චයිනීස් ෆිශ් රෙසිපි 5ක් ගෙදරදීම හදාගන්න රෙසිපි මෙන්න!

පසුගිය සති​යේ අපි ගෙනාවේ චයිනීස් චිකන් රෙසිපීස්. ඔන්න අද අපි ගෙනාවා චයිනීස් ක්‍රමයට මාළු හදාගන්න හැටි. මේ රෙසිපීස් එකින් එක කියවලා බලලා හරියටම චයිනීස් රෙස්ටෝරන්ට් එකක ව​ගේ රසට කෑම හදාගන්න ඉගෙන ගන්න එන්න.  

 

1. චිලී ෆිශ්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කටු රහිත මාළු ග්‍රෑම් 300
  2. තරමක කෑලි කපාගත් බෙල්පෙපර් ගෙඩි 1
  3. තරමක කෑලි කපාගත් ළූණු ගෙඩි 1
  4. මිරිස් කුඩු තේ හැඳි 1
  5. ලුණු
  6. ඉඟුරු, සුදුළූණු පේස්ට් මේස හැඳි 1/2
  7. ලෙමන් යුෂ තේ හැඳි 2
  8. පාන්පිටි මේස හැඳි 1
  9. කෝන්ෆ්ලා මේස හැඳි 2
  10. ගම්මිරිස්කුඩු
  11. බිත්තර සුදුමද 1
  12. චොප්කරගත් සුදුළූණු බික් 4
  13. චොප්කරගත් ළූණු කොළ ටිකක්
  14. කපාගත් අමුමිරිස් කරල් 2

 

සෝස් මික්ස් එකට

 

  1. චිලී සෝස් මේස හැඳි 2
  2. ඩාක් සෝයාසෝස් මේස හැඳි 2
  3. තක්කාලි සෝස් මේස හැඳි 2
  4. සුදු විනාකිරි මේස හැඳි 1

 

  • සෝස් මික්ස්‍ එකට අවශ්‍ය ඔක්කොම කලවම් කරලා සෝස් එක හදාගන්න.
  • කපාගත් මාළු වලට ලුණු හා මිරිස්කුඩු, ඉඟුරු සුදුළූණු පේස්ට්, ලෙමන් ජූස් ටික දාගන්න. ඔක්කොම හොඳට කලවම් කරලා පැය 1/2ක් මැරිනේට් කරගන්න.
  • මැරිනේට් කරගත් මාළු වලට පාන්පිටි, කෝන්ෆ්ලා, ගම්මිරිස්කුඩු ඇති පදම දාගන්න. බිත්තර සුදුමදය දාලා හොඳට අතින් කලවම් කරගන්න.
  • පෑන් එකෙන් බාගයක් වගේ පිරෙන්න තෙල් දාලා මේ මාළු ටික ඩීප් ෆ්‍රයි කරගන්න. ගෝල්ඩන් බ්‍රවුන් වෙනකල් බැදගෙන ලිපෙන් බාගන්න.
  • දැන් වෙනම භාජනයකට තෙල් ටිකක් දාලා චොප්කරගත් සුදුළූණු  ටික දාගන්න. බෙල්පෙපර් හා ළූණු ටිකත් දාගන්න. ටිකකින් චොප්කරගත් ළූණු කොළ ටික දාගන්න. හොඳට ෆ්‍රයි වෙනකොට කපාගත් අමුමිරිස් එකතු කරන්න.
  • හැඳිගාන ගමන් බැදගත් මාළු ටික දාගන්න. සෝස් මික්ස් එක දාලා හොඳට කලවම් කරලා තවත් විනාඩි 5ක් වගේ කුක් කරගෙන ලිප නිවාගන්න.

 

 

2. ස්වීට් ඇන්ඩ් සවර් ෆිශ් ෆිලට්

 

සෝස් එකට අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. චිලී සෝස් මේස හැඳි 1
  2. තක්කාලි සෝස් මේස හැඳි 1
  3. සීනි මේස හැඳි 1
  4. සෝයාසෝස් මේස හැඳි 1
  5. වයිට් විනාකිරි මේස හැඳි 1
  6. වතුර මිලිලීටර් 100

 

මාළු එකට අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කපාගත් බෙල්පෙපර් පාට දෙකකින්
  2. කපාගත් තක්කාලි ගෙඩි1
  3. කපාගත් ළූණු ගෙඩි 1
  4. බිත්තර 1
  5. ෆිශ් ෆිලට් ග්‍රෑම් 100 (කටු ඉවත් කරගත් මාළු )
  6. කෝන්ෆ්ලා ග්‍රෑම් 100

 

  • බිත්තරය විස්ක් කරලා මාළු ටික ඒකට දාලා කෝන්ෆ්ලා වල කෝට් කරගෙන මාළු ටික ගැඹුරු තෙලේ රන්වන්පාට වෙනකල් බැදගන්න.
  • වෙනම පෑන් එකකට තෙල් ටිකක් දාලා කපාගත් ඔක්කොම දාලා ෆ්‍රයි කරගන්න. 
  • සෝස් එකට අවශ්‍ය ද්‍රව්‍ය සේරම එකට මිශ්‍ර කරල පෑන් එකට දාගන්න. කෝන්ෆ්ලා මේස හැඳි 1ක් වතුර මේස හැඳි 2ක දියකරලා කරි එකට එකතු කරන්න. සෝස් එක තික් වෙනකල් හැඳිගාලා ලිප නිවාගෙන, සෝස් එක උණුවෙන් තියෙද්දිම මාළු ටික එකතු කරල කලවම් කරගන්න. 

 

 

3. චයිනීස් ෆිශ් මැන්චූරියන්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. තලපත් මාළු ග්‍රෑම් 500
  2. කොටුවට කපාගත් තක්කාලි ගෙඩි 1
  3. කොටුවට කපාගත් ළූණු ගෙඩි 1
  4. කපාගත් බෙල්පෙපර් ගෙඩි 1
  5. චොප්කරගත් සුදුළූණු බික් 4
  6. චිලී පේස්ට් ස්වල්පයක්
  7. චොප්කරගත් ඉඟුරු තේ හැඳි 1
  8. ලුණු හා ගම්මිරිස්කුඩු
  9. තක්කාලි සෝස් මේස හැඳි 1
  10. සීනි මේස හැඳි 1
  11. විනාකිරි තේ හැඳි 1

 

බැටර් එකට

 

  1. පාන්පිටි කෝප්ප  1/2
  2. කෝන්ෆ්ලා මේස හැඳි 1
  3. ලුණු හා ගම්මිරිස්කුඩු
  4. කහකුඩු තේ හැදි 1/2

 

  • පාන්පිටි, කෝන්ෆ්ලා, ලුණු, ගම්මිරිස්කුඩු හා කහකුඩු වලට වතුර ටිකක් දාලා තික් බැටර් එකක් හදාගන්න. මාළු ටික තරමක කෑලි කපාගෙන මේ බැටර් එකට දාලා කෝට් කරගෙන ගැඹුරු තෙලේ බැදගන්න.
  • වෙනම පෑන් එකකට තෙල් ටිකක් දාලා චොප්කරගත් ඉඟුරු, සුදුළූණු දාලා තෙම්පරාදු කරන්න. 
  • ඒකටම ළූණු, තක්කාලි,  බෙල්පෙපර්, සෝස් වර්ග ටිකත් එකතු කරන්න. ලුණු හා ගම්මිරිස්කුඩු රස අනුව දාගන්න. විනාකිරි හා සීනි ටික දාලා මාළු ටික එකතු කරන්න. තවත් විනාඩි 5ක් වගේ තියලා ලිපෙන් බාගන්න.

 

 

4. චයිනීස් ස්ටීම්ඩ් ෆිශ්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ගල් මාළු කූරියෙක්
  2. ළූණු ගස් කීපයක්
  3. කපාගත් ඉඟුරු ටිකක්
  4. පීනට් ඔයිල් මේස හැඳි 4
  5. ලයිට් සෝයාසෝස් මේස හැඳි 4
  6. කපාගත් කොත්තමල්ලි කොළ කෝප්ප 1/2
  7. ඉඟුරු කෑල්ලක්
  8. කපාගත් රතු මිරිස් කරල් 2

 

  • මාළුවව හොඳින් සෝදලා අනවශ්‍ය කොටස් අයින් කරගන්න. බඩ මැදින් කැපුමක් දාගන්න.
  • සෝයාසෝස් වලට කොත්තමල්ලි කොළ හා චොප්කරගත් ළූණු කොළ ටිකක් දාලා ඇරෝමැටික් සෝයාසෝස් එක හදාගන්න. ඒක විනාඩි 10ක් පසෙකින් තියලා තියන්න.
  • ටොපින් එකට ළූණු කොළ ටිකක් අඟලක වගේ ප්‍රමාණෙට කපාගන්න. ඉන් පස්​සේ හීනියට දිග අතට ලියාගන්න. ඉඟුරු ටිකත් පෙති කපලා හීනියට දිගට ලියාගන්න. මිරිස් ටිකත් හීනියට කපාගන්න.
  • දැන් බේකින් ට්‍රේ එක යටට කපාගත් ළූණු ගස් ටිකක් දාලා මාළුවව තියාගන්න. මාළුවගෙ බඩ ඇතුලටත් කපාගත් ඉඟුරු හා ළූණු කොළ සියල්ල පුරවගන්න.
  • මාළුවා හොඳට ස්ටීම් කරගන්න. දැන් පීනට් ඔයිල් ටික රත් කරලා මාළුවගෙ උඩින් වක්කරගන්න. හදාගත්තු සෝස් එකත් උඩින් වක්කරගන්න. අන්තිමට කපාගත් කොත්තමල්ලි කොළ ටිකක් ඉසගන්න.

 

 

5. චයිනීස් ෆිශ් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කොටුවට කපාගත් අල ගෙඩි 2
  2. කපාගත් කැරට් අල 1
  3. කපාගත් ළූණු කොළ ස්වල්පයක්
  4. කටු රහිත මාළු වර්ගයකින් ග්‍රෑම් 100 
  5. සුදුහාල් කෝප්ප 1/2
  6. ලුණු හා ගම්මිරිස්කුඩු

 

  • අල හා කැරට් වලට සුප් එක අවශ්‍ය ප්‍රමාණයට වතුර දාලා තම්බගන්න. තැම්බීගෙන එනකොට මාළු ටික දාගන්න. 
  • ඊළඟට හාල් එකතු කරන්න චොප්කරගත් ළූණු කොළ ටික දාගන්න. රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න. බත් හා මාළු තැම්බිලා ඉවර උනාම ලිප නිවාගන්න. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *