දැන් ෆිල්ම් එකක් කියන්නේම කෙනෙක්ගේ පරිකල්පනය මත නිර්මාණය වෙන දෙයක්නේ. සමහර වෙලාවට සත්‍ය සිද්ධි මත පදනම් වුණු ෆිල්ම් එහෙමත් නැතුව නෙවෙයි. හැබැයි ඉතින් සමහර වෙලාවට ෆිල්ම් එකක තාර්කිකත්වය හොයන්න යනවා කියන්නෙම පිස්සු විකාරයක් කියලා කෙනෙක් කියන්න පුළුවන්. හැබැයි ඉතින් සමහර ජනප්‍රිය ෆිල්ම් වලත් ප්ලොට් හෝල්ස්, එහෙම නැතිනම් කථාවේ හිල් තියෙනවා ආයෙ අලි ඇත්තුන්ටත් රිංගන්න පුළුවන් සයිස් එකට. ආන්න එහෙම එව්වා කීපයක් ගැන තමයි අපි මේ කියන්න හදන්නේ. හැබැයි අමතක කරන්න එපා. මේ ෆිල්ම්ස් වල මේ වගේ කතාවේ එව්වා මෙව්වා එහා මෙහා වෙලා තිබ්බට, මේ ෆිල්ම්ස් ආයෙ ආයෙ බලලා රස විඳින්න පවා පුළුවන්.
1. Lara Croft: Tomb Raider
මේ ෆිල්ම් එකේ සම්පූර්ණ ඉලක්කය තමයි අර ආටිෆැක්ට් එක, ත්‍රිකෝණයක් වගේ තියෙන අද්භූත වස්තුව විනාස කරන එක. හැබැයි මේකේ බලය තියෙන්නේ කෑලි දෙකකට කැඩිලා තියෙන කෑලි දෙක එකතු වුනහම. එහෙම නැතුව කෑලි වෙන් වෙන්ව තිබ්බට අවුලක් පේන්නෙ නෑ. දැන් ඔන්න ලාරා ක්‍රොෆ්ට් පළවෙනි කෑල්ල හෙන ගේමක් දීලා හොයාගන්නවා. ඊට පස්සේ ෆිල්ම් එක පුරාම ට්‍රයි කරන්නේ දෙවෙනි කෑල්ල හොයාගෙන විනාස කරන්න. ඉතින් පළවෙනි කෑල්ල විතරක් හොයාගෙන විනාස කරලා නිකම් හිටියත් අවුලක් නෑ නේද බලනකොට?
2. Armageddon
ආමගැඩෝන් චිත්‍රපටියේ විදියට ඔන්න පෘථිවිය දිහාට කෙලින්ම එනවා ඇස්ටරොයිඩයක්. එසේ මෙසේ එකක් නෙවෙයි, පෘථිවිය විනාස කරලා දාන්න පුළුවන් සයිස් එකේ එකක්. දැන් මේ උපද්‍රවයෙන් ලෝකේ බේරගන්න තියෙන එකම ක්‍රමේ තමයි, මේ ඇස්ටරොයිඩය උඩට ගොඩබැහැලා, ඇස්ටරොයිඩය ඩ්‍රිල් කරලා, පුපුරණ බෝම්බයක් දාලා ඇස්ටරොයිඩ් එක පුපුරවන එක. මේ වැඩේට පෘථිවිය ඉන්න හොඳම ඩ්‍රිල් ටීම් එක හොයනවා. හැබැයි ඩ්‍රිල් කරන්න එක්ස්පර්ට්ලා වුනාට, මේ අයව ගගනගාමියෝ විදියට පුහුණු කරන එක ලේසි වෙන්නෙ නෑ. දැන් ෆිල්ම් එක බලපු සමහරු අහනවා, ඉතින් ගගනගාමියන් සෙට් එකකට ඩ්‍රිල් කරන්න පුහුණුව ලබාදුන්නා නම් වඩාත් ලේසි නැද්ද කියලා. ඇත්තටම ඕක රංගන ශිල්පී බෙන් ඇෆ්ලෙක් ඩිරෙක්ටර් මයිකල් බේගෙන් ඇහුවහම මනුස්සයා කිව්වලු කට වහගෙන හිටු කියලා!
3. Toy Story
ටෝයි ස්ටෝරි එකේ ඉන්න බස් ලයිට්ඉයර් හිතාගෙන ඉන්නේ තමන් ඇත්තටම අභ්‍යවකාශගාමියෙක් නැතිනම් ස්පේස් රේන්ජර් කෙනෙක් කියලනේ. වෙන කාටවත් බස් ලයිට්ඉයර් ලව්වා විශ්වාස කරවන්නත් බෑ මෙයා ඇත්තටම ටෝයි එකක් කියලා. හැබැයි ඔය අවුඅස්සේ දැන් ඔය සෙල්ලම් බඩු ඉන්න කාමරේට මනුස්සයෙක් ආව ගමන්, අර සෙල්ලම් බඩු ඔක්කොම ගල් ගැහිල, ෆ්‍රීස් වෙලා ඉන්නවනේ. එහෙම කරන්නේ ඒ අය දන්න නිසා තමන් සෙල්ලම් බඩු කියලා. එතකොට මනුස්සයෙක් දැක්කොත් එහෙම මේ සෙල්ලම් බඩු වලට පණ තියෙනවා කියලා, වෙන විජ්ජුම්බරයක් වෙන නිසා. හැබැයි තමන් සෙල්ලම් බඩුවක් කියලා නොදන්න, තමන් ඇත්ත ස්පේස් රේන්ජර් කෙනෙක් කියලා හිතාගෙන ඉන්න බස් ලයිට්ඉයර් වුනත් මනුස්සයෙක් කාමරේට එනකොට ඒ විදියට ගල් ගැහෙනවා. ඇයි ඒ? අනික් සෙල්ලම් බඩු එහෙම කරන නිසා මෙයත් එහෙමම කරනවද?
4. Man Of Steel
සුපර්මෑන් කියන්නේ ආයෙ කිසිම දේකින් විනාශ කරන්න බැරි චරිතයක් කියලා අපි දන්නවනේ. වෙන එකක් තියා, අර ක්‍රිප්ටොනයිට් බුලට් එකක් වැදුණට පස්සේ සුපර්මෑන්ව ඔපරේෂන් කරන්නත් ක්‍රිප්ටොනයිට් වලින් හදපු ස්කැල්පල් එකක් ඕන වෙනවා. ඇයි, සුපර්මෑන්ගේ හම තුවාල කරන්න හරි පුළුවන් ක්‍රිප්ටොනයිට් වලට විතරයි. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් එනවා. අපි දකිනවා සමහර සීන් වලදී සුපර්මෑන් රැවුල වවාගෙන ඉන්නවා. එතකොට ආයෙමත් ක්ලීන් ෂේව් කරලා ඉන්නවත් අපිට පේනවා. එතකොට හැබෑටම සුපර්මෑන් රැවුල කපන්නේ මොකකින්ද? මිනිහට ක්‍රිප්ටොනයිට් රේසරයක්වත් තියෙනවද?
5. The Dark Knight Rises
දැන් අර ඩාක් නයිට් රයිසස් චිත්‍රපටියේ බේන්ගේ උපක්‍රමයට අහුවෙලා සම්පූර්ණ ගොතම් පොලිස් දෙපාර්තමේන්තුවම වගේ පොළව යට හිරවෙනවනේ. සමහරු අහලා තිබුණා, ඔය වගේ මිෂන් එකකට ඇයි සම්පූර්ණ පොලිස් දෙපාර්තමේන්තුවම යන්නේ කියලත්. එහෙම වෙන්න බෑනේ. හරි, ඒකත් පැත්තකින් තියමුකෝ. අර මාස ගාණක් පොළව යට හිරවෙලා ඉඳලා පොලිස් දෙපාර්තමේන්තුවේ කට්ටියව බැට්මෑන් බේරගන්නවා. හැබැයි මේ පොලිස් නිලධාරීන් සෙට් එක මාස ගණන් පොළව යට ජීවත් වෙලාත් එළියට එනකොට ගාණට රැවුල් කොණ්ඩා කපලා, ක්ලීන් ෂේව් කරලා තමයි එන්නේ. පොළව යට වැළලිලා ඉන්නකොට මේ කට්ටියට රැවුල් කොණ්ඩා කපන ආම්පන්නත් කෑම බීම එක්ක ලබාදීලා වත්ද?
6. The Wolverine
එක්ස් මෙන් කොමික් වලත්, චිත්‍රපටි වලත් අපි ගොඩක් දෙනෙක්ගේ ආසම චරිතය වුල්වරීන්නේ. දැන් අපි දන්නවා, වුල්වරීන්ගේ අර අත් වල තියෙන උල් හැදිලා තියෙන්නේ ඇඩමැන්ටියම් වලින් කියලා. එතකොට කොමික් වලත්, ෆිල්ම් වලත් කියනව ඇඩමැන්ටියම් කියන්නේ ආයෙ ඕනම දෙයක් කපන්න පුළුවන් තරම් දැඩි ලෝහයක් කියලා. හැබැයි ප්‍රශ්නේ මේකයි. අපි දකිනවා, වුල්වරීන් සටන් කරන සමහර අවස්ථාවලදී උල් එක්ක හරස් වෙන තවත් ආයුධ ඇත්තටම ඇඩමැන්ටියම් තල වලින් කැපෙන්නෙ නෑ කියලා. අර වුල්වරීන් ෆිල්ම් එකේ එහෙමත් සාමාන්‍ය කඩුවකට වුනත් වුල්වරීන්ගේ ඇඩමැන්ටියම් තල වලට හරස් වෙන්න පුළුවන්. අන්න ඒක අප්සට්.
7. The Independence Day
ද ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ කියන්නේ අපි පුංචි කාලේ බොහොම ආසාවෙන් බලපු ෆිල්ම් එකක්නේ. ඔන්න අති දැවැන්ත යානා වලින් ඒලියන්ස් ලා අපේ ලෝකෙට එනවා. ඔය අති දැවැන්ත යානා ඇවිත් තියෙන මවු යානාව බැලුවහම ඒක නිර්වචනය කරන්න අති දැවැන්ත කියන වචනෙත් මදි. දැන් කොහොම හරි මේ ඒලියන්ස් ලා ඇවිත් ඉන්නේ සාම සාකච්ඡා වලට නෙවෙයි, අපේ ලෝකේ ආක්‍රමණය කරන්න. දැන් මුන්ව විනාශ කරන්න නම්, මේ යානාවල තියෙන එනර්ජි ෂීල්ඩ් එක, ඒ කියන්නේ ශක්ති ආවරණය අයින් කරන ක්‍රමයක් හොයාගන්න ඕන. එහෙම නැතුව මොන මිසයිල යැව්වත් වැඩක් වෙන්නෙ නෑ. ආන්න එතකොට එක විද්‍යාඥයෙක් හොයාගන්නවා මේ මවුයානාවේ සිස්ටම් එකට වෛරස් එකක් දැම්මොත්, මවුයානාවත් එක්ක වයර්ලස් ක්‍රමේට සම්බන්ධ වෙන ඔක්කොම යානා වල ෂීල්ඩ් එකට කෙළවලා, මිසයිල් ගහලා ඔක්කොම විනාස කරන්න පුළුවන් කියලා. ඉතින් සෙට් එක එහෙම ගිහින් වයිරස් එකකුත් මවු යානාවට දාලා එනවා.
හැබැයි, පෘථිවියේ තාක්ෂණය සහ ඒලියන්ස්ලගේ තාක්ෂණය අහසට පොළව වගේ තියෙනකොට, කොහොමද පෘථිවියේ කම්පියුටර් එකකින් ඒලියන්ස්ලගේ කම්පියුටර් එකකට වෛරස් යවන්නේ? ඒක වෙන්න පුළුවන්ද?
8. Skyfall
ජේම්ස් බොන්ඩ් ස්කයිෆෝල් ෆිල්ම් එකේ එන තීරණාත්මක සිදුවීමක් තමයි, දුෂ්ටයා වෙන සිල්වාගේ කම්පියුටර් එක MI6 නෙට්වර්ක් එකට ගහලා මොනවද තියෙන්නේ කියලා හොයනකොට, ඒ කම්පියුටරේ තියෙන මැල්වෙයාර් එකකින් සම්පූර්ණ MI6 නෙට්වර්ක් එකටම බඩු පැකට් වෙන එක. හැබැයි ඉතින් මෙතනදී තියෙන ප්‍රධාන ප්‍රශ්නය මේකයි. දුෂ්ටයාගෙන් අරගෙන ආපු ලැප්ටොප් එකක් ඔහේ තමන්ගේ නෙට්වර්ක් එකට ගහන්න යන්නේ මොන මෝඩ රහස් ඔත්තුකාරයාද? ඊට කලින් සමස්ත නෙට්වර්ක් එකටම සම්බන්ධ නොවෙන වෙනත් ආරක්ෂිත ක්‍රමේකින් ඇත්තටම මේකේ තියෙන්නේ මොනවද කියලා ටෙස්ට් කරන්න තරම්වත් මොළයක් බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයට නැද්ද? හැබැයි ඉතින් අනික් අතට, ඔය ස්පයි ෆිල්ම් ගොඩක් ඒවල ඔය වැරැද්ද කෙරෙනවා කියලත් අමතක කරන්න බෑ.
Leave a Reply