ-බුක් රීඩර් එකක් එහෙම ගන්න කියන එක තමයි. එතකොට අර ලඟ තියාගන්න තරම් වුවමනාවක් නැති පොත් කින්ඩ්ල් එකෙන් කියවන්න පුළුවන්. එතකොට ඒ වලිනුත් ලඟ තියෙන්න ඕනමය කියලා හිත ගියපු පොත් අපිට වෙනම සල්ලි දීලා ගන්න පුළුවන්.
කින්ඩ්ල් ඊ-බුක් රීඩර් වලින් තාම සිංහල පොත් කියවන්න පහසුකම් නෑ. හැබැයි ඒකට ඔය ගුරුළුගෝමි, පොත් ඇප් වගේ එව්වා පාවිච්චි කරන්න පුළුවන්.
6. ලයිට් දාලමද?
මේකත් ඇත්තටම ගොඩක් දෙනෙක් නොකළට, පුංචි කාලේ ඉඳලම අපේ අම්මලා තාත්තලා අපිට කට කැඩෙනකල් කියන දෙයක්. ඒ තමයි, නිකරුණේ ලයිට් එහෙම දාලා තියන්න එපා කියන එක. මේක හැබැයි වැඩකරන්නේ මෙහෙමයි. දැන් අපි දවල් කෑම කන්න පැය බාගෙකට, පැයකට එලියට යනවා නම්, වැඩ කර කර හිටපු කාමරේ ලයිට් ඕෆ් නොකර යන එක අපරාදයක්. ඒ වෙලාවේ වැයවෙන විදුලි බලය ආරක්ෂා කරගන්න පුළුවන්. හරි, දැන් තියෙන එල්ඊඩී බල්බ් එක්ක බලනකොට ඕක බොහොම සුළු බලශක්ති ප්‍රමාණයක වැය වීමක් වෙන්න පුළුවන්. ඒත් දීර්ඝ වෙලාවකට එලියට යනවා නම් ලයිට් එක ඕෆ් කරලා යන එක අමාරු වැඩක් නෙවෙයිනේ. මේක ලයිට් වලට විතරක් නෙවෙයි, ෆෑන්, ලැප්ටොප්, ටීවී වගේ හැමදේකටම අදාළයි. හැබැයි විනාඩියකට දෙකකට එළියට යන ඩිංගටත් මේවා ඕෆ් කර කර ඉන්න එක තේරුමක් නෑ. අන්න ඒ ප්‍රායෝගිකත්වයත් ඔලුවේ තියාගන්න ඕන අපි.
7. ගෙවතු වගා
පසුගිය කොරෝනා කාලේ නම් මේ ගැන සෑහෙන්න උනන්දුවක් මතු වුනා. අපි වවමු, වවාගෙන කමු කියලා ප්‍රයිම් මිනිස්ටර්ගේ පුතාගේ ඉඳන් හැමෝම හරි හරියට වගා කරන්න ගත්තා. හැබැයි මාස දෙකකින් ඇඳිරි නීතිය ඉවර වෙනකොට සමහරුන්ට වගා කරපු තැන් මතකත් නෑ. හැබැයි තවත් සමහරු නම් වගාවන් වලින් ඵල එහෙමත් නෙලා ගත්තා. ඇත්තටම පිරිසිදුවට එළවලුවක්, පළතුරක් කන්න ලැබෙන අවස්ථාව හැරුණහම, ගෙවතු වගාවෙන් ඇත්තටම පරිසර හිතකාමී දේකුත් වෙනවා. ඒ කියන්නේ පරිසරයට හිතකර වායු මුදාහැරීම, පාංශු ජීවීන් ඇතුළු පරිසරයට හිතකර ජීවීන් ආරක්ෂා වීම ඇතුළුව පොදුවේ පරිසරය ආරක්ෂා වෙන්න ඉඩ සැලසෙනවා. ඒ එක්කම ඔය ගෙවතු වගාවට වුවමනා කොම්පෝස්ට් පොහොර එහෙමත් ගෙදරම ඉවතලන ද්‍රව්‍ය වලින් හදාගත්තහම වැඩේ තවත් ගොඩ.
Leave a Reply