මිනිසා විසින් මිනිසාට එරෙහිව දියත් කරන ලද විනාශකාරීම යුද්ධය වන දෙවන ලෝක යුද්ධයේදී මිනිස් ජීවිත මිලියන ගණනක් ලොවට අහිමි වුණා. ඒ වගේම සමස්ත මානව වර්ගයාගේ ප්රගමනය යම්තාක් දුරකින් අඩාල කිරීමටත් දෙවන ලෝක යුද්ධය සමත්වුණා. එම යුද්ධය තුළදී යම්කිසි දියුණුවක් සිදු වුණා නම් සිදුවුණේ යුද්ධායුධ කර්මාන්තයේ පමණයි. ලෝක යුද්ධය ගැන කතාකරන බොහෝ තැන්වලදී කතා නොකරන මාතෘකාවක් ගැනයි අපි අද කතා කරන්න යන්නේ. ඒ එම යුද්ධයේ ප්‍රතිඵලයක් විදිහට මිනිසාට අහිමිව ගිය ලොව විශිෂ්ටතම කලා නිර්මාණ පිළිබඳව.
1. ඇම්බර් කුටිය (Amber Room)
රුසියාවේ කැතරින් මාළිගයෙහි තිබූ එක්තරා කුටියක් දෙස් විදෙස් වල පතළ කීර්තියක් අත් කරගෙන තිබුණා. රනින් විසිතුරු කර තිබූ මෙම කුටිය ඇම්බර් වලින් නිර්මාණය කර තිබුණේ ජර්මනියේ කාර්මික ශිල්පීන් විසින්. සාර් රජු සඳහා ප්‍රශියානු රජෙකුගෙන් ත්‍යාගයක් ලෙස ලබා දී තිබූ මෙම නිර්මාණය නාසි හමුදා විසින් කොල්ල කනු ලැබුවා. ඔවුන් විසින් මෙම කුටිය සම්පූර්ණයෙන්ම ගලවා නැවතත් ජර්මනිය වෙත ගෙන ගියේ දෙවැනි ලෝක යුද්ධයේ දී එතෙක් යුද්ධයේ ඔවුන් රුසියාවට එරෙහිව ලබා තිබූ ජයග්‍රහණය සැමරීමටයි. එහෙත් ඉන්පසුව මේ නිර්මාණයට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව කිසිවෙක් දැන සිටියේ නැහැ.
2. තරුණයෙකුගේ සිතුවම (The Portrait of a young man – Raphael)
ඉතාලි ජාතික සුප්‍රකට චිත්‍ර ශිල්පියෙකු වන රෆායෙල් විසින් නිර්මාණය කරන ලද මෙම සිතුවම ඒ වන විට පෝලන්තයේ ප්‍රධාන පෙළේ ධනවතෙකුගේ චිත්‍ර එකතුවේ ප්‍රධාන ස්ථානයක් ගෙන තිබුණා. එහෙත් පෝලන්තය ආක්‍රමණය කිරීමෙන් අනතුරුව නිර්දය ලෙස එරට කොල්ලකෑ නාසි හමුදාව විසින් මෙම නිර්මාණයත් ජර්මනිය වෙත රැගෙන ගියා. අවසානයේදී සිදුවූයේ මේ නිර්මාණයත් මිනිස් සංහතියට අහිමි වී යෑමයි.
3. සිත්තරෙකු වැඩට යන අතරමගදී සිතුවම (Painter on His Way to Work – Vincent Van Gogh)
වින්සන්ට් වැන්ගෝ විසින් නිර්මාණය කරන ලද මෙම සුවිශේෂී සිතුවම ඔහුගේ නිර්මාණ ජීවිතයේ එක් විශිෂ්ට නිර්මාණයක් ලෙස කලා රසිකයන්ගේ මෙන්ම කලා විචාරකයන්ගේ ද ගෞරවාදරයට පාත්‍ර වූ නිර්මාණයක්. නාසීන්ගේ කුප්‍රකට කලා මංකොල්ලයට හසුවූ මෙම නිර්මාණයත් අවසානයේදී මිත්‍ර පාක්ෂික හමුදාවන්ගේ බෝම්බ ප්‍රහාරවලින් දැවී ගියා.
4. මැඩෝනා සහ දරුවා (Madonna with the Child – Giovanni Bellini)
ජියෝවානි බෙලිනි විසින් සිය කලා ජීවිතය තුළ අඳිනු ලැබූ විශිෂ්ටතම සිතුවම ලෙස සැලකුණු මෙම නිර්මාණය ජර්මනියේ කෞතුකාගාරයෙන් කෞතුකාගාරයට මාරුකර යැවුණේ මිත්‍ර පාක්ෂික බෝම්බ ප්‍රහාරවලින් ආරක්ෂා කර ගැනීම සඳහායි. කෙසේ වෙතත් දෙවැනි ලෝක යුද්ධය අවසානයේ ජර්මනිය මිත්‍ර පාක්ෂික හමුදා වලට යටත් වූ කාලය දක්වා මෙම නිර්මාණය ආරක්ෂා වී පැවති බවට වාර්තා වෙනවා. නමුත් ඉන්පසුව මෙම චිත්‍රයට සිදු වූයේ කුමක්ද යන්න තවමත් නොවිසඳුණු අබිරහසක්.
5. ශාන්ත අන්තෝනි මුනිතුමාගේ පරීක්ෂාව (The Temptation of St. Anthony – Lucas Cranach the Elder)
ජ්‍යෙෂ්ඨ ලූකාස් කාර්නාක් නම් ලී කැටයම්කරුවා විසින් සකස් කරන ලද මෙම ලී කැටයම එම සියවස තුළ බිහිවුණු විශිෂ්ට නිර්මාණයක් ලෙස සැලකුණා. විශේෂ ක්‍රමයකට සකසා තිබු මේ කැටයම තුළින් ශාන්ත අන්තෝනි මුනිතුමාගේ ජීවිතයට සම්බන්ධ බොහෝ දේවල් සංකේත වලින් නිරූපණය කිරීමටත් කැටයම් ශිල්පියා සමත් වී තිබුණා. මිල කළ නොහැකි මේ නිර්මාණය සියවස් ගණනාවක් පුරා ජාකොබ් කර්බන් පවුලේ සාමාජිකයන්ගේ පාරම්පරික නිවහන තුළ ආරක්ෂාව පැවතුණා. නාසි ජර්මනිය විසින් පැහැර ගන්නා ලද මෙම නිර්මාණයත් දෙවැනි ලෝක යුද ගිනි දළු මැද ලොවට අහිමිව ගියා.
6. ජේසු ස්වාමි දරුවන්ගේ පිළිසිඳ ගැනීම (The Annunciation – Jacob Jordanes)
ජේකොබ් ජෝර්ඩන්ස්ගේ තෙළිතුඩින් නිර්මාණය වුණු මෙම චිත්තාකර්ෂණීය සිතුවම ලෝඩ්ස් කෞතුකාගාරයක චිත්‍ර එකතුවේ වඩාත් අවධානය යොමු වූ චිත්‍රය බවට පත්ව තිබුණා. ලෝඩ්ස් නගරය අත්පත් කර ගැනීමෙන් පසුව ජර්මානු හමුදා විසින් මෙම කෞතුකාගාරයේ පරිපාලනය සඳහා ජර්මානු විද්වතුන් රාශියක් පත් කරනු ලැබුවා. ඔවුන් විසින් මෙම කෞතුකාගාරයේ සියලුම කෞතුක වස්තු ජර්මනියට අරගෙන යාමට තීරණය කළා. නමුත් අපි කලින් සඳහන් කළ කලා නිර්මාණ වලට සේම මෙම නිර්මාණයටත් ජර්මනිය තුළ ගත කිරීමට හැකි වුණේ සුළු කාලයක් පමණයි.
7. ඩයනා සහ කැලිස්ටෝ (Diana and Calisto – Peter Paul Ruben)
දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වීමටත් පෙර සිට, එනම් ජර්මනිය එක්සත් වීමටත් පෙර ප්රශියානුවන් පෝලන්තය කෙරෙහි වෛරී සහගත ආකල්පයකින් කටයුතු කළා. මේ නිසාම මධ්‍යස්ථ ප්රශියානුවන් පිරිසක් පෝලන්ත මිත්‍රත්ව සංගමය පිහිටවනු ලැබුවා. එම සංගම් මූලස්ථානය සඳහා රූබන් විසින් නිර්මාණය කරන ලද මෙම විශිෂ්ට සිතුවම භාවිතා කිරීමට තීරණය කළා. කෙසේ වෙතත් දෙවැනි ලෝක යුද්ධය නිමා වුණේ මෙම නිර්මාණයටත් සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව ප්‍රශ්නාර්ථයක් ඇති කරමින්.
එහෙමනම් ඉතිං වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් මෙය ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply