අපි හැමෝම ඉතින් විවේචනය කරන්න දක්ෂයිනේ. ආයෙ ෆේස්බුක් එකට ලොග් වුනත්, යාලුවෙක් සෙට් වුනත්, මළ ගෙදරක මඟුල් ගෙදරක ගියත් විවේචනය තමයි. හැබැයි ඉතින් ඔය විවේචනය කියන එකෙත් දෙපැත්තක් තියෙනවා. මනුස්සයෙක්ගේ වැඩක් ගැන කතා කරන්න ගියහම ඔහේ ඒ මනුස්සයාගේ කුල මල, ජාතිය, අම්මා අප්පා ඇදලා අරගෙන විවේචනය කරන එකෙන් කිසිම වැඩක් ඒ මනුස්සයාටවත්, තමන්ටවත් නෑ. ඒ වගේම අර වැරදි ගොනා කොයි පැත්තට හැරුණත් වැරදියි තාලේ විවේචනත්, දෙඤ්ඤං බැටේ තාලේ විවේචනත් ඒ වගේම තමයි. තමන්ටත්, අනුන්ටත්, එලොවටත්, මෙලොවටත් පළක් නෑ. හැබැයි ඉතින් අවාසනාවකට එදිනෙදා මුණගැහෙන විවේචන තියෙන සාමාන්‍ය මිනිස්සු විතරක් නෙවෙයි, ඔය සමහර මහ ලොකු විචාරකයොත් විවේචනය කරනවා කියලා කරන්නේ ඔය උඩින් කියපු විදියේ කාටවත් පළක් නැති විවේචන තමයි.
හැබැයි ඉතින් තව එකක් තියෙනවා කොන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිස්ම් කියලා බරට කියන, අපිට ලේසියෙන් කෙනෙක්ට හිතකර, කෙනෙක්ට වැඩදායක, කෙනෙක්ට අර්ථකාරී විවේචන කියලා කාණ්ඩගත කරන්න පුළුවන් කොටසක්. ආන්න ඒ විවේචනය ඇත්තටම විවේචනය ලබන්නාටත්, විවේචනය ලබාදෙන්නාටත් කියන දෙපාර්ශවයටම වටිනවා. හැබැයි ඉතින් කතන්දරේ මේකයි. ඔය වැඩදායක විවේචනය කියන්නෙත් කලාවක්. ඒක හිත් වල කුණු, කුහක කම්, තරහ මරහ තියාගෙන කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. වැඩදායක විවේචනයෙන් සිද්ධ වෙන්නේ කෙනෙක්ට ගන්න පුළුවන් වැඩදායක දෙයක් ලබාදෙන එක. ආන්න ඒ වැඩදායක විවේචනය කරන්නේ කොහොමද කියන එක හැමෝම ඉගෙන ගන්න වටිනවා. ආන්න ඒ නිසා තමයි අපි ඒ ගැන උපදෙස් ටිකක් මෙහෙම ලබාදෙන්න යන්නේ.
1. මනුස්සයා ගැන නැතිව අවශ්‍ය දේ ගැන…
අපි වැඩදායක විවේචනයක් ලබාදෙනවා නම්, මනුස්සයා ගැන ෆෝකස් නොවී, විවේචනය ලබාදිය යුතු දේ ගැන තමයි ෆෝකස් වෙන්න ඕන. උදාහරණයක් විදියට කිවුවොත්, “ඔයාගේ ප්‍රශ්නේ මේකයි, ඔයාට කිසිම ලෝකේ ගැන පළපුරුද්දක් නැහැනේ, පොඩ්ඩක් එලියට පහලියට බැහැලා, ඇවිදලා බැලුවොත් ඔයාට තේරෙයි, ඔයා හිතනවට වඩා දෙයක් ලෝකේ තියෙනවා කියලා” වගේ කතන්දරයක් ඇත්තටම අර්ථකාරී විවේචනයක් නෙවෙයි. ඒක පුද්ගල විවේචනයක්. ඒකෙන් ගොඩක් වෙලාවට වෙන්නේ හිත රිදෙන එක. හැබැයි ඒ වෙනුවට ඔයාට කියන්න පුළුවන් නම්, “ඔයාට පුළුවන්ද පාරේ තොටේ එදිනෙදා මුණගැහෙන මිනිස්සු එක්ක කතාබහ කරලා, ඒ ඔයා ලබාගන්න අත්දැකීම් ඔයාගේ නිර්මාණයන් තුළට ගේන්න? අන්න එතකොට ඔයාට ඔයාගේ නිර්මාණ වලට වඩාත් පුළුල් ලෝක දැක්මක් ඇතුළත් කරන්න පුළුවන් වෙයි” කියලා, එහෙම කියන එක අර්ථකාරී විවේචනයක්.
2. වහෙං ඔරෝ ෆීඩ්බැක් එපා, කෙලින් කියන්න!
මේකත් ගොඩක් දෙනෙක් විවේචන එල්ල කරනකොට කරන වැරැද්දක්. සමහර වෙලාවට මේ වැරැද්ද සිදුකෙරෙන්නේ, තමන් විවේචනය කරන දේ ගැන තමන්ටත් හොඳ අදහසක් නැති වුනහම තමයි. වහෙං ඔරෝ විවේචන වලට උදාහරණයක් ගමු. “ඔයාට බැරිද මේක තව ටිකක් සිත් ඇදගන්නා විදියට නිර්මාණය කරන්න? මේක හරිම බෝරින්ග් නේ” කියලා කිවුවහම, එහෙම නැතිනම් “ඔයා සන්නිවේදනය පැත්ත ගැන පොඩ්ඩක් හිතුවනම් ඔයාට ඔය ප්‍රශ්න එන්නෙ නෑ” කිවුවහම ඒක තේරුමක් නැති වහෙං ඔරෝ විවේචනයක්.
හැබැයි ඔයාට කියන්න පුළුවන් නම්, “අපිට පුළුවන්ද මේ පෝස්ට් එකේ කලර්ස් වෙනස් කරන්න. අපිට පුළුවන් තව ටිකක් දීප්තිමත් වර්ණ භාවිතා කරන්න, විශේෂයෙන්ම ගූග්ල් කලර් පැලට් එකෙන් අරගෙන බලමුද?” කියලා ඇහුවොත්, එහෙම නැතිනම්, “ඔයාට පුළුවන් මහජන සම්බන්ධතා පැත්ත ගැන පොඩ්ඩක් හදාරන්න, සමහර වෙලාවට මහජන සම්බන්ධතා ගැන කෝස් එකක් කළොත්? එහෙම වුනොත් ජොබ් එකේ මේ ප්‍රශ්න වලට ඔයාටම විසඳුම් හොයන්න පුළුවන් වෙයි නේද?” කියලා අහන එක අර්ථකාරී විවේචනයක්!
3. ෆීඩ්බැක් සැන්ඩ්විච් ටෙක්නික් එක
මේ සැන්ඩ්විච් එකේ කතන්දරේ මෙහෙමයි. දැන් අපි කෙනෙක්ගේ යම් නිර්මාණයක් හෝ වැඩ කිරීම ගැන හෝ අපේ අදහස් දෙනකොට පටන් ගන්නේම විවේචනයකින් නම් ඒක ඒ තරම් සුබවාදී ආකල්පයකින් පිළිගැනෙන එකක් නෑ. අන්න ඒකට තමයි මේ PIP සැන්ඩ්විච් එක වැදගත් වෙන්නේ. ඒ කියන්නේ පොසිටිව්-ඉම්පෘමන්ට්-පොසිටිව්. මුලින් අපි හොඳ දෙයක් කියනවා. ඊට පස්සේ වැඩිදියුණු වෙන්න ඕන දෙයක් ගැන කියනවා. ඊට පස්සේ ආයෙමත් පොසිටිව් දෙයක් කියනවා. වෙනත් විදියකට කිවුවොත්, අපි ප්‍රතිචාරය පටන් ගන්නේ අපිට අදහස් පළ කරන්න ඕන සබ්ජෙක්ට් එකේ හොඳ දෙයක්, සුබවාදී දෙයක් ගැන කියලා. ඊට පස්සේ තමයි විවේචනය එන්නේ. ඊට පස්සේ ආයෙමත් අපි හොඳ දෙයක්, ඒ සබ්ජෙක්ට් එකේ අපි දැකපු අපි කැමති දෙයක් ගැන කියනවා.
4. කරන්න පුළුවන් දේවල් ගැන විතරක් කියන්න
ඔය හාන්සිපුටු විචාරකයෝ කියලා ජාතියක් ගැන අපි කියනවා නේද? ඒ කියන්නේ, සමහර වෙලාවට කිසිම තේරුමක් නැතුව, කරන්න බැරි දේවල් ගැන කිය කියා විචාර දෙන ඈයෝ. උදාහරණයක් විදියට ගත්තොත්, අපි කෙනෙක්ගේ රැකියා කාර්ය සාධනය ගැන අපේ ෆීඩ්බැක් එක දෙනකොට, එයාගේ පසුබිම තියෙන්නේ ආර්ථික විද්‍යාවේ නම්, එයා වඩුවැඩ ඉගෙන ගෙන එන්න ඕන කියලා ෆීඩ්බැක් දුන්නට වැඩක් නෑ. ඒ වගේ සම්පූර්ණ යූ-ටර්න් එකක් කෙනෙක් තමන්ගේ වෘත්තියේදී ගන්න නම් අතිශය සුවිශේෂී දෙයක් වෙන්න ඕන. එහෙම නැතුව කෙනෙක් විවේචනය කරන නිසා එහෙම එව්වා කරන්න බැහැනේ. එහෙම නැතිනම් තව සරල උදාහරණයක් ගමු. අපි කෙනෙක් හදපු පෝස්ට් එකක් ගැන විවේචනය කරනකොට, අපි කියනවා ඔයා මෙන්න මේ සොෆ්ට්වෙයාර් එකෙන් ඕවා හදන්න ගන්න කියලා. හැබැයි ඒ සොෆ්ට්‍වෙයාර් එක සල්ලි දීලා ගන්න ඕන, ඒක රන් කරන්න හොඳ මැෂින් එකක් ඕන වගේ ප්‍රායෝගික කාරණා අපිට අමතක වෙනවා. අන්න එතකොට එහෙම ලබාදෙන විවේචනයම මෝඩයි.
5. විවේචනයට වඩා වටින්නේ නිර්දේශ
මෙතනදී කියන්නේ, නිකම්ම යම් දෙයක් විවේචනය කරනවා වෙනුවට ඒක තවත් වඩාත් දියුණු තියුණු කරන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයන් ගැන නිර්දේශයන් ලබාදෙන එක. මේකත් ඇත්තටම අර දෙවෙනි කොටසේ කියපු සෘජු ප්‍රතිචාර ලබාදීමටත් ටිකක් සම්බන්ධයි. උදාහරණයක් විදියට ගත්තොත්, “මේ ප්‍රසන්ටේෂන් එක දිග වැඩියිනේ, ඕක ටිකක් කොට කළොත් හොඳයි” කියන විවේචනය ගමු. මේ විවේචනය එහෙම අතිශයින්ම නරක එකක් නෙවෙයි තමයි. හැබැයි ඒක නැතුව හෝ ඒක එක්කම හෝ අපිට යම් යම් නිර්දේශයන් ලබාදෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, අපිට කියන්න පුළුවන් මෙහෙම: “මේ ප්‍රසන්ටේෂන් එකේ දිග වැඩිවීම නිසා බලන අයගේ අවධානය අන්තිම වෙනකොට ගිලිහෙන්න පුළුවන්, අපිට බැරිද මේ දීලා තියෙන උදාහරණ පහෙන් හොඳම උදාහරණ තුන විතරක් තියන්න? එතකොට මේ අන්තිමට තියෙන වීඩියෝ ක්ලිප් එකේ ඕනම කොටස විතරක් එඩිට් කරලා දාන්න? ඕන නම් අපිට මේ දාලා තියෙන පොයින්ට්ස් තව ලුහුඬු කරන්නත් පුළුවන්.” ආන්න ඒක කෙනෙක්ට ප්‍රතිචාරයක් විදියට කොයි තරම් වැදගත්ද බලන්න. එතනදී අපි නිකම්ම විවේචනයක් දෙනවට වඩා, ඒක වැඩිදියුණු කරගන්න පුළුවන් නිර්දේශත් ලබාදෙනවා. අන්න ඒකයි වෙන්න ඕන.
6. උපකල්පනයන් එපා
අපි හැමෝම ඇත්තටම උපකල්පනයන් සිද්ධ කරන්න බොහොම දක්ෂයි. ඒ කියන්නේ මේ වගේ ඒවා. “ඒ කථාව මීට වඩා හොඳින් කරන්න තිබුණා, ඔයා කතාව කරනකොට බොහොම කලබලකාරී ගතියකින් හිටියේ. සමහර වෙලාවට ඔයාට මීට කලින් මේ වගේ කථා පවත්වලා පළපුරුද්දක් නැතුව ඇති.” අන්න එතන අපි කරන්නේ උපකල්පනයක්. එහෙම උපකල්පනය කළහම විවේචනය භාරගන්න කෙනා සමහර වෙලාවට අපිව නිවැරදි කරන්නත් පුළුවන්, නිවැරදි නොකර ඉන්නත් පුළුවන්. ඒ කෝක වුනත්, අපේ අර්ථසාධක විවේචනයට එහෙම උපකල්පනය කරන එකෙන් වෙන්නේ හානියක්. ඒ වගේම අපි කරන උපකල්පනයන්ගෙන්, අපේ ආකල්පයත් හැඩගැස්වෙන නිසා, අපි විවේචනයක් ලබාදෙන හොඳ හිතටත් හානි වෙනවා,
7. දිරිගැන්වීමත් තියෙන්න ඕන
සාමාන්‍යයෙන් අපි ස්වභාවයෙන්ම විවේචන වලට කැමති නැහැනේ. අපි මොකක් හරි කළහම, ඒකේ වැඩිදියුණු කිරීම් ගැන පෙන්නනවට වඩා, ඒක මාරයි කියලා ප්‍රශංසා කරන එකට තමයි අපි ආස. ඒකට හේතුව අපේ මමංකාරය නැතිනම් ඊගෝ එක. හැබැයි අන්න ඒක නිසාම, අපි දෙයක් කළහම ඒකට විවේචන එනකොට අපි පසුබසින්න, ඒක ආයෙමත් හොඳින් කරන්න තියෙන ධෛර්යය නැතිවෙන්න පුළුවන්. ගොඩක් දෙනෙක් පසුබට වෙනවා තමන්ට විවේචන එල්ල වෙනකොට. එකක්, විවේචන භාරගන්න කෙනෙක්ට හැකියාව තියෙන්න ඕන. හැබැයි අපි සුබවාදී විවේචනයක් ලබාදෙනවා නම්, අපිටත් පුළුවන් වෙන්න ඕන වැඩිදියුණු කිරීම් සඳහා වෙන නිර්දේශ, විවේචන, හොඳ ගැන කථා කරන අතරවාරයේදීම දිරිගැන්වීමකුත් ලබාදෙන්න. “මේකේ වැඩිදියුණු කරන්න දේවල් තියෙනවා, ඔයාට මෙන්න මේ මේ කාරණා ගැන තව ඉගෙන ගන්න වෙනවා. හැබැයි මතක තියාගන්න, ඔයා මේ කරන දේට හොඳ අනාගතයක් තියෙනවා, මේක විශිෂ්ට අදහසක් වෙන්නෙ ඇයි කියලා මම කිව්වනේ, ඔයා මේ වැඩිදියුණු කිරීම් එක්ක මේක අංගසම්පූර්ණ කළහම හැමෝම මේ ගැන කතා කරාවි”. ඔන්න ඔය වගේ පොඩි ධනාත්මක දිරිගැන්වීමක් ලබාදෙන්න අපිට බැරි කමක් නැහැනේ. නේද?
Leave a Reply