වර්තමානයේ අපට සිටින දක්ෂතම නවක රංගන ශිලිපිණියෝ

ලංකාවේ රංගන ශිල්පිණියන්ගේ නාමාවලිය රුක්මණී දේවිය, අයිරාංගනී සේරසිංහලාගෙන් පටන්ගෙ​න අද වෙනකල් පරම්පරා ගණනාවක් පසු කරමින් සුවිසල් වෙනස්වීම්, විශාල වීම් හා පෙරළි ගණනාවකට භාජනය වෙමින් ඉදිරියට ඇදෙනවා. කාලයත් එක්ක සිදු වුණු සමාජ පරිවර්තන, තාක්ෂණික වෙනස්වීම්, රූපලාවණ්‍ය නව්‍යතාවන් හා විලාසිතා රැළි එක්ක ලාංකික රංගන ශිලිපිණියන්ගේ කුලකය ද අද වෙද්දී නවීකරණය වෙලා. ඒ හා සමාන්තරවම අති දක්ෂ නවක රංගන ශිල්පිණියන් රැසකුත් අපිට තිළිණ වෙලා ඉන්නවා දැකීම ඔබට සතුටක් වෙයි. ඒ වගේම අධ්‍යාපනික සුදුසුකමින් හා කුසලතාවයෙන් ද වර්තමානය වන විට ඔවුන් ඉතා අගය කළ යුතු තත්ත්වයක රැඳිලා ඉන්නවා. ඔවුන් ද අනාගතයේදී මෙරට රංගන ක්ෂේත්‍රයේ හිණි පෙත්ත තරණය කිරීමට වගේම ජාත්‍යන්තරයේත් ජය කෙහෙළි නැංවීමට සූදානම් බවට මේ වන විටත් ඉඟි පහළ කර අවසන්. මේ ලිපිය හරහා අපි ඔබට ගෙන එන්නේ එවැනි අති දක්ෂ අලුත් ශිල්පිණියන් 7ක් පිළිබඳවයි…

 

1. කළණි දොඩංතැන්න

නිතරම සුන්දර සිනහවකින් හා සුහදශීලී හැසිරීමකින් සැරසී සිටින ඇය 2019 වසරේ සිග්නිස් සම්මාන උළෙලේ හොඳම ටෙලිනාට්‍ය නිළිය ලෙස ද, සුමති ටෙළි සම්මාන උළෙලේ නැගී එන නිළිය ලෙසද සම්මානයට පාත්‍ර වී තිබෙනවා. ඒ, ඇය වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රය හරහා සාර්ථක ගමනක් පැමිණියාට පස්සේ සම්බන්ධ වන පළවෙනිම ටෙලි නාට්‍යය වන නාමල් ජයසිංහ මහතාගේ “සහෝදරයා” නාට්‍යයේ “උත්තරා දේවි” චරිතය වෙනුවෙන්. ඉන් පසුව “කූඹියෝ” සහ “තණමල්විල කොල්ලෙක්” නාට්‍ය නිර්මා​ණ සඳහා ද ඇය සිය දායකත්වය ලබා දෙනවා. ඒ වගේම “තාල” චිත්‍ර​පටියේ ද ඇගේ රංගන කෞෂල්‍යය රිදී තිරයට සාර්ථකව එළි දක්වනවා. ඒ එක්කම ඇය වෘත්තියෙන් චිත්‍ර ශිල්පිණියක් හා ළමා මනෝ චිකිත්සකවරියක් වශයෙන් ද කටයුතු කරනවා. අපි හැමෝම හොඳින් හඳුනනා ජනප්‍රිය රංගන ශිල්පී තුමිඳු දොඩංතැන්නගේ ආදරණීය බිරිඳ ද ඇයයි.

 

2. නිරංජනී ෂන්මුගරාජා

ඉතාම ආකර්ෂණීය නෙත් සඟලක් සතු ඇය අපේ රටේ සහෝදර ද්‍රවිඩ ජාතික තරුණියක්. නමුත් ඇයගේ මව සිංහල. 2009 වර්ෂයේ ජාතික රූපවාහිනියේ ‘ලන්ච් ටයිම් මියුසික්’ වැඩසටහනේ නිවේදිකාවක් වශයෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඇය තවමත් ලොතරැයි වැඩසටහන් නිවේදනයට එක් වෙමින් ඔබේ ආලින්දයට එනවා. රංගනයත් සමඟ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට එක් වන නිසා ඇය පසු කාලීනව ජාතික යොවුන් නාට්‍ය උළෙලේ අවසාන තරගයේ හොඳම නිළිය බවට ද පත් වෙනවා. අවුරුදු 34ක යෞවන නාට්‍ය උළෙල ඉතිහාසයේ සිංහල වේදිකා නාට්‍යයකට දෙමළ නිළියක් හොඳම සම්මානය ලබාගත් ප්‍රථම අවස්ථාව හැටියට එය ඉතිහාසයට එකතු වුණා. ඊට පස්සේ ඇ​ය රිදී තීරයට පිය නඟන්නේ අශෝක හඳගම මහතාගේ “ඉනිඅවන්” චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයක් හරහායි. නමුත් ඇය ඒ සඳහා ලංකාවේ හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තා. පසුගිය දිනවල තිරගත වුණු සෝමරත්න දිසානාය​ක මහතාගේ “සුනාමි” චිත්‍රපටය හරහා ද ඇය මතක හිටින චරිත රංගනයකින් අප හමුවට පැමිණියා.

 

3. අනුසුයා සුබසිංහ

ඉන්දික ෆර්ඩිනැන්ඩු විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙරට අතිශය ජනප්‍රිය චිත්‍රපටයක් වූණු “හෝ ගානා පොකුණේ” උමා ටීචර්ගේ චරිතය හරහා විශිෂ්ට රංගන පරාසයක නියැළුණු ඇය අනුසුයා සුබසිංහයි. 31 වන චිකාගෝ ජාත්‍යන්තර ළමා චිත්‍රපට උළෙලේ ගුරුවරුන්ගේ තේරීම ත්‍යාගය ද, 38 වන ලූකාස් ජාත්‍යන්තර ​ළමා උළෙලෙහිදී හොඳම වෘත්තාන්ත චිත්‍රපටය සඳහා සම්මානය ද, 55 වන ස්ලීන් චිත්‍රපට උළෙලෙහිදී සිටි ඔෆ් ස්ලීන් සම්මානය ද ඇය ප්‍රධාන චරිතය හෙබවූ “හෝ ගානා පොකුණ” දිනා ගත්තා. ඒ වගේම 2016 දී 4 වන දෙරණ සන්සිල්ක් චිත්‍රපට සම්මාන උළෙලේදී “හෝ ගානා පොකුණ” චිත්‍රපටය සඳහා අභිධාන නවයක් සහ සම්මාන හයක් හිමි වුණා. අනුසුයා සුබසිංහ සඳහා ජූරියේ විශේෂ සම්මානය ද එහිදී හිමි වුණා. මේ ආදී වශයෙන් බොහෝ සම්මාන රැසකට හිමිකම් කියමින් සිංහල රිදී තිරයට පිවිසි අනුසුයා සුබසිංහ සිංහල සිනමාවට අනාගතයේ  බලාපොරොත්තු තැබිය හැකි දක්ෂ රංගන ශිල්පිණියක්‌ බවට නිරායාසයෙන්ම පත් වෙලා තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබා ඇති ඇය මේ වෙද්දී සෞන්දර්‍ය කලා විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්​ඨ කතිකාචාර්‍යවරියක් විදිහට සේවය කරනවා. ඉදිරියේදී “වෙඩි නොවදින ළමයි” චිත්‍රපටය හරහා ද ඇය රිදී තිරයේදී ඔබ හමුවීමට නියමිතයි.

 

4. රිතිකා කොඩිතුවක්කු

ආකර්ෂණීය මෙන්ම සරාගී සුන්දරත්වයකට හිමිකම් කියන ඇය, චන්ද්‍රරත්න මාපිටිගම මහතාගේ “සිහිනය දිගේ එන්න” චිත්‍රපටයේ රඟපෑමෙන් අනතුරුවයි අශෝක හඳගම මහතාගේ “ඇගේ ඇස අග” චිත්‍රපටිය හරහා සිනමාවේ ජනප්‍රියත්වයට පිවිසෙන්නේ. ඇය එම චරිතය සඳහා සිග්නීස් සම්මාන උළෙලේ නිර්මානශීලී සහය නිළියට හිමි සම්මානය දිනාගන්නවා. ඒ වගේම දෙරණ සිනමා සම්මාන උළෙලේ නැගී එන නිළිය වශයෙන් ද ඇය එම වසරේ සම්මාන දිනාගත්තා.  රිතිකා කොඩිතුවක්කු ගේ රංගනය මෙරට රංගන ක්ෂේත්‍රයේ කතා බහක් ඇති කිරීමට සමත් වුණා වගේම ඇගේ ආන්දෝලනාත්මක චරිත නිරූපණය වෙනුවෙන් පැසසුම් වගේම චෝදනා ද එල්ල වුණා. සිනමාවට පිවිසීමට පෙර ඇය නිරූපණ ශිල්පිණියක් වශයෙන් ද කටයුතු කර තිබෙනවා. නමුත් ඈ රඟ පෑ චරිත සීමිත වුණත් එම චරිත වෙනුවෙන් දක්වපු සුවිශේෂී රංග කුසලතාවන්  නිසා අදටත් ආකර්ෂණීය ශිල්පිණියක් ලෙස ප්‍රේක්ෂක මතකයේ රැඳී සිටිනවා.

 

5. බිම්සරා ප්‍රේමරත්න

සුවිශේෂී රුවක් වගේම ප්‍රබල කට හඬක් ද හිමි නවක රංගන ශිල්පිණියක් වන ඇය දීප්තිමත් පෞරුෂයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඇ​ය මුල්වරට ඔබ වෙතට එන්නේ 2014 වර්ෂයේ ස්වර්ණවාහිනියේ විකාශනය වූ “අප්පච්චී” ටෙලිනාට්‍ය​ය හරහා. එහි “මේඝනා” ගේ චරිතයට පණ පෙවූ ඇය එහි විශිෂ්ට රංගනය උදෙසා එම වසරේ සුමති ටෙලි සම්මාන උළෙලේ “වසරේ නැගී එන රංගන ශිල්පිණිය” යන සම්මානයට නිර්දේශ වෙනවා. ඊළඟට අපිට ඇයව දකින්න ලැබෙන්නේ ආනන්ද අබේනායක මහතාගේ “බැද්දේ කුලවමියෙහි” “ශෙරීන්”  චරිතය හරහා. මේ චරිතය තුළ දක්වපු විශිෂ්ට රංගනය වෙනුවෙන් ඈ සිග්නීස් සම්මාන උළෙලේදී සම්මාන ලබනවා. එම සියළු ඇගයීම් හමුවේ ඈ තවදුරටත් ප්‍රත්‍යක්ෂ කරන්නේ තාත්වික රංගනයක ඇති විශිෂ්ටත්වයයි. සිංහල වේදිකා නාට්‍ය කලාව තුළින් ද සිය රංගන කෞෂල්‍යය විදහා දැක්වූ ඇය රාජිත දිසානායක මහතාගේ “නැතුව බැරි මිනිහෙක්” වේදිකා නාට්‍යයේ කළ රංගනය උදෙසා 2017 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේදී  “විශිෂ්ට සහය රංගනය” උදෙසා වූ සම්මානය හිමි කරගන්නවා. 2018 “According to Matthew” චිත්‍රපටය හරහා මැතිව් පියතුමාගේ බිරිඳ ලෙසින් ද ඇය චරිත නිරූපණය කරනවා. 2015 වසරේ අනෝමා රාජකරුණා මහත්මිය විසින් නිෂ්පාදනය කර නාද්‍යා පෙරේරා අධ්‍යක්ෂණය ක​ළ “While You Slept” චිත්‍රපටය හරහා වගේම 2018 වසරේ දිනාර පුංචිහේවා විසින් අධ්‍යක්ෂණය කල “Maalaa” කෙටි චිත්‍රපටය හරහාත් ඇය ඔබ හමුවට එනවා. ඊට අමතරව 2018 නිර්මාණය වූ “Good Karma Hospital” චිත්‍රපට මාලාවේ එක් කොටසකිනුත් ඇගේ රංගනය දැකගන්න පුළුවන්. සුමති සිවමෝහන්ගේ “පියවරැ සහ පුත්තු” චිත්‍රපටයටත්, ​රොහාන් මුදන්නායක විසින් නිර්මාණය කරන ලද “Elephant” චිත්‍රපටයටත් ඇය රංගනයෙන් දායක වෙනවා. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ “යශෝදරා” චිත්‍රපටයට පූර්ව පසුබිම් කථනය සිදු කරන්නේත් ඇගේ මනරම් හඬිනුයි. වර්තමානයේ ඇය මෙරට කාන්තාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කරනා සමාජ ක්‍රියාකාරිණියක් ද වනවා.

 

6. කසුනි කාවින්දි ප්‍රනාන්දු

මේ දිනවල විකාශය වන “රාවණා” ටෙලි නාට්‍යයේ සටන් ශූරිය වන “මාලනී” හා පසුගියදා නිමාව දුටු නමුත් සමාජ මාධ්‍ය ජාලා ප්‍රේක්ෂකාගාරයේ ඉතා ජනප්‍රියත්වයට පත් වුණු “තණමල්විල කොල්ලෙක්” ටෙලි නාට්‍යයේ “දම්මී” චරිතය රඟපාමින් සිය දක්ෂතා එළි දැක්වූයේ ඇයයි. කසුනි වෘත්තීය රංගන ශිල්පිණියක් වගේම හ​ඬකැවීම් ශිල්පිණියක් විදි​හට ද කටයුතු කරනවා. පාසල් කාලයේදීම රංගන කටයුතු ආරම්භ කරපු ඇය පසු කාලීනව සෞන්දර්‍ය විශ්ව විද්‍යාලයේ සිය උසස් අධ්‍යාපනය හදාරන අතරතුර නිර්මාණ රැසකට දායක වෙනවා. ඒ අනුව වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක වන ඇය 2014 වසරේදී ජාතික යෞවන සම්මාන උළෙලේදී දිගු නාට්‍ය හො​ඳම රංගනයට හිමි සම්මානය ලබාගන්නේ “චෙරිඋයන” නාට්‍යයේ “රැනෙව්ස්කෙයා” ගේ චරිතය වෙනුවෙන්. එම රංගනය වෙනුවෙන්ම ඇය 2015 රාජ්‍ය නාට්‍ය උළෙලේ දිගු නාට්‍ය හො​ඳම නිළියට නිර්දේශ වෙනවා. නැවතත් 2017 වසරේදී ද “බිසෝ අම්බලම” කෙටි නාට්‍ය වෙනුවෙන් ඇය හො​ඳම නිළියට නිර්දේශ වෙමින් රංගනය වෙනුවෙන් ජූරියේ විශේෂ සම්මානයක් ලබාගන්නවා. මේ අයුරින් 2014 වසරේ සිට නොකඩවාම ඇය රාජ්‍ය නාට්‍ය උළෙල සහ යෞවන සම්මාන උළෙල නියෝජනය කරන අතර වේදිකාවේ එවකට තරුණ රංගන ශිල්පිණියන් අතර ප්‍රමුඛ ස්ථානයක් ලබාගන්නවා. ඇය රංගන දක්​ෂතාවය නිසා ලබ​න ජනප්‍රියභාවය නිසාම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන කාලයේදීම ඇයට පුංචි තිරයට සහ රිදී තිරයට දොරගුළු විවර වෙනවා. ඇයගේ පළමු ටෙලිනාට්‍ය රංගනය 2014 වසරේදී “මාද ඔබම විය” ටෙලි නාට්‍යයෙන් ඇරඹෙනවා. අනතුරුව ඇය සත්‍යා, කූඹියෝ, පැරීසියට යන පාර, ත්‍රෛලෝකා, රාවණ, DNA, තණමල්විල කොල්ලෙක් ආදී සුවිශේෂී තේමාවන් ඔස්සේ නිමවුණු ටෙලිනාට්‍ය ස​ඳහා රංගනයෙන් දායක වෙනවා. ඇය සිනමාවට පිවිසෙන්නේ 2015 වසරේදී (තවමත් තිරගත නොවූ) සම්මානනීය චිත්‍රපටයක් වන “ඉක්කා” චිත්‍රපටයෙන්. ඒ වගේම තවත් බොහෝ චිත්‍රපට රැසකින් ඇය අනාගතයේදී ඔබ හමු වෙන්නට නියමිතයි.

 

7. මිෂෙල් දිල්හාරා

හුරුබුහුටි රූපයක් වගේම සුන්දර හදවතක් හිමි තරුණියක් වන ඇය රංගන ශිල්පිණියක් වගේම කරාටේ ක්‍රීඩිකාවක්, කතුවරියක්, සමාජ ක්‍රියාකාරිණියක් හා ගායිකාවක් වනවා. එම සෑම ක්ෂේත්‍රයකම පැතිරුණු දක්ෂතා වලින් සර්ථක පෞරුෂයකට හිමිකම් කියන ඇය පසු ගිය දවස් වල වැඩිපුරම කතා බහට ලක් වුණේ ජාතික රූපවාහිනියේ විකාශය වුණු “සුදු ඇඳගෙන කළු ඇවිදින්” ටෙලි නාට්‍යය හරහායි. සිරස නාලිකාවේ විකාශය වූ “සල්සපුනා” ටෙලිනාට්‍යයේ “පොඩි පත්තරකාරිය” ලෙස මුලින්ම ඔබේ ආලින්දය​ට පැමිණි ඇය එදා පටන් මෙරට නවක රංගන ශිලිපිණියන් අතර අලුත්ම තාරකාවක් ලෙස හැඳින්වීමත් අතිශයෝක්තියක් නෙමෙයි. මීගමුවේ නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඈ ළමා කාල​යේ පටන්​ම රංගන කටයුතු වල නිරත වෙලා තියෙනවා. ඒ වගේම පූරි, ඒමි හා තුත්තිරි කියන ටෙලි නාට්‍ය වලත් ඇය සිය රංගන කුසලතා එළි දැක්වූවා. ඇය ඇගේ රංගන කටයුතු සඳහා මෙන්ම සමාජ සේවා කටයුතු සඳහා ද සම්මාන වලින් පුද ලබා තිබෙනවා.

 

මේ ලිපියෙන් අපිට මග හැරුණු නමුත් ඔබ ප්‍රිය කරන දක්ෂ රංගන ශිල්පිණියන් ගැනත් අපිට කමෙන්ටුවකින් කියන්න අමතක කරන්න එපා. ඔබේ ප්‍රතිචාර අනුව මේ ලිපියට දෙවැනි කොටසකුත් එකතු කරන්න අපි බලාපොරොත්තු වනවා.

 

තිනෙති නානායක්කා​ර

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *