පුංචි බබාලට දෙන්න හොඳ නැති කෑම වර්ග 7ක්

පුංචි බබාලා ගැන එක එක මාතෘකා අපි මීට කලින් කතා කළානෙ. අද කතා කරන්නෙ බබාලගෙ කෑම ගැන. අපි හැමෝම දන්න දෙයක්නෙ අපි කනවා වගේ හැම කෑමක්ම පොඩි බබාලට දෙන්න හොඳ නැහැ කියන එක. විශේෂයෙන්ම අවුරුද්දට අඩු, ඝණ ආහාර පටන් ගත්ත අලුතම පොඩි බබාලට. එයාලට දෙන්න හොඳ නැති කෑම වර්ග ලොකූ ලැයිස්තුවක්ම තියෙනවා. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ එතන නෙමෙයි. නූතන වෛද්‍ය විද්‍යාවෙ සොයාගැනීම් වලට අනුව බටහිර වෛද්‍යවරු මේ මේ කෑම පොඩි දරුවන්ට දෙන්න එපා කියල ලැයිස්තුගත කරල තිබ්බට ලංකාවෙ පරණ අම්මල, ආච්චිලනම් ඕව පිළිගන්නව ටිකක් හොරයි. “අනේ අපේ කාලෙනම් ඔය කෝලම් නැහැ, ඔය ඕන දෙයක් කැව්වා” වගේ කතා කියල ඒ කාලෙ විදිහට ළමයින්ට කවන්න බලපෑම් කරන එක තමයි හුඟක් අය කරන්නෙ. ඉතින් ඒ බලපෑම නිසාම එයාල කියන දේ විශ්වාස කරල මේ අහිතකර ආහාර බබාලට දෙන අළුත් අම්මලත් ඉන්නව. ඔය හැමෝටම දැනගන්න අපි අද කියන්න යන්නෙ අපි නිතරම බබාලට දෙන්න හොඳ නැහැ කියල කියන කෑම බීම වර්ග කිහිපයක් ගැන, ඇයි ඒවා දෙන්න හොඳ නැහැ කියන්නෙ කියන හේතුවත් එක්කම.  

 

 

1. ලුණු

 

බබාලට, විශේෂයෙන්ම අවුරුද්දට අඩු පුංචිම බබාලගෙ කෑමට එකතු කරන්න හොඳම නැහැ කියන දේවල් අතරේ උඩින්ම තියෙන දෙයක් තමයි මේ ලුණු කියන්නෙ. රජයේ ක්ලිනික් වලින් කෙරෙන දැනුවත් කිරීම් වලදීත් අවධාරණය කරලම කියවෙන කාරණාවක් තමයි අවුරුද්දක් යනකං බබාලගෙ කෑම වලට ලුණු එකතු කරන්න එපා කියන එක. 

පුංචිම බබාලගේ ශරීරයේ අවයව හරියටම හැදිල නැහැ. ඉතින් වකුගඩුත් එහෙමයි. එහෙම හරියටම නොහැදුණු පුංචි වකුගඩු වලින් ආහාර වල අඩංගු වෙන අධික ලුණු පෙරන්න හැකියාවක් නැහැ. එහෙම අමාරුවෙන් වැඩ කරන්න ගියොත් ඒ පුංචි වකුගඩු වලට හානි වෙන්න පුළුවන්. ඒ නිසයි කෑමට අමතරව පිටින් ලුණු එකතු කරන්න එපා කියන්නෙ. මොකද අපි ගන්න කෑමවල අඩංගුවෙන ලුණු ප්‍රමාණයකුත් තියෙනවනේ. ඉතින් පිටින් ලුණු එකතු කරන්න පුළුවන් අවුරුද්දෙන් පස්සෙයි. ඒත් පුළුවන් තරම් අඩුවෙන්ම එකතු කරන එක හොඳයි. මොකද අධික ලුණු සහිත ආහාර වලට හුරු වෙන එක ලොකු අපිට උණත් හොඳම නැහැ. අධික රුධිර පීඩනය වගේ රෝග වලට ලොකුම හේතුවක් ඒක.

 

 

2. සීනි  

 

සීනි කියන්නෙත් ලුණු වගේම දෙන්න එපා කියල ක්ලිනික් වලින් පවා නිතර මතක් කරන කෑමක්. ඒ වගේම ලුණු වලටත් වඩා ශරීරයට අහිතකර දෙයක්. විශේෂයෙන්ම සුදු සීනි පිරිපහදු කිරිමේදී යොදන රසායනික ද්‍රව්‍ය දරුවන්ට අහිතකරයි. ඒ වගේම සීනි කියන්නෙ බබාලගෙ ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල කරන්න පුළුවන් කෑමක්. ඒ නිසාම පසුකාලීනව ආසාදන වගේ දේවල් ඇතිවෙන්න පුළුවන්. පුංචි කාලෙම සීනි දුන්නම කටේ බැක්ටීරියා රැඳීම වැඩි නිසා කිරි දත් මතුවෙනකොටම ඒවා දිරන්න තියෙන අවදානමත් වැඩියි. ඒ වගේම පොඩි කාලෙ ඉඳන්ම සීනි වලට හුරු වුණ බබාලට පසුකාලීනව අධික ස්ථුලභාවය සහ දියවැඩියාව වගේ රෝග තත්ත්වයන් ඇතිවෙන්නත් පුළුවන්. ඒ නිසා ඔන්න අවුරුද්දක් යනකම් සීනිත් එපාම එපා.

 

 

3. මී පැණි

 

මී පැණි කියන්නෙනම් සීනි වගේ කෘත්‍රීම පිරිපහදු කිරීමේ ක්‍රියාවලියකට ලක්නොවෙන ස්වභාවික දෙයක්. ඒත් අවුරුද්දට අඩු බබාලටනම් මී පැණි දෙන්නත් බැහැ. මොකද මී පැණි වල අඩංගු වෙනවා පුංචි බබාලගෙ බඩවැල් වලට ඉතාම අහිතකර වෙන බැක්ටීරියා වර්ගයක්. ඒ බැක්ටීරියාව නිසා මාංශපේශී දුර්වල වීම, කිරි උරාබීම අඩාල වීම, මළබද්ධය වගේම සමහරවිට අංශබාගය වගේ ඉතාම දරුණු රෝගී තත්ත්වයකුත් ඇතිවෙන්න පුළුවන්. අනිත් එක මී පැණි කියන්නෙත් පැණි රසක් නිසා දත් නරක් වීමේ ගැටළුවත් සීනි වල වගේම මී පැණි වලත් තියෙනවා.

 

 

4. රටකජු සහ වෙනත් ඇට වර්ග

 

රටකජු වගේම ආමන්ඩ් වගේ වෙනත් ඇට වර්ගත් අවුරුද්දට අඩු පුංචි බබාලට දෙන්න හොඳ නැහැ. රටකජු කියන්නෙ සමහර අයට අසාත්මිකතාවයක් පෙන්නන්න පුළුවන් කෑමක්. ඒ නිසා පොඩි බබාලට කාලයක් යනකම් නොදී ඉන්න එක තමයි හොඳ. ඒ වගේම අනිත් ඇට වර්ගත් කලාතුරකින් ආසාත්මිකතා ඇතිකරන්න පුළුවන් වගේම ඇට පිටින්ම දුන්නොත් පුංචි බබාලට හිරවෙලා ශ්වසන මාර්ගය අවහිර කරන්න පුළුවන්. හරියට හැපුනේ නැති කැබලි පිට උගුරේ ගිහින් පෙනහළු වලට ඇතුළු උනත් ලොකු ගැටළුකාරී තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්.

 

 

5. බිත්තර  

 

බිත්තර දෙන්න හොඳ නැත්තේ නැහැ. මාස 6න් කෑම පටන් අරන් සතියක දෙකක වගේ කාලෙක ඉඳලා බිත්තර කහ මදය, ඊළඟට සුදු මදය විදිහට ක්‍රමයෙන් බබාලට බිත්තර හඳුන්වා දෙන්න පුළුවන්. හොඳ නැහැ කියල කියන්නෙ බාගෙට තැම්බූ හෝ බැදපු බිත්තර දෙන්නයි. බිත්තර වල අඩංගු වෙන්න පුළුවන් සැල්මොනෙල්ලා කියන බැක්ටීරියාව විනාශ වෙන්නනම් ඒවා හොඳින් තම්බලා හෝ බැදලා ආහාරයට ගන්න ඕන. මොකද ඒ බැක්ටීරියාව නිසා විවිධ ලෙඩරෝග ඇතිවෙන්න පුළුවන්. පුංචි බබාලට විතරක් නෙමෙයි, බබාල ලැබෙන්න ඉන්න අම්මලාටත් බාගෙට උයපු බිත්තරනම් කන්න හොඳ නැහැ. 

 

 

6. නැවුම් කිරි

 

මේ කියන්නෙ පාස්චරීකරණය නොකරපු නැවුම් කිරි ගැන. ඔය අපි සුපර්මාර්කට් වලින් ගන්න ෆ්‍රෙෂ් මිල්ක් කියන්නෙ මේවට තමයි. මේ නැවුම් කිරිත් පුංචි බබාලට අහිතකරයි. මේ කිරි වලත් සැල්මොනෙල්ලා වගේ අහිතකර බැක්ටීරියා වර්ග හුඟක් ඇතුළත් වෙන්න පුළුවන්. ඒ වගේම මව්කිරි වගේ නෙමෙයි. සතුන්ගේ කිරිවල අඩංගු වෙන අධික ලැක්ටෝස් ප්‍රමාණය පුංචි බබාලගෙ අමාශයෙන් ජීර්ණය කරන්න අපහසු වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔන්න අවුරුද්දකට කලින් නැවුම් කිරි දෙන්නත් එපා.

 

 

7. චොකලට්

 

චොකලට් හොඳ නැහැ කියන්න එක හේතුවක් තමයි ඒවගේ අධික පැණි රස. සීනි නිසා වගේම දත් නරක්වීම, පසුකාලීන රෝග වලට එහෙම චොකලට් බලපාන්න පුළුවන්. ඒ වගේම තමයි චොකලට් වල අඩංගු වෙන කැෆේන් නිසාම චොකලට් අවුරුද්දට අඩු බබාලට හුඟක්ම නුසුදුසුයි. කැෆේන් වලින් අපේ ස්නායු පද්ධතියට ඇතිකරන බලපෑම ලොකු අයට වගේ පුංචි බබාලට දරාගන්න අපහසුයි. ඒ නිසා පුංචි බබාලා අතරේ අධික්‍රියාකාරී තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *