මුහුණු ආවරණ පාවිච්චි කරනකොට තියෙන්න ඕන හොඳ පුරුදු මේවා තමයි!

දැන් අපි ඉන්නේ ෆේස් මාස්ක්, එහෙම නැතිනම් මුහුණු ආවරණ යුගයක කියන එක වැරදි නැහැනේ. කොවිඩ්-19 සීන් එක ලෝකව්‍යාප්ත වසංගතයක් වීමත් එක්ක, තමන්ගේත් අනුන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් ෆේස්මාස්ක් දාන්න කියල දැන් ඩොක්ටර්ස්ලා වගේම රජයත් කියනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් දෙනෙක්ට ෆේස් මාස්ක් ගැන වුනත් හරි හැටි දැනුමක් නැති එක. ඒ කියන්නේ ඔය ෆේස් මාස්ක් ආචාර ධර්ම, එහෙම නැතිනම් ෆේස් මාස්ක් එක්ක තියෙන්න ඕන හොඳ පුරුදු ගැන දැනුමක් නැති එක. ඔය විදියේ ෆේස් මාස්ක් හොඳ පුරුදු පිළිපදින්නේ නැති වුණහම, ඒක තමන්ට විතරක් නෙවෙයි අවුල. අනික් මිනිස්සුන්ටත් අපේ ෆේස්මාස්ක් එක වාතයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම, ෆේස් මාස්ක් එකක් දාන්නේ කොවිඩ් -19 වලින් ආරක්ෂා වෙන්නනේ. අන්න ඒ අරමුණත් ඉටු නොවෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි අපි ෆේස් මාස්ක් එක්ක තියෙන හොඳ පුරුදු ගැන පොඩ්ඩක් දැනුවත් කරන්න හිතුවේ.

 

1. එළියට බහිනකොට ෆේස් මාස්ක් එකක් දාමු

ඔව්, මූලිකම කාරණාව වෙන්න ඕන මේකනේ. ඒ කියන්නේ එළියට බහිනවා නම්, ෆේස් මාස්ක් එකක් දාලා එළියට බැහීම. සමහරු හිතනවා දැන් ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සමාජයෙන් වාර්තා වෙන්නෙ නැති නිසා, දැන් ෆේස් මාස්ක් ඕන නෑ කියලා. ඇත්තටම දැන් ගොඩක් දෙනෙක්ට කොවිඩ්-19 ගැන තියෙන බයත් ගිහින් තියෙන්නේ. ඒ නිසා සමහරු ඉන්නවා ෆේස්මාස්ක් එක ගණන් ගන්නෙ නැතුව එහෙමෙහේ යනවා. ඒක වැරදියි.

 

හැබැයි මතක තියාගන්න. සමහර සුපර් මාකට් වලට, වෙළෙඳසැල් වලට, සේවා ලබාදෙන ස්ථාන වලට ඇතුළු වෙන්න බැහැ ෆේස් මාස්ක් එක නැතුව. ඒ වගේම අපි පොදු ස්ථානයක ෆේස් මාස්ක් එකක් නැතුව හිටියොත්, පුරවැසියෙක් වෙන ඕනම කෙනෙක්ට වගේම පොලිස් නිලධාරියෙක් වගේ කෙනෙක්ට වුනත් අපෙන් ෆේස් මාස්ක් නැති එක ගැන ප්‍රශ්න කරන්න පුළුවන්. එතකොට අපි ගේම ඉල්ලන්න ගිහින් වැඩක් නෑ. මොකද, වැරැද්ද අපේ අතේ.

 

2. හවුලේ මාස්ක් එපා

මේක ඉතින් අමුතුවෙන්ම කියන්න ඕන දෙයක් නෙවෙයිනේ. මෙව්වා නම් සාමාන්‍ය දැනීම. තමන් පාවිච්චි කරමින් ඉන්න ෆේස් මාස්ක් එක තවත් කෙනෙක්ට දෙන එකෙන්, ෆේස් මාස්ක් එක දාන අරමුණ ඉෂ්ට වෙන්නෙත් නෑ විතරක් නෙවෙයි, තව වෙන සෞඛ්‍ය ගැටළුත් ඇතිවෙන්න පුළුවන්. ෆේස් මාස්ක් එකක් දාගෙන ඉඳලා, ඒක තව කෙනෙක්ට දෙන එක නිකං, තමන් පාවිච්චි කරන දත් බුරුසුව හෝදන්නෙත් නැතුව තව කෙනෙක්ට දෙනවා වගේ වැඩක් නෙවෙයිද හා?

 

3. මාස්ක් එක හරියට දාමු

ෆේස් මාස්ක් එටිකට් වලට ෆේස් මාස්ක් එක හරියට දාන්නේ කොහොමද කියන එකත් අදාළයි. මුලින්ම සබන් යොදා, හොඳින් අත් හෝදා ගමු. දැන් මාස්ක් එක කන් වටේ පැළඳලා, නහයත්, කටත් වැහෙන විදියට සකසා ගමු. ඒ වගේම නිකටත් ෆේස් මාස්ක් එකෙන් වැහෙන විදියට හදාගමු. මූණේ පැති වලට ෆේස් මාස්ක් එක අපහසුතාවයක් නොදැනෙන විදියට ෆිට් වෙන්න ඕන. ඒ වගේම අපහසුතාවයක් නැතුව හුස්ම ගන්නත් පුළුවන් වෙන්න ඕන. හරිද? එහෙමනම් ෆේස් මාස්ක් එක හරි විදියට තමයි දාලා තියෙන්නේ.

 

4. ඔන් ඇන්ඩ් ඕෆ්!

සමහරු ඉන්නවා ෆේස් මාස්ක් දාන්නෙත් හෙල්මට් දාන විදියට. තේරුණේ නැද්ද? අපේ සමහරු හෙල්මට් දාන්නේ අනතුරකදී ඔලුව බේරගන්න ඕනවට නෙවෙයිනේ. පොලිස් මාමලාගෙන් බේරෙන්න, පොලිසියට තියෙන බයට. අන්න ඒ වගේ තමයි අපේ ගොඩක් අයගේ ෆේස් මාස්ක් කෙරුවාව. ෆේස් මාස්ක් එක අරගෙන යන්නේ මිනිස්සු මොනවා හරි කියයි, පොලිසියෙන් දැක්කොත් කේස් එකක් දායි, ෆුඩ් සිටි එකට ඇතුළු වෙන්න ඉඩ නොදෙයි වගේ හේතු වලට තියෙන බයට. එහෙම නැතුව කොවිඩ්-19 වලට තියෙන බයට නෙවෙයි. ඒ නිසා ඉතින් මේ විදියේ කට්ටියගේ ෆේස් මාස්ක් එක තියෙන්නේ සාක්කුවේ. ඉතින් රට වටේ තියෙන හැම දෙයක්ම අල්ලලා, අත් හෝදගන්නෙත් නැතුව ඔන්න හදිසියක් වුණු ගමන් සාක්කුවෙන් ෆේස් මාස්ක් එක ඇදලා අරන් දාගන්නවා. ඊට පස්සේ ආයෙමත් ඒක ගලවලා, ගුලි කරලා සාක්කුවට දාගන්නවා. එහෙව් උන්දැලට කොරෝනා නොහැදී තිබුණොත් තමයි පුදුමේ!

 

5. බෙල්ලේ, නළලේ, කණේ

ෆේස් මාස්ක් දාන්න ඕන හරි විදිය ගැන අපි උඩින් කිවුවනේ. හැබැයි සමහරුන්ට ඕක අමතක වෙනවා. ඒ විතරක් නෙවෙයි, ෆේස් මාස්ක් එකක් එක දිගටම දාගෙන ඉන්න එක අසීරුයි තමයි. හැබැයි එහෙමයි කියලා ටික වෙලාවකින් ෆේස් මාස්ක් එක බෙල්ලට දාගන්න එක, කණ්ණාඩි කුට්ටම වගේ නළලට උස්ස ගන්න එක, කණේ රඳවන කෑල්ලෙන් එල්ල ගන්න එක හරියන්නෙ නෑ. ඒකෙනුත් ෆේස් මාස්ක් දාන අරමුණ ඉෂ්ට වෙන්නෙ නැහැනේ.

 

ඒ වගේම තමයි. ෆේස් මාස්ක් එක දැම්මට පස්සේ ඒක අස්සෙන් අත දාගෙන මූණ කසන්න, කොනිති ගහන්න යන්නත් එපා. 

 

6. මාස්ක් එකත් එක්ක එන ප්‍රශ්න ගැනත් දැනුවත් වෙලා ඉන්න

ෆේස් මාස්ක් එකත් එක්ක අපිට ඔය ප්‍රැක්ටිකල් ප්‍රශ්න එනවා. අන්න ඒවා එක්ක හරියට කටයුතු කරන එකත් ෆේස් මාස්ක් හොඳ පුරුදු වලට ඇතුළත්. උදාහරණයක් විදියට ගත්තොත්, ෆේස් මාස්ක් එක අපි දාගෙන ඉන්නකොට අපි කතා කරන දේ අනෙක් කෙනාට ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. අන්න එතකොට පොඩ්ඩක් හඬ උස් කරලා කතා කළාට කමක් නෑ. ඒ වගේම ෆේස් මාස්ක් දාගෙන ඉන්නකොට අපේ මුහුණේ ඉරියව් අනෙක් කෙනාට පේන්නේ නෑනේ. ඒ නිසා වෙනදා වගේ හිනාවෙන එව්වා එහෙම වෙනුවට අත වනන එව්වා එහෙම කරන්න පුළුවන්.

 

සරලව කිවුවොත්, අපි ෆේස් මාස්ක් එකක් දාගෙන ඉන්නකොට වෙනත් කෙනෙක්ට අපිත් එක්ක සන්නිවේදනයේදී එහෙම එන ප්‍රායෝගික ගැටළු ගැන සවිඥාණික වෙන්න ඕන. 

 

7. පාවිච්චි කළාට පස්සේ?

මෙන්න මේකත්, හරියට ෆේස් මාස්ක් එක පාවිච්චි කරනවා වගේම ඉතාම වැදගත්. දැන් ෆේස් මාස්ක් විවිධ වර්ග තියෙනවනේ. ලංකාවේ නම් ගොඩක් දෙනෙක් දාන්නේ එක්කෝ අර සර්ජිකල් මාස්ක් එක, එහෙම නැතිනම් රෙදි වලින් මහපු මාස්ක්. දැන් ඔය සර්ජිකල් මාස්ක් හරි ඊට සමාන වෙනත් මාස්ක් හරි හදලා තියෙන්නේ සතිය දෙක එක දිගට දාගෙන ඉන්න නෙවෙයි. උපරිම පැය කීපයක් විතරයි. ආන්න ඊට පස්සේ මාස්ක් එක අයින් කරන්න ඕන. එතකොට අයින් කරලා දාන්නේ කොහාටද? තැන තැන දාන්න බෑ. ඒක හරියටම කුණු කූඩෙකට දාන්න ඕන.

 

එතකොට ඔය රෙදි මාස්ක් තියෙන්නේ. අන්න ඒවත් දවස් ගණන් දාන්න බෑ. උපරිම දවසේ වැඩ කරන පැය කීපයට එහා දාගෙන ඉන්න එක හරියන්නෙ නෑ. එතකොට මොකද කරන්නේ? ඒ රෙදි මාස්ක් එක වුනත් හරියට ගලවලා, හොඳින් සබන් යොදා සෝදන්න ඕන. ඊට පස්සේ හොඳට වේල ගන්න ඕන. අන්න ඊට පස්සේ ආයෙමත් දාන්න පුළුවන්.

 

අපිට අඩුම ගාණේ තව මාස ගාණක්වත්, වැඩේ නරක විදියටම ගියොත් අවුරුද්දක් දෙකක් වත් ෆේස් මාස්ක් දාන්න වෙයි කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ඔය ෆේස් මාස්ක් පැත්තකට දාන්න පුළුවන් වෙන්නේ කොවිඩ්-19 වලට මොකක් හරි ප්‍රතිකර්මයක් හරියට හොයාගත්තහම විතරයි. ආන්න ඒ නිසා, එතකල් උඩ කියලා තියෙන විදියට හරියට ෆේස් මාස්ක් දාන්න, ෆේස් මාස්ක් යහපත් පුරුදු පිළිපදින්න පුරුදු වෙමු.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *