නෙට්ෆ්ලික්ස් එකේ බලන්න තියෙන, අනිවාර්යයෙන්ම බලලා තියෙන්නම ඕන ඉන්දියානු ටීවී සීරීස් කීපයක්!

දැන් දැන් ගොඩක් අය නෙට්ෆ්ලික්ස් එකෙන් ෆිල්ම්ස්, ටීවී සීරීස් එහෙම බලන්න යොමු වෙලා ඉන්නවනේ. ඇත්තටම ඒක සෑහෙන පහසුයි. ලොකු මුදලක් වැයවෙන්නෙත් නෑ. දැන් සමහර ටීවී සීරීස් සහ ෆිල්ම්ස් තියෙනවා නෙට්ෆ්ලික්ස් එක වෙනුවෙන්ම නිර්මාණය වෙන. එතකොට ඒවා බලන්න නම් නෙට්ෆ්ලික්ස් හරහාම විතරයි.

 

හරි. මේ වෙනකොට නෙට්ෆ්ලික්ස් වෙනුවෙන් ඉන්දියාවෙන්ම එන ටීවී සීරීස් එහෙමත් තියෙනවා. මේවල කථාව වගේම කොලිටියත් ඉතාම විශිෂ්ටයි. ඉතින් අපි මේ කියන්න යන්නේ, අන්න ඒ වගේ, නෙට්ෆ්ලික්ස් එකේ තියෙන බැලිය යුතුම ඉන්දියානු ටෙලි සීරීස් කීපයක් ගැන. අපි එයින් සමහරක් ගැන මීට කලිනුත් කියලා තියෙනවා.

 

1. She

සාමාන්‍යයෙන් ඉන්දීය චිත්‍රපටි වල තියෙන පොලිස් කතන්දර අපිට හුරුපුරුදුයිනේ. හැබැයි ගොඩක් වෙලාවට මේ නෙට්ෆ්ලික්ස් එකේ දකින්න තියෙන පොලිස් කතන්දර ඊට වෙනස්. She කියන්නේ ඒකට උදාහරණයක්. මේකේ ප්ලොට් එක කැරකෙන්නේ ඉන්දියාවේ පහළ මධ්‍යම පංතියේ, කණිෂ්ට පොලිස් කොස්තාපල්වරියක් වටා. මේ පසුබිමේ කෙනෙක්ගේ ජීවිතය ඉන්දියාවේ කොයි තරම් අමාරුද, වෘත්තිය වශයෙන් වුනත් ඉහළට යන්න මොන තරම් කට්ටක් කන්න වෙනවද කියන එක මේකෙන් හොඳට පෙන්නනවා. මේ කොස්තාපල්වරියට අපරාධ සංවිධානයකට ඇතුළු වෙන බුද්ධි මෙහෙයුමක් කරන්න ලැබෙනවා. ඒක කොයි අතට පෙරළෙයිද කියලා දැනගන්න මේ සීරීස් එක බලන්නම වෙනවා.

 

2. Delhi Crime

මේක බොහොම සිත් කම්පා කරවන සුළු ටෙලි සීරීස් එකක් කිවුවොත් හරි. විශේෂයෙන්ම අර බොලිවුඩ් වල දකින මල් ගස් සහ කටු ෆයිට් වලට හුරු කෙනෙක්ට නම් මේක අමුතුම අත්දැකීමක් වෙයි. ඉන්දියාවේ හදවත වුණු නව දිල්ලිය සලිත කරවමින් හමාගෙන ගියපු ලිංගික අපරාධ රැල්ල -විශේෂයෙන්ම කිවුවොත් එක් කෘර සිදුවීමක්- තමයි මේ සීරීස් එකට පාදක වෙලා තියෙන්නේ. ඒ කියන්නේ නිර්භයාව අමානුෂික ලිංගික අතවරයන්ට ලක් කිරීමෙන් පසු නිර්දය විදියට ඝාතනය කිරීම. මේක බැලුවොත්, කෙනෙක්ට ලංකාවේත් තියෙන මේ ලිංගික අපරාධ ගැටළුව ගැන වඩාත් සවිඥාණික වෙන්න ඉඩක් ලැබෙයි කියල අපි හිතනවා.

 

3. Leila

සාමාන්‍යයෙන් ඔය ජාත්‍යන්තර තලයේ තියන්න පුළුවන් ඩිස්තෝපියානු චිත්‍රපටි, ටීවී සීරීස් එහෙම ඉන්දියාවෙන් හැදෙනවා අපි දැකලම නැහැනේ. හැබැයි ආන්න ඒ වගේ එකක් තමයි මේ ලෙයිලා කියන්නේ. ඇත්තටම මේක ඉන්දියාවෙන් නිර්මාණය වුණු ප්‍රථම ඩිස්ටෝපියන් ඔරිජිනල් සීරීස් එක කිවුවත් වැරැද්දක් නෑ. ඩිස්ටෝපියන් කියන්නේ, අනාගතේදී ලෝකේ විනාස වෙලා, ඉතුරු වෙලා ඉන්න අයගෙන් නිර්මාණය වෙන කටුක ලෝකයකට. මේක අධ්‍යක්ෂණය කරන්නේ දීපා මේතා. ෂාලිනී කියන කාන්තාව වටා තමයි මේකේ කතාව නිර්මාණය වෙන්නේ. ඇයව තමන්ගේ සුවපහසු පවුලෙන් පැහැරගෙන යනවා. ඒ නිර්දය ඒකාධිපති රාජ්‍යයක වහලියක් වෙන්න. මේක බලනකොට Handmaid’s Tale කථාවත් සමහරුන්ට මතක් වෙයි.

 

4. Jamtara

ජම්තරා කියන්නේ ජාර්කන්ඩ් වල තියෙන ගම්මානයක්. එතකොට මේ නෙට්ෆ්ලික්ස් සීරීස් එකේ පෙන්නන්නේ ඇත්ත සිදුවීම් වලින් හැදුණු කතාවක්. ජම්තරා කියන්නේ ඉන්දියාවේ Phishing කැපිටල් එක කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ඉන්දියාව පුරා සිද්ධ වුණු ඔය ඊමේල්ස් වලින් එහෙම සංවේදී තොරතුරු හොරකම් කරපු වංචා බොහෝමයක් ජම්තරා වලින් පටන් ගත්තා කියලා හෙළිදරවු වෙලා තියෙනවා. දැන් මේ ටෙලි සීරීස් එකේ විදියට, සෙට් එකක් බොහොම සාර්ථකව මේ සයිබර් වංචාවන් කරගෙන යනවා. හැබැයි ඉක්මනටම නියම ඩොන් ලෙවල් එකේ අපරාධ ලොක්කෙක්ටත් මේක ඉව වැටෙනවා. දැන් මනුස්සයාටත් මේ සෙට් එකේ වංචාවන්ගෙන් උපයන ගාණෙන් කොටසක් ඕන වෙනවා. ඒ අස්සේ පොලිසියටත් මේක ඉව වැටෙනවා. දැන් අපේ මේ සෙට් එක කොයි පැත්තෙන්ද බේරෙන්නේ? 

 

5. Little Things

ලිට්ල් තින්ග්ස් සීරීස් එක පදනම් කරගන්නේ, මුම්බායි වල ජීවත් වෙන තරුණ කපල් එකක්. මේ කපල් එක විවාහ වෙලා නැතිවුනාට එකට ජීවත් වෙනවා. එතකොට මේ දෙන්නගේ ජීවිතේ, ආදර සම්බන්ධතාවයේ අත්විඳින, අත්දකින පුංචි පුංචි දේවල් තමයි මේ ටීවී සීරීස් එකට පාදක වෙලා තියෙන්නේ. ඇත්තටම මේක බලන කෙනෙක්ට හිතෙයි, තමන්ගේ ජීවිතේ ලව් ලයිෆ් එකෙත් මේවම නේද තියෙන්නේ කියලා. හිත සැහැල්ලුවෙන් බලන්න පුළුවන් බොහොම ලස්සන ටීවී සීරීස් එකක් විදියට මේකත් අපි රෙකමන්ඩ් කරනවා.

 

6. Jestination Unknown

මේක ඇත්තටම ට්‍රැවල් සීරීස් එකක්. හිනා වෙවී බලන්න පුළුවන් ට්‍රැවල් සීරීස් එකක්. විකට නළුවෙක් වෙන වීර් දාස් තමන්ගේ යාලුවොත් එක්ක යනවා ඉන්දියාවේ හාස්‍ය රංගනයේ අක් මුල් හොයාගෙන. මෙහෙම යනකොට මේ අයට මුණගැහෙන දේවල් එක්ක අපිටත් අපූරු අත්දැකීමක් විඳගන්න පුළුවන්. ඇත්තටම වැඩ කරලා කරලා මහන්සි වෙලා ඉන්න වෙලාවක එහෙම පොඩ්ඩක් හිතට නිදහසක් ලැබෙන්න, හිනා වෙන්න බලන්න පුළුවන් සීරීස් එකක් තමයි මේ.

 

7. Stories By Rabindranath Tagore

මහා බෙංගාලි ලේඛක රබීන්ද්‍රනාත් තාගෝර් ගැන නොදන්න කෙනෙක් ඉන්න බැහනේ. හැබැයි මේ නොබෙල් සම්මානලාභී මහා ලේඛකයා ලියලා තියෙන කතා නම් හැමෝම කියවලා නැතුව ඇති. ඉතින් තාගොර්ගේ කතා කියවපු, නොකියවපු හැමෝටම රස විඳින්න පුළුවන් ටෙලි සීරීස් එකක් තමයි මේ ස්ටෝරීස් බයි රබීන්ද්‍රනාත් තාගෝර් කියන්නේ. විශේෂයෙන්ම ඉන්දියානු සංස්කෘතිය තගෝරයන්ගේ කථා කීමේ විලාසය ඔස්සේ මතුවෙන අපූර්වත්වය, ටෙලි සීරීස් එකේදීත් ඊට ආසන්නයෙන්ම ග්‍රහණය කරගන්න අධ්‍යක්ෂ අනුරාග් බාසු සමත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ කතා පදනම් වෙන කාලයට ගැලපෙන විදියට සිදුකරලා තියෙන කලා අධ්‍යක්ෂණය එහෙම සුපිරි. ඉන්දියානු දහසක් වර්ණයන් තැවරිලා එන මේ ස්ටෝරීස් බයි රබීන්ද්‍රනාත් තාගෝර් ටෙලි සීරීස් එක අපි ඉන්දියාවට ආස කරන ඕනම කෙනෙක්ට රෙකමන්ඩ් කරනවා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *