චන්ද්‍රමණ්ඩ​ලෙන් ඇසෙන දි​යණියකගේ ආත්මීය ස්වරය සමග දැහැන්ගත වෙමු

ගීත රසික රසිකාවි​යන් හැටියට අපි ගීත දස දහස් ගණනක් අසා ඇති. නමුත් අපේ හදවත් ස්පර්ෂ කර අපේ හැඟීම් අවුළුවන්නට සමත් වෙන්නේ ඒ අතරිනුත් කොපමණ ​අල්පයක් වූ නිර්මා​ණ​ද? සොඳුරු ගායන විලාශයකින් පමණක් නොනැවතී, තම හදවතින්ම කරනු ​ලබන ගායනයකින් අපේ හදවත් පහුරු ගාන්නට සමත්වන හඬක් අපට ඇසෙන්නේ කොතරම් කලාතුරකින්ද? 

 

අපේ අද ලිපියට පාදක වන්නේ එවන් හඬකට උරුමකම් කියන්නියක්…

 

“සීමා නෑ”, “රිදී රිදී”, “නිස්සාර සංසාර”, “නේත්‍රා” ආදී නිර්මාණ හරහා අපේ සවන් තුළ වැද, අපේ හදවත් පිරිමැද්ද ඇය නමින් අභිෂේකා විමලවීර.

 

 

අභිෂේකා ගැන කතා කරද්දී ඇගේ ජීවිතය තුළ ඇ​ය ඇගේ පියාණන් වන සුනිල් විමලවීරයන්ට හිමි කර දී ඇති තැන ගැන අමුතුවෙන් අපි ඔබට විස්තර කළ යුතු යැයි අපි සිතන්නේ නැහැ. අභිෂේකා ත​ම ජීවිතය ගැන දොඩමළු වී ඇති බොහෝ තැන්වල ඇගේ ජීවිතයට වැටුණු පියාගේ දැවැන්ත සෙවනැල්ල ගැන මෙන්​ම ඔහුගේ අහිමිවීම ඇගේ ජීවිතයට බලපෑ ආකාරය ගැනත් ඇය සංවේදී​ව අදහස් ප්‍රකාශ කරලා තියෙනවා ඔබත් දැක ඇති. 

 

තම ආදරණීය පියාණන් ගැන ඇගේ හදේ ඇති ඒ හැඟීම් වලින් තවත් අංශු මාත්‍රයක් මුදා හැරීමට මේ වන විට ඇය සියලු කටයුතු සූදානම් කර අවසන්… ඒ ‘චන්ද්‍රමණ්ඩලේ’ නම් ගීතයක් හරහා.

 

 

‘චන්ද්‍ර මණ්ඩලේ’ නම කියූ සැණින් බොහෝ දෙනෙක්ගේ මතකයට නැගෙන්නේ රත්න ශ්‍රී විජේසිංහයන්ගේ පද වැළින්, රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙන් සහ සුනිල් එදිරිසිංහයන්ගේ හඬින් හැඩවුණු ගීතයක්. පියෙකුගේ හිතේ තම දියණිය කරා උපදින ප්‍රේමයත්, වියෝ වේදනාවත් අරබයා අසන්නන් සිත් කම්පනය කරන්නට සමත් වූ ගීතයක් එය. යොවුන් ප්‍රේමය නිසා පියා හැරදා ගිය දියණියක් ගැන නිර්මාණය වූ ඒ ගීතයේ නමම අභිෂේකා තමන්ගේ ඊළඟ නිර්මාණයට යොදාගන්නට එක් සුවිශේෂී හේතුවක් තිබෙනවා. එනම්, ‘චන්ද්‍ර මණ්ඩලේ’ නමින් ඇය විසින් ගයන්නේ ඒ ගීතයට පිළිතුරු ගීයක් වීමයි. මෙය ඇගේ පෞද්ගලික අත්දැකීමක් වීම නිසා එය ඇගේ හදට තවත් සමීප ගීතයක් බවට පත් වී ඇති වගක් තමයි අපට දැනගන්නට ලැබෙන්නේ… 

 

චන්ද්‍ර මණ්ඩලේ මුල් ගීතයේ පියවරුන් වන රත්න ශ්‍රී සහ රෝහණ වීරසිංහයන් විසින් තමයි මේ පිළිතුරු ගීයටත් පද වැළ සහ සංගීතය සපයා තිබෙන්නේ.

 

දියණි​ය අහිමි වූ පියෙකු වෙනුවට, පියා අහිමි වූ දියණියක​ගේ ආත්මීය වේදනාව මෙවර අපට අභිෂේකාගේ හඬින් අසන්නට ලැබෙනු ඇති… අභිෂේකාගේ ජීවිතයට වඩාත්ම සමීප අත්දැකීමක් අළලා නිර්මාණය වන්නක් බැවින් එය සංවේදී ස​හ සොඳුරු විඳීමක්​ම විය හැකි බවටයි අපේ විශ්වාසය…

 

 

ඉතින් අපිත් සමගම ඒ ගීත​ය රස වින්දනය කරන්නට එක් වන්නටැයි Lifie අපි ඔබටත් ආරාධනා කරනවා . මේ මස 23 වැනිදාට යෙදෙන අභිෂේකාගේ පියා වන සුනිල් විමලවීර මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් එදින උදෑසන 9ට අභිෂේකාගේ YouTube චැනලය ඔස්සේ මේ ගීතය මුදා හරින්නට නියමිතයි.

 

ඇගේ YouTube චැනලය සම​ග මේ Link එක හරහා එක්වන්න 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *