පොකට් එකට ලාභදායී විදිහට විලාසිතා කරන හැටි

විලාසිතා කිව්වහම කව්ද ඉතින් අකමැති. බාල මහළු කොයි අයත්, ගැහැණු පිරිමි කොයි අයත් තම තමන්ට පුළු පුළුවන් විදිහට, අදාළ විදිහට විලාසිතා කරන්න උත්සාහ කරනවනෙ. මේ අතරිනුත් මේ විලාසිතා කරන එක වැඩියම දකින්න තියෙන්නෙ තරුණ ගැහැණු දරුවො අතරෙ. පිරිමි ළමයි අතරෙත් නැතුවම නෙමෙයි. කොයිහැටි වෙතත් විලාසිතා ගැන උනන්දු වෙන කවුරු උනත් ටිකක් විතර පසුබහින හේතුවක් තමයි මිල මුදල් ගැටළුව. මොකද හැඩට අඳින්න නම් ඉතින් සල්ලිත් ටිකක් වැඩිපුර වියදම් කරන්න වෙනවනෙ. හැබැයි මේ කියන්න යන්නෙ ඒ හැමෝටම වැදගත්, සතුටුදායක කතන්දරයක්. විලාසිතා කරන්න මහා ගොඩක් සල්ලිම ඕනෙත් නැහැ. ටිකක් මොළේ කල්පනා කරල කළෝතින් පොකට් එකටත් වාසි විදිහට ලස්සන ලස්සන විලාසිතා කරන්න පුළුවන්. බලමුකෝ කොහොමද කියල. 

 

 

1. විලාසිතා ගැන අප්ඩේට් වෙන්න

 

මුල්ම කාරණාව තමයි ඒ ඒ කාලෙට ට්‍රෙන්ඩින් යන විලාසිතා මොනවද කියන එක ගැන හොඳ අවධානයකින් ඉන්න එක. එහෙම නැතුව ඔහේ කඩේ ගැහැණු ළමයා කියන විදිහට ඇඳුම්, පැළඳුම් අරන් ඇඳන් ගියෝතින් නිකන් සල්ලි නාස්තියක් විතරක්ම වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ඒ කාලෙට වෙනස්වෙන විලාසිතාවන් ගැන නිතර නිතර හොයල බලන්න ඕන. මේක ලේසියෙන්ම කරන්න පුළුවන් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් වගේ සමාජ මාධ්‍යජාල වල ප්‍රසිද්ධ චරිත follow කරල. ඒ වගේම fashion, beauty වගේ පැති වලට අදාළව නිකුත් වෙන සඟරා, ඒ ගැන කතා කෙරෙන වෙබ් අඩවි වලින් එහෙමත් පුළුවන්. කොයි විදිහෙන් හරි කාලෙට ගැලපෙන විලාසිතා තෝරාගන්න හොඳම විදිහ තමයි නිරන්තර අවධානයෙන් ඉන්න එක. 

 

 

2. ඩිස්කවුන්ට් ගැන හොයල බලන්න

 

ඊළඟ වැඩේ තමයි හොඳ ලස්සන ඇඳුම් අඩුවට ගන්න පුළුවන් තැන් ගැන හොයල බලන එක. අවුරුදු වගේ සීසන් වලට වගේම ඉඳල හිටලා අතරමැද කාල වලදිත් තියෙන තොග ඉවර කරගන්න ඕන වුණාම හුඟක් තැන් වලින් ලොකු ලොකු ඩිස්කවුන්ට් දෙනව. ඒ කඩවල්වල ෆේස්බුක් පේජ් වලට ලයික් කරල, newsletter වලට subscribe කරල, එහෙමත් නැත්තම් loyalty කාර්ඩ් අරගෙන එහෙම තියෙනවනම් ඒ ගැන දැනුම්දෙන notifications, e-mails, sms එයාලම එවනව. නිතරම ෂොපින් නොකර මේ වගේ ඩිස්කවුන්ට් දෙන වෙලාවක් බලල ගියහම පොකට් එකට උඩින්ම ලාභයි.

ඒ වගේම තමයි ඔය ලොකු ලොකු බ්‍රෑන්ඩ් වල ඇඳුම් ගන්න පුළුවන් සේල්. මේවට කියන්නෙ stock lot කියල. පොඩි පොඩි quality ගැටළු ඇතිවෙන බ්‍රැන්ඩඩ් ඇඳුම් තත්ත්වය අනුව ග්‍රේඩ් වලට වෙන් කරල අඩු මිලට විකුණන එක තමයි මේවගෙ වෙන්නෙ. එහෙම තැන් ගැනත් හොයල බලල අවධානයෙන් හිටියොත් අඩු ගාණකින් හොඳ පෙනුමට අඳින්න පුළුවන්. 

 

 

3. සරල විලාසිතාවලට හුරුවෙන්න

 

හැම වෙලාවෙම මහා ලොකු විලාසිතා පස්සෙම පන්නන්න එපා. ලොකු ලොකු ඇඳුම් වල නැති ලස්සනක් සරල විලාසිතාවන්ගෙ තියෙනව අපි ඕනතරම් දකිනවනෙ. ඒ වගේ සරල විලාසිතා වලට පුරුදු වෙන්න. ඒ විලාසිතා වලින්ම තමන්ට අනන්‍යතාවයක් ගොඩනගාගන්න. ඔයා දිහා බලාගෙනම ලස්සනට අඳින සෙට් එකක් ඊළඟ පරම්පරාවෙන් හැදෙනවා ෂුවර්. 

 

 

4. හරිම දේ මිලදී ගන්න

 

කඩේකින් ඇඳුම් පැළඳුම් මිලදී ගන්නකොට ගන්න ඕන දේ ගැන හරිම අවබෝධයක් ඇතුව මිලදී ගන්න. ඒ කිව්වෙ මෙන්න මෙහෙමයි. ඇඳුමක් දැක්කම ඒක හොඳටම ඇඟට හරි නොගියත් ආස හිතුන පළියට ගන්න යන්න එපා. ඒ වගේම තමයි ටිකක් ලොකු උනාට, හිර උනාට පස්සෙ මහත් වෙලා, කෙට්ටු වෙලා අඳිනවා කියල හිතල ගන්නත් එපා. ඒව කවද වෙයිද දන්නෙ නැහැනේ. අනිත් එක තමයි සේල් දාල තිබ්බ පළියට ගණන් අඩු නිසා ගන්නත් එපා. තමන්ගේ ඇඟට හරියටම හරියන, පාට හොඳටම ගැලපෙන, ඒ කාලේ තියෙන විලාසිතා ට්‍රෙන්ඩ් එකටත් ගැලපෙන දේවල්ම විතරක් මිලඳී ගන්න. 

 

 

5. පොඩි පොඩි දේවල් මඟ හරින්න එපා  

 

විලාසිතා කියන්නෙ අඳින ඇඳුමයි, දාන ආභරණයි විතරක්ම නෙමෙයි. හරිම සරල සුදු ටීෂර්ට් එකකට, බේසික් ඩෙනිම් එකකට වගේ ඇඳුමකට උනත් හරිම classy විදිහට පේන අය දැකල ඇතිනේ. ඇඳුමට එහා ගිහින් අපේ කොණ්ඩේ, නියපොතු, ආභරණ කොටින්ම මූණට දාන මේකප් එක, පාවිච්චි කරන perfume එක ගැන පවා අවධානය දෙන්න ඕන. නියපොතු, කොණ්ඩේ වගේ දේවල් ගැන තනි තනියෙන් අවධානය යොමු නොවෙන්න පුළුවන්. ඒත් සම්පූර්ණ ඇඳුමම ගත්තම ඒ ඔක්කොගෙම පරිපූර්ණ එකතුවක් තමයි නියම විලාසිතාවක් කියන්නෙ. 

 

 

6. DIY වලට හුරුවෙන්න

 

DIY කියන්නෙ Do It Yourself කියන එකයි. තේරෙන සරල භාෂාවෙන් කිව්වොත් තමන් විසින්ම කරගන්න දේවල්. දැන් විලාසිතා වලට කොහොමද මේක සම්බන්ධ වෙන්නෙ? මෙන්න මෙහෙමයි. කඩවල් වල ගන්න තියෙන ගොඩක් ආභරණ වර්ග ටිකක් මිලෙන් ඉහළයිනෙ. හැබැයි ඔය හුඟක් පබළු මාල එහෙම අපිටම හදාගන්න පුළුවන්. ඇඳුම් එනත් එහෙමයි. අපේම පරණ ඇඳුම් ටිකක් modify කරලා වෙනස්ම ඇඳුමක් හදාගන්න පුළුවන්. ඒ වගේ DIY tutorials ගොඩක් youtube, facebook වල එහෙමත් තියෙනවා. අඩුම වියදමකින්, එක්කෝ වියදමක් නැතුවම ලස්සන විලාසිතා කරගන්න පුළුවන්.

 

 

7. ඇඳුම් හුවමාරු කරගන්න

 

මේ ක්‍රමය ලංකාවෙනම් එච්චරම ප්‍රසිද්ධ නැහැ. ඒත් පිටරටවලනම් සෑහෙන්න කෙරෙන වැඩක්. තමන්ට අඳින්න බැරි, අඳින්නේ නැති ඇඳුම්, ආභරණ එහෙම වෙන අඳින්න පුළුවන් කෙනෙක් එක්ක හුවමාරු කරගන්න එක. හැමෝගෙම අල්මාරිවල තියෙනවනෙ අඳින්නෙත් නැති, ඒත් විසිකරන්නත් බැරි විදිහේ හොඳ ඇඳුම්. අන්න ඒවා තමයි මේ වැඩේට හරියන්නෙ. එක්කෝ දෙන්නෙක් අතරේ හුවමාරු කරගන්න, නැත්තම් කට්ටියක් එකතුවෙලා එහෙම බඩු ටිකක් එකතු කරගෙන පොඩි වෙන්දේසියක් දාලා අඩු මිලට විකුණන්නත් පුළුවන්.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *