ෆේස්බුක් එකටම ඕනම දෙයක් දාන්න කාගෙන්වත් අවසර ගන්න ඕන නෑ. ඒක හින්දා ඕනම කෙනෙක්ට ඕනම බොරුවක් උනත් සමාජගත කරන්න ෆේස්බුක් කියන්නේ හොඳ අවකාශයක්. සමහර වෙලාවට එනිසාම ඇත්තට වඩා බොරුවට සුවිශාල ප්‍රචාරයක් මේ හරහා ලැබෙනවා. අපි අද ඒ වගේ ෆේස්බුක් හරහා ප්‍රචාරය වුණු ගල් පැලෙන බොරු කීපයක් ගැන කතා කරමු.
1. මොනවද ක්‍රිස් මේ කරන්නේ? අපිට පොල් කඩා ගන්නවත් කොල්ලෙක් නැති කරන්නද හදන්නේ?
නිදහස් අධ්‍යාපන පනත ගෙන එන වේලේ සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගරට මේ විදිහට එස්. ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩාරනායක විරෝධය පළ කළා කියලා පෝස්ට් එකක් විවිධ අවස්ථාවල සෑහෙන්න ෂෙයාර් වෙනවා අපි දැකලා තියෙනවා. නමුත් ඇත්තම කතාව තමයි නිදහස් අධ්‍යාපන පනතට එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මහතා පක්ෂ වුණාය කියන එක. මොකද ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධිධරයකු වුණු ඔහු නිදහස් අධ්‍යාපනයේ ඇති වැදගත්කම බෙහෙවින් අගය කළ කෙනෙක්. එතුමා මේ වගේ ප්‍රකාශයක් කළා කියලා සාක්ෂි හමුවෙන්නෙ නෑ.
2. දළදා මාලිගාවේ පත්තිරිප්පුවට සහ ශ්‍රී මහා බෝධියේ උඩ මළුවට කාන්තාවන්ට යන්න බෑ
මේ කතන්දරේ සම්පූර්ණ බොරුවක්. කාන්තා නිදහස ගැන කෑ මොර ගහන අයත් මෙම බොරුවම නැවත නැවත ප්‍රචාරය කරනවා. හැබැයි මේ අය දන්නේ නෑ කාන්තාවකට තියා පිරිමියෙකුටවත් නිසි අවසරයකින් තොරව උඩමළුවට හෝ පත්තිරිප්පුවට යන්න බැහැ කියන එක. ඒ සඳහා අවසර ගන්න ඕන. නිසි අවසරය ලබා ගත්තොත් ඕනම කෙනෙක්ට මේ තැන් දෙකටම ගිහිල්ලා වන්දනාමාන කරන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ බොහෝ අවස්ථාවල මේ අවසරය ලැබීමේදී ප්‍රභූ පිරිස්වලට වැඩි ඉඩකඩක් ලැබීම.
3. ගෑණු කෙනෙක්ට බුදු වෙන්න බෑ
මේකත් නිතර නිතර සමාජ මාධ්‍ය ජාලය තුළ සංසරණය වෙන කතාවක්.හැබැයි මේ කතාව ප්‍රචාරය කරන කරන අය වටහා නොගන්න එකම දේ තමයි ගැහැණු හෝ පිරිමි කිසිම කෙනෙක්ට පාරමිතා පූරණය කිරීමෙන් තොරව බුදු වෙන්න බැහැ කියන දේ. කාන්තාවකට වුණත් බුදු වෙන්න පුළුවන්, නමුත් ඒ සඳහා පෙරුම් පිරිය යුතු වෙනවා. නමුත් බුදු වෙන භවයේදී නම් බෝධිසත්වයාණන් වහන්සේ ඉපදෙන්නේ පිරිමියෙක් විදිහට.
4. පනහේ නෝට්ටුවේ ඉන්න නැට්ටුවා
ෆේස්බුක් එකේ සැරිසරන මේ කතාව හින්දා ලංකාවෙන් බිහි වෙච්ච සුවිශේෂී ගනයේ නර්තන ශිල්පියෝ දෙන්නෙක්ටම අසාධාරණයක් වෙනවා. එක්කෙනෙක් තමයි පනහේ නෝට්ටුවෙ ඇත්තටම නිරූපණය වෙන සයිමන් මාලගම්මන ගුරුන්නාන්සේ. හැබැයි ෆේස්බුක් ඇඩ්මින්ලා කියන විදිහට මේ ඉන්නේ නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ. නිත්තවෙල ගුණයා ගුරුන්නාසේගේ ජීවිතය වගේම අවසානයත් ඛේදාන්තයක් වීම නිසා පනහේ නෝට්ටුවේ ඉන්නෙත් එතුමාම කියලා සමහරු පිළිගන්න කැමතියි. හැබැයි අපි නම් හිතන්නේ ඒක එතුමාට වගේම සයිමන් මාලගම්මන ගුරුන්නාන්සේටත් කරන අගෞරවයක් කියලා.
5. මෝරුන්ට පිළිකා හැදෙන්නෙ නැද්ද?
සමහර අය කියන විදිහට මෝරු තමන්ගේ මුළු ජීවිත කාලයම පිහිනා යෑම නිසා ඔවුන්ට පිළිකා වැළඳෙන්නේ නෑලු. එනිසාම මෝරුන්ගේ කාටිලේජ ඉහළ මිලකට විකිණෙනවා. නමුත් මේ කතාවත් සම්පූර්ණයෙන්ම මිත්‍යාවක්. විටින් විට මත්ස්‍ය පර්යේෂණ ආයතන ගොඩබිමට ගහගෙන ආපු මෝරුන්ගෙ ශරීර කොටස්වල වැඩෙමින් තිබ්බ පිළිකා සෛල ගැන අධ්‍යයනයන් ප්‍රකාශයට පත් කළත් ඒ සඳහා නිසි ප්‍රචාරණයක් ලැබෙන්නේ නැහැ.
6. බල්ලන්ට පේන්නේ කළු-සුදු විතරද?
මේක අන්තර්ජාලය තුළ විතරක් නෙමේ අපේ රටේ එදිනෙදා පිරිස් අතර පවා තියෙන විශ්වාසයක්. ඒ වගේම සමහරු කියන විදිහට බල්ලන්ට හොල්මන් පේනවලු. ඒ හොල්මන් කතාව ඇත්තද කියන එක නම් දන්නේ ඒ කතන්දර කියන හොල්මන්ම තමයි. ආපහු අපි මාතෘකාවට ගියොත් බල්ලන්ට ඇත්තටම වර්ණ ගණනාවක් හඳුනාගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි මිනිසුන්ට සාපේක්ෂව එම වර්ණ හඳුනා ගැනීමේ හැකියාව අඩුයි කියන එක නම් ඇත්ත.
7. ඈත පේන තරුවක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ
විවිධ තැන්වල අපිට දකින්න ලැබෙනවා බුදුහාමුදුරුවෝ භික්ෂූන් වහන්සේලා පිරිසකට ඈත පේන තරුවක් පෙන්නලා, ඒ තරුව දීප්තියෙන් බැබළුණත් මේ වෙනකොට මිය ගිය තරුවක් කියලා දේශනා කළා කියලා කියන කතාවක්. හැබැයි කිසිම තැනක මේ බව සඳහන් වෙන සූත්‍රය හෝ මූලාශ්‍ර සඳහන් කරන්නේ නැහැ. ත්‍රිපිටකය ගැන අධ්‍යයනය කළ පිරිස් කියන්නේ මෙහෙම දෙයක් මුළු ත්‍රිපිටකය තුළම මුණ ගැහෙන්නෙ නෑ කියලා. මේකත් පදනමක් නැති බොරුවක්. නමුත් බුදුරජාණන්වහන්සේ විවිධ සූත්‍රවලදී විශ්වය ගැන විවිධ අදහස් දේශනා කරලා තියෙනවා. ඒ ගැන අපි ඉදිරි ආටිකල් එකකින් ඔබට කියන්න බලාපොරොත්තු වෙනවා.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා. ඔබෙන් ලැබෙන ප්‍රතිචාර උඩ මේ ආටිකල් එකේ තවත් කොටසක් ලියන්න අපි බලාපොරොත්තු වෙනවා .
Leave a Reply