ජීවත් වෙලා ඉන්දැද්දි මොන මොන දේ එක් රැස් කළත්, යනකොට යන්න වෙන්නේ හිස් අතින්ය කියල අපේ ජනප්‍රිය කතාවක් තියනවනෙ. “මොකටද කාසි බාගෙ හොයා තියා… යනකොට ගෙනියනවද අනේ ඔයා” කියල ජනප්‍රිය සින්දුවකුත් තියනවනෙ. හැබැයි අපි මේ ලිපියෙන් කියන්නේ ඒ මතයට පරස්පර විරෝධී කතන්දර ටිකක්. ඒ තමයි මිනී පෙට්ටියෙන් අවසන් ගමන් යද්දි එක එක දේවල් අරගෙන ගිය ජනප්‍රිය පුද්ගලයෝ පිරිසක් ගැන.
1. බොබ් මාලේ – ගිටාරය, බයිබලයක් සහ ගංජා
රෙගේ ශෛලියෙන් සංගීත ලෝකයේ විප්ලවයක් කරපු ජැමෙයිකානු ජාතික බොබ් මාලේ ගැන ඔබට අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නැහැ කියලා අපි හිතනවා. රෙගේ සංගීතයට අමතරව රස්ටෆාරියන්වාදය ලෝකය පුරා ප්‍රචලිත කරන්නත් බොබ් මාලේ සමත් වුණා. බොබ් මාලේ මිය යන්නේ වයස අවුරුදු 36ක් තරම් තරුණ වයසකදී පිළිකාවකට ගොදුරු වීමෙන්. මාලේ ගේ අවසන් කටයුතු සිද්ධ වෙන්නේ ‘නයින් මයිල්’ නම් ඔහු උපන් ගමේදීයි. එහිදී ඔහුගේ මිනී පෙට්ටිය තුළ තබන ලද මාලේ ප්‍රිය කළ රතු ගිබ්සන් ගිටාරයකුත්, 23 වැනි ගීතාවලියට පෙරළූ බයිබලයකුත්, ගංජා ස්වල්පයකුත් සමග තමයි ඔහු මිහිදන් වන්නේ.
2. ෆ්‍රෑන්ක් සිනාට්‍රා – ජැක් ඩැනියල්ස් විස්කි බෝතලයක්, සිගරට්, ලයිටරයක් සහ කාසි කිහිපයක්
ජනප්‍රිය ඇමරිකානු ගායකයෙක් සහ නළුවෙක් වුණු ෆ්‍රෑන්ක් සිනාට්‍රා සුප්‍රකට ජැක් ඩැනියල්ස් විස්කිවලට තදින්ම ඇබ්බැහි වෙලා හිටි පුද්ගලයෙක්. ඔහු කොයි තරම් මේ විස්කි වර්ගයට ප්‍රිය කළාද කියනවනම් ඔහු එය හඳුන්වලා තියෙන්නේ “දෙවියන්ගේ අමෘතය” නමින්. තමන්ගේ සංගීත ජීවිතය සහ පෞද්ගලික ජීවිතය පුරාවට ගමන් සඟයෙක් වෙච්ච මේ විස්කි වර්ගය තමන් අවසන් ගමන් යද්දීත් අරන් යන්න සිනාට්‍රා අමතක කරන්නේ නැහැ. 1998 වර්ෂයේදී අවුරුදු 82ක් ආයු වළඳා අවසන් ගමන් යනකොට ඔහුගේ ඉල්ලීම පරිදි මිනී පෙට්ටියේ ජැක් ඩැනියල්ස් බෝතලයක්, කැමල් වර්ගයේ සිගරට් පෙට්ටියක්, ලයිටරයක් සහ මාරු කාසි වලින් ඩොලර් කීපයක් දමලා තමයි ඔහුව මිහිදන් කරන්නේ. හදිසියක් වුණොත් පේ ෆෝන් කෝල් එකක් ගන්න හැකියාව ලැබෙන නිසාලු සිනාට්‍රා මිනී පෙට්ටියට කාසි දාන්න කියලා තියෙන්නේ.
සිනාට්‍රාගේ ජැක් ඩැනියල්ස් ප්‍රේමයට උපහාර දැක්වීමක් හැටියට ජැක් ඩැනියල්ස් සමාගම විසින් පස්සේ කාලෙක ‘සිනාට්‍රා සිලෙක්ට්’ නමින් විස්කි වර්ගයකුත් වෙළඳපොළට හඳුන්වලා දෙනවා.
3. ජෝන් එෆ්. කෙනඩි – තල්මස් දතක්
හිටපු ඇමරිකානු ජනාධිපතිවරයෙක් වුණු ජෝන් එෆ් කෙනඩි ගොඩක් ප්‍රිය කරලා තියනවා තල්මස් දත් සහ අස්ථි වලින් කරපු නිර්මාණ වලට. මේ දත් සහ අස්ථි වල නොයෙකුත් කැටයම් රටා කපපු නිර්මාණ එකතු කරන්නටත් ඔහු පෙළඹිලා තියනවා. කෙනඩිගේ මේ ආශාව ගැන දන්නා ඔහුගේ බිරිඳ එක නත්තලකදී ඔහුට ඇමරිකානු ජනාධිපති ලාංඡනය කොටපු අඟල් 9 1/2ක් දිග නිල් තල්මස් දතක් තෑගි කරලා තියනවා. 1963 දී අවාසනාවන්ත විදිහට ඝාතනය වුණායින් පසුව ඔහුගේ මෘත දේහය සහිත මිනී පෙට්ටියේ කෙනඩි ප්‍රිය කරපු ඒ නිල් තල්මස් දතත් තැන්පත් කරලායි ඔහුව මිහිදන් කරන්න කටයුතු කරල තියෙන්නේ.
4. රෝල් ඩාල් – පැන්සල්, චොක්ලට්, වයින් බෝතලයක්, කියතක් සහ ස්නූකර් කූරු
‘චාලි ඇන්ඩ් ද චොක්ලට් ෆැක්ටරි’ කියපු ගමන් ඔබට මේ ලේඛකයව මතක් වෙයි. අපේ ළමා ලෝකය රසවත් කරන්නට කථා රැසක් තිළිණ කරපු සොඳුරුම ලේඛකයෙක් තමයි රෝල් ඩාල් කියන්නේ. ඒ කතා ඇසුරින් නිර්මාණය වුණු සිනමාපටත් බොහොමයක් තියනවා. සිය අවසන් කැමැත්ත පරිදි රෝල් ඩාල් අවසන් ගමන් යද්දී තමාත් සමග මිහිදන් කරන්නැයි ඉල්ලන වස්තු එකතුවත් ඔහුගේ පරිකල්පන ලෝකය තරම්ම අමුතු සහ අපූරු දේවල් ටිකකින් තමයි සමන්විත වන්නේ. පැන්සල්, චොක්ලට්, බර්ගන්ඩි වයින් බෝතලයක්, යාන්ත්‍රික කියතක් සහ ස්නූකර් ක්‍රීඩා කරන්න භාවිතා කරන කූරු කිහිපයක් එයට ඇතුළත්ව තිබුණා.
5. බෙලා ලුගෝසි – ඩ්‍රැකියුලා ඇඳුම
අලුත්, පරණ භේදයක් නැතිව සිනමා පට නරඹන සිනමා ලෝලියෙක්ට නම් බෙලා ලුගෝසිව ආගන්තුක චරිතයක් වෙන්න කිසිම හේතුවක් නැහැ. මොකද සිනමාවේ ඩ්‍රැකියුලා චරිතය ගැන කතා කරද්දී මුලින්ම කතා කරන්න ඕනෑ නළුවෙක් තමයි බෙලා ලුගෝසි කියන්නේ. බ්‍රෑම් ස්ටෝකර්ගේ ඩ්‍රැකියුලා නව කතාව මුල්වරට 1931 දී සිනමාවට නැගෙද්දී එහි ඩ්‍රැකියුලා චරිතයට පණ පොවන්නේ හංගේරියානු ජාතිකයෙක් වුණු බෙලා ලුගෝසියි. එතෙක් සිනමාවෙන් ඇහැට දැකලා හුරු නොවුණු මේ චරිතය බෙලා ලුගෝසිගේ පෙනුමත් එක්ක තමයි ප්‍රේක්ෂයන්ගේ මනසේ කාවැද්දෙන්නේ. කොහොම වුණත් බෙලා ලුගෝසි ඒ ඩ්‍රැකියුලා චරිතයෙන් ලබපු ජනප්‍රියත්වය නිසාමද මන්දා ඔහුට ඒ රාමුවෙන් පිට පැනලා සිනමාවේ වෙනත් වැඩ කරන්නට අපහසු වෙනවා. 1956 දී අවුරුදු 73ක් ආයු වළඳා බෙලා ලුගෝසි මෙලොව හැර යනවා. ඒ ගමනට ඔහුව සරසවනු ලබන්නේත් සුප්‍රකට ඩ්‍රැකියුලා කබාය ඇතුළු කවුන්ට් ඩ්‍රැකියුලා ඇඳුම් පැළඳුම් වලිනුයි.
6. ජෝර්ජ් බර්න්ස් – සුරුට්ටු තුනක්
ජෝර්ජ් බර්න්ස් කියන්නේ හිටපු ඇමරිකානු ප්‍රහසන නළුවෙක්. සිනමාව, ගුවන් විදුලිය සහ ටෙලිවිෂනය කියන අංශ තුනෙන්ම තමන්ගේ කීර්තිය පතුරුවාලූ ජෝර්ජ් බර්න්ස්ගේ තවත් එක විශේෂත්වයක් වුණේ කොයි වෙලේත් ඔහුගේ අත රැඳි සුරුට්ටුවයි. සුරුට්ටු බීමට දැඩි ලෙස ඇබ්බැහි වී සිටි බර්න්ස්ට දුම්බීම නැවැත්වීමටත් වෛද්‍ය උපදෙස් ලැබෙනවා. ඒත් කිසිදාක ඒ පුරුද්ද අත් නොහරින බර්න්ස් අවසානයේදී මිය යන්නේ වයස අවුරුදු 100ක් ආයු වළඳලායි. මරණින් මතුවටත් තමන්ගේ ප්‍රයෝජනය සඳහා තමන් ප්‍රිය කරපු සුරුට්ටු වර්ගයෙන් සුරුට්ටු තුනක් කෝට් සාක්කුවේ රඳවගෙනයි ජෝර්ජ් බර්න්ස් අවසන් ගමන් යන්නේ.
7. හැරී හූඩීනී – මවගේ ලියුම්
ලෝකය පුදුමයට පත් කරන්න සමත් වුණු මැජික් කරුවන් අතර ඉහළින්ම කියවෙන නමක් වෙන්නේ හැරී හූඩීනී නාමයයි. හංගේරියානු ජාතිකයෙක් වුණු හැරී හූඩීනී ඕනෑම උගුලකින් ගැලවී යන්නට තරම් විස්මිත හැකියාවක් තිබුණු අයෙක්. මාංචු, සිර මැදිරි, මිනී පෙට්ටි ඇතුළු නොයෙකුත් දේවලින් විස්මිත අන්දමින් ගැලවීම තමයි හූඩිනීගේ මැජික් සංදර්ශනවල ප්‍රධානම අංගයක් වුණේ. කුඩා කල සිට දුෂ්කර ජීවිතයක් ගත කළ හූඩීනී තමන්ගේ මවට දැඩි ලෙස ආදරය දැක්වූවෙක්. ඔහු තමන්ගේ මවව ‘සුර දූතියක්’ හැටියටයි සැළකුවේ. මවගේ මරණයේ වේදනාවෙන් හැරී හූඩීනී කිසි දවසක ගොඩ එන්නේ නැහැ. හූඩීනීගේ අවසන් කැමැත්ත අනුව මිනී පෙට්ටියේ ඔහුව සතපන්නේ මව විසින් එවන ලද ලියුම් දමා මසන ලද කොට්ටයක් මත ඔහුගේ හිස තබායි.
Leave a Reply