මීයෝ ගැන අරු​ම පුදුම විස්තර

‘නෑයෝ මීයෝ වේයෝ’ කියලා නාට්‍යයකුත් පහුගිය කාලේ ගියා. මීකී මවුස් වගේ කාටූන් නිර්මාණයට වගේම පරිගණක භාවිතයේදී අපේ අතට හුරු මවුස් එක දක්වා මීයාගේ යොදාගැනීම් අපිට එදිනෙදා ජීවිතයේදී හමුවෙනවා. ඉතින් මේ මීයෝ ගැන අපි කරුණු ටිකක් දැනගනිමු.

 

1. ලොව පුරා නගර එක සේ ආවරණ​ය කළ මීයෝ

මීයෝ නැති තැනක් නැහැ. මදුරුවෝ මැස්සෝ එහෙම වැඩි නිවර්තන කලාපයේ. ඒ වගේ පළාත් වෙනසක් මේ මීයන්ට නැහැ. දැඩි ශීත කාල එළැඹෙන ලන්ඩන්, නිව්යෝක්, පැරිස් වගේ මහා නගර වලටත් මේ මීයෝ සැර කරදරයක් වෙලා තියෙනවා. ඇමරිකාවෙත් චිකාගෝ, සැන් ෆ්‍රැන්සිස්කෝ වගේ හැම නගරයකම මීයෝ කරදරයක් විදිහට වාර්තා වෙලා තියෙනවා. 2016 දී මේ මී කරදර නිසාම ලන්ඩනයේ සහ පැරීසියේ උද්‍යානවල රෑට ලයිට් නිවලා තියන්න කටයුතු කරලා තියෙනවා.

 

2. ලොකුම එකා

මෙතෙක් වාර්තා පොත් අතර තියෙන ගෘහස්ථ මීයන්ගෙන් වැඩිම බර එකා වාර්තා වෙලා තියෙන්නේ 2009 දී. බොසාවි වූලි රැට් කියා හඳුන්වන ඒ මීයා අඟල් තිස් දෙකක් දිගයි වල්ගෙත් එක්ක. අඩි වලින් හිතුවොත් අඩි දෙක හමාරකට කිට්ටු දිගක්. ඒ වගේම මේ මීයා කිලෝ 1.36ක් බරයි. ඌරු මීයෝ කියලා සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වන විශාල මීයන් වගේ ගෘහස්ථ මීයන් ලොකු වෙන්නෙ නැහැ. උන් කිලෝ එකකට වඩා විශාල වෙන්නේ එහෙමත් අවස්ථාවක. ඒ නිසා කලින් කිව්ව වාර්තාගත මීයා සැබැවින්ම පුදුමයක්.

 

3. අසාමාන්‍ය බෝවීම

මීයෝ බෝවෙන එක මීයන්ටම තියෙන විශේෂ තත්ත්වයක්. සති පහක කාලෙකදි මීයෙකුට වැඩිවිය පැමිණිලා පැටවුන් බිහිකරන්නට පුළුවන්. ඒ හැකියාව උන්ට අවුරුදු දෙකක් පුරා තියෙනවා. මේ එක් මීයෙකුට මේ කාලය තුළ සති තුනකට වරක් පැටවුන් බිහිකරන්නට පුළුවන්. ඒ වගේම පැය හයක් තුළ සිය ගාණක් වාරවල ලිංගිකව එක්වෙන්නත් මීයන් කටයුතු කරන බව සොයාගෙන තියෙනවා. මීයෝ සංසර්ගයේ යෙදිලා පැටවුන් බිහිකරන්න යන්නේ සති තුනක් විතරයි. කුඩා මී පැටවුන් වරකට 6 සිට 20 දක්වා ප්‍රමාණයක් මී අම්මා විසින් දානවා. ඉතින් මේ වේගවත් බිහි කිරීම නිසා එක් මී ජෝඩුවකින් තවත් මීයන් දහස් ගාණක් බෝ කරන්නට ඉතාම සුළු කාලයකින් පුළුවන් වෙන බව පේනවා.

 

4. නැව් වලත් ඉන්න මීයෝ

ටයිටැනික් චිත්‍රපටිය නරඹලා තිබෙනවා නම් එහි මීයන් නැව ගිලෙන විට දුවගෙන එන දර්ශනයක් තිබුණා ඔබට මතක ඇති. මේ විදිහට මීයන් කියන්නේ හැම තැනම ඉන්න සතෙක්. නැව්වල ගිය මීයන් නිසා, ලොව වටා මිනිසා සමගම යාත්‍රා කළ තවත් සතෙක් විදිහටත් මීයා දැක්වෙනවා. ඇතැම් ව්‍යාපාර වලට මීයෝ සැරට බලපානවා. උදාහරණ විදිහට ඇතැම් ආපන ශාලා අපිරිසිදු කරන මීයෝ ඔවුන්ට කරදරයක් වෙනවා. ඒ වගේම විදුලි සංදේශ හෙවත් ටෙලිකොම් ක්ෂේත්‍රයේ වයර් සහ ඔප්ටිකල් කේබල් ආදිය කා දැමීම නිසා මීයන් විසින් ඇතැම්විට මිලියන ගණනින් සමාගම් වලට පාඩු සිද්ධ කරනවා.

 

5. තද දේවල් හපන මීයෝ

සාමාන්‍ය කන බොන සතෙක් කන්නේ ඌට කන්න පුළුවන් දේවල් විතරයි. ඒත් මීයා එහෙම නැහැ. මීයා නොකන දෙයක් නැහැ. ලී සෙරප්පු, සබන්, ප්ලාස්ටික්, විතරක් නෙමෙයි, ඊටත් තද දේවල් පවා මීයන් කනවා. ඒකට හේතුවක් තියනවා. මීයන්ගේ දත් කියන්නේ හැදිලා නවතින දෙයක් නෙමෙයි. මොකුත් හපන්නෙ නැතුව ඔහේ හිටියොත් මීයන්ට උන්ගේ දත් මහ ඇණයක් වෙනවා. ඒ නිසා හැම තිස්සේම දත් ටික ගාණට තියාගන්න මීයෝ තද දේවල් හපලා දත් කොට කරගන්නවා.

 

6. චීන මීයාගේ අවුරුදු

චීනේ කියන්නෙ සත්තු ආහාරයට ගන්න වගේම සත්තුන්ගෙන් නැකැත් බලන්නත් නම ගිය රටක්. චීනයේ මීයාගේ අවුරුදු විදිහට චීන රාශි චක්‍රය අනුව 1924, 1936, 1948, 1960, 1972, 1984, 1996, 2008 වර්ෂ දැක්වෙනවා. ඒ මීයාගේ වර්ෂයට චීන ජනයා මීයන්ගේ සුන්දර රුව යොදා සැමරීම් කරනවා. ඒ වගේම මේ මී වර්ෂයේ උපන් අයගේ ගතිගුණ ආදිය ගැන පලාඵල කීමේ සම්ප්‍රදායකුත් චීනයේ තියෙනවා.

 

7. මීයාගේ විලෝපිකයින්

මීයන්ව බකමූණන්, බස්සන් විසින් ආහාරයට ගන්නවා. ලංකාවෙ නම් මීයන් ආහාරයට ගන්න එන ගැරඬින් සහ සර්පයින් කියන්නේ සුලභ අත්දැකීමක්. මීයා සහ පූසා අතර ජනකතා තිබුණත් දැන් ඉන්න ඇතැම් ඇට්ටර පූසන් නම් මීයන් අල්ලන බවක් පේන්නේ නැහැ. සාහිත්‍යමය අතින් මීයා අපේ සාහිත්‍ය සහ ළමා සාහිත්‍ය පොත් වලත් ඉන්නවා. නූතනයේ නම් මීයන්ට තදින්ම වින කරන්නේ මිනිස්සු විසින්. මීයන් අල්ලන්න උගුල්ම බර ගාණක් තියෙනවා. ඒ වගේම මීයන්ට වස තැබීම ආදියත් ජනප්‍රිය වෙලා තියෙනවා. අපේ රටේ ආහාර සුරක්ෂිතව ආරක්ෂා කරගැනීම වගේ කටයුතු වලටත් මීයෝ දන්නේ එසේ මෙසේ වධයක් නෙමෙයි.

 

මීයෝ කියන්නේ සුලභ සත්තු වර්ගයක්. ඒ වගේම ඔවුන්ගේ අභයන්තර සැකැස්ම ක්ෂීරපායී සතුන්ගේ සරලම ආකාරයක් වෙනවා. එනිසා පර්යේෂණ කටයුතු වලට ලොවපුරා මීයන් සැරටම යොදාගන්නවා. මීයන් ආහාරයට ගැනීම අපේ රටේ නැති වුණත් චීනය සහ අග්නිදිග ආසියානු රටවල තියෙනවා. ඉතින් ගෘහවාසයට මිනිස්සු හුරුවීමත් එක්ක මිනිස්සුන්ගෙන් ඈත් වුනේ නැතිව අදටත් අපිට තැනක් නොතැනක් නැතුව කරදර කරන මීයෝ කියන්නේ අරුම පුදුම සත්තු ජාතියක්.