අපි වැඩි දෙනෙක් ඉතින් කාර්යාල රැකියාවන් කරන උදවියනෙ. ඉතින් දවසින් වැඩි හරියක් ගත වෙන්නේ පරිගණකයක් ඉස්සරහ වාඩිගෙනම තමයි. වැඩේට ඔලුව ගියාම සමහරවිට පැය ගණන්, වරු ගණන් ගත වෙනවා අපි දන්නෙත් නැහැ. මේ විදිහට දීර්ඝ කාලයක් ඉඳගෙන ගත කරද්දී අපිට නොයෙකුත් සෞඛ්‍ය අවදානම් ඇති වෙන්න පුළුවන්. අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, දියවැඩියාව, ආතතිය විතරක් නෙමෙයි, ශරීරයේ අස්ථි සහ මස්පිඩුවලත් නොයෙකුත් ආබාධ ඇති වෙන්න ඉඩ තියනවා.
ඉතින් ලයිෆි අපි හිතුවා, මේ වගේ වැඩි වේලාවක් ඉඳගෙන රැකියා කරන උදවියට ඉහත කියපු විදිහේ රෝගී තත්ත්වයන්ට ලක් නොවී සෞඛ්‍යය යහපත්ව තියාගන්නට උපදෙස් ටිකක් දෙන්න.
1. නිවැරදිව හිඳගන්න
මේක හරිම වැදගත් කාරණයක්. දවසේ වැඩි හරියක් ඉඳගෙන රස්සාවක් කරන කෙනෙක් වැරදි හිඳගැනීමේ ඉරියව්වක් භාවිතා කළොත් එමගින් අස්ථි වල වගේම මාංශපේෂීන්වලත් ආබාධ හටගන්න පුළුවන්. අපි දකිනවා ගොඩ දෙනෙක් ටික වේලාවක් පරිගණක තිරයක් දිහා බලන් වැඩ කරද්දි ඉබේම ඒකට නැඹුරු වෙලා, කුදු ගැහිලා වැඩ කරන්න ගන්නවා. එහෙම කරන්න නරකයි. පිට කොන්ද කෙළින් සහ උරහිස් පසුපසට හිටින විදිහට ඉඳගෙන තමන්ගේ පරිගණක තිරයට කෙලින් දෑස් යොමුවන විදිහට ඉඳගන්න එක තමයි වෙන්න ඕනෙ. කොහොමද හරි විදිහට ඉඳගන්නේ කියන එක මේ වීඩියෝවෙන් ඔයාලට තවත් පැහැදිළි වේවි.
2. පුළුවන් හැම විටම හිටගන්න
ඒ වගේම මතක තියාගන්න පුළුවන් හැම වෙලේම තමන්ගෙ පුටුවෙන් නැගී සිටින්නත්. ඒකෙන් එක තැන රැඳිල තියෙන ශරීරයට පොඩි හරි ව්‍යායාමයක් ලැබේවි. ෆයිල් එකක් පෙරලද්දි, මීටිමක් ගනිද්දි ඒ දේ හිටගෙන කරන්න ඔයාට පුළුවන්. කෝල් එකකට ආන්සර් කරද්දි පුටුවේ හරි බරි ගැහිල ඉන්නෙ නැතිව ඔයාට පුළුවන් කාර්යාලයේ ටිකක් ඇවිදින ගමන්ම ඒ වැඩේ කරන්න. අන්න ඒ විදිහේ රස්සාව අහිමි කරගන්නේ නැතිව හිටගන්න පුළුවන් අවස්ථාවල හිටගන්නත් මතක තියාගන්න.
3. ඇවිදින්නත් ඉඩක් හදාගන්න
එදිනෙදා කාර්යාල ජීවිතේ කරන ක්‍රියාකාරකම්වලට මේ ඇවිදිල්ලත් පොඩ්ඩක් එකතු කරගන්න උත්සාහ කරන්න. ලිෆ්ට් එකෙන් ඔෆිස් එකට සම්ප්‍රාප්ත වෙනවා වෙනුවට පඩි පේළි කීපයක්වත් ඇවිදලා නගින්න ට්‍රයි එකක් දෙන්න. ඔෆිස් එකට එන ගමනෙදි වුනත් බස් හෝල්ට් එකක් මෙහායින් බැහැලා හරි පොඩ්ඩක් ඇවිදින්න ඉඩ හදාගන්න උත්සාහයක් දරන්න. හදිස්සිම නොවන වැඩකදී වෙනත් සෙක්ෂන් එකක කෙනෙක්ට කෝල්, මැසේජ් කරනවා වෙනුවට පොඩි වෝක් එකක් දාලා එයාව හමුවෙලා කතා කරන්න යන්න.
4. ජලය යහමින් පානය කරන්න
වැඩ රාජකාරි කොයි තරම් බහුල වුණත් විජලනයට ලක් නොවී ඉන්න නම් ජලය යහමින් පානය කරන එන අනිවාර්යයි. නිසි ලෙස ශරීරයට ජලය ලබාගත්තේ නැත්නම් ඉක්මනට විඩාව ඇති වෙලා කරන වැඩේ ඵලදායීතාවයත් නැති වෙලා යන්න ගොඩක් ඉඩ තියනවා. පිරිමි කෙනෙක්නම් දිනකට ජලය ලීටර 3ක් විතර ප්‍රමාණෙකුත්, කාන්තාවක් නම් ලීටර් 2.2ක පමණ ප්‍රමාණෙකුත් ලබාගත යුතුයි කියල තමයි විශේෂඥයො කියන්නෙ.
5. ආහාර වේල් කලට වේලාවට ගන්න
ජවයෙන් පිරිච්ච දවසක් අරඹන්න උදෑසන කෑම වේල අනිවාර්ය සාධකයක්. ඒ නිසා හොඳ සමබර ආහාර වේලක් උදෑසනට අරගෙනම වැඩ අරඹන්න. උදේ කෑම වේල කිසිම අවස්ථාවක මගහැරගන්න එපා. දවල් කෑමත් හවස් වෙනකම් ඉන්නෙ නැතිව වෙලාවට අරගන්න. ඒකට එලාම් එකක් තියාගත්තත් කමක් නෑ. දවල් කෑම වෙලාව ආවම ඉඳන් ඉන්න පුටුවේ ඉඳගෙනම කෑම ගිලදාන්නේ නැතිව ලන්ච් රූම් එකට හරි වෙන ඉඩකඩ ඇති එළියේ තැනකට හරි ගිහින් කන්න. නැත්නම් ව්‍යායාමයටත් එක්ක ටිකක් දුර කඩේකට වෝක් එකක් දාන්න. මේකෙන් ඔයාට විවේකයක් වගේම ඇවිදින්නත් අවස්ථාවක් ලැබෙනවා. දඩිබිඩියේ ආහාර ගන්නේන නැතිව විවේක පාඩුවේ සෙමින් සපමින් ආහාර ගන්න. ඒ වගේම වැදගත් කාරණේ තමයි පුළුවන් තරම් සෞඛ්‍ය සම්පන්නව ගෙදරදී සකස් කරගෙන එන ආහාරයක් ගන්න හැම වෙලේම උත්සාහ කරන එක. නැත්නම් මේදය බහුල, සෞඛ්‍යයට අහිතකර කඩ කෑම වලට හුරු වුණොත්නම් ඒකෙන් තවත් සෞඛ්‍ය අවදානමක් එන්නෙ.
6. ව්‍යායාම
ව්‍යායාම කියන්නේ අපි කාගෙත් ජීවිත වලට අවශ්‍ය වන දෙයක්. ශාරීරිකව වගේම මානසිකවත් සෞඛ්‍යමත්ව ඉන්න නම් ව්‍යායාම ජීවිතේට ළං කරගන්නම ඕනෙ. වෙන කාටත් වැඩියෙන් එක තැන හිඳගෙන වැඩ කරන කෙනෙක්ට ව්‍යායාම අත්‍යාවශ්‍යයි. ඒ නිසා උදේ වැඩට එන්න කලින් හරි හවස වැඩ ඇරිලා ගෙදර ගිහින් හරි යම්කිසි සැලකියයුතු කාල වේලාවක් ව්‍යායාම කිරීමට වෙන් කරන්න. ජොගින් කිට් ඇඳන් පාක් වල යන්නන් වාලේ ඇවිදින්නේ නැතිව, පුළුවන් තරම් ශරීරයටම ව්‍යායාම ලැබී ශරීරය වෙහෙසවන ආකාරයට වේගවත්ව ඒ කටයුතු කරන්න මතක තියාගන්න. ඔෆිස් යාළුවෝ එකතු වෙලා ජිම් එකකට සෙට් වෙන එකත් පුළුවන්නම් කරන්න මරු වැඩක්.
Leave a Reply