දැන් අපි හැමෝම වගේ එක්කෝ රස්සාවක් කරන, එහෙම නැතිනම් අධ්‍යාපනය ලබන මනුස්සයොනේ. හැබැයි දෙයියනේ කියලා අපි හැමෝටම වගේ තියෙන පොදු ප්‍රශ්නයක් තමයි අවධානය එක තැනක තියාගන්න බැරි කම. ඒ කියන්නේ මෙහෙමයි. ඔන්න වැඩක් කරන්න ගන්නවා. විනාඩි පහක් වැඩේ කරනවා. එතකොට ටිං ටිං ගාලා එක්කෝ ෆේස්බුක් ඇලර්ට් එකක් එනවා. එහෙම නැතිනම් වැඩේ කරන්න කම්මැලි හිතෙනවා. ඔය දෙකෙන් කෝක වුනත් අපි වැඩේ පැත්තක දාලා විනාඩි තුනකට කියලා හිතාගෙන ෆේස්බුක් එකට යනවා. ඒකේ තියෙන ඒවා බල බල උඩට පහළට යනවා. නිකමට වෙලාව බලනකොට බුදුසන්තෝ මෙන්න පැයක් ගිහින්! ඇත්තටම ඔය තත්ත්වය ගෙදර ඉඳන් වැඩ කරනකොට තවත් දරුණුයි. ඇයි ඔෆිස් එකේ වගේ ෆේස්බුක් යන්න සීමා කිරීම් අනං මනං නෑනේ! ඔය අපි වැඩ කරනකොට අපේ අවධානය කැඩෙන්න පුළුවන් එක ක්‍රමයක් විතරයි.
හැබැයි ඉතින් මේ විදියට හරි අවධානයකින් වැඩක් ඉවර කරන්න බැරි වෙන එක සාපයක්. ඒත් ඉතින් ඒ සාපයෙන් ගැලවෙන්නත් ක්‍රම සහ විධි ඕනනේ. අපි මීට කලිනුත් කියලා දීලා තියෙනවා හිත එක්තැන් කරගෙන වැඩ කරන හැටි ගැන. අන්න ඒ ටිප්ස් එහෙමත් පොඩ්ඩක් ගිහින් බලලා ආවට කාරි නෑ.ඒ ඇරෙන්න අපේ අවධානය එක තැනක රඳවා ගන්න කරන්න ඕන මොනවද කියලා අපි පොඩ්ඩක් හොයලා බලමු.
1. සෝෂල් මීඩියා වලින් ගැලවෙන්න
මේක ඇත්තටම බොහොම අසීරු වැඩක්. ඒ ගැන අපි කලිනුත් කියලා තියෙනවා. එක ක්‍රමයක් තමයි ෆෝන් එක අතට ගන්න තියෙන අවශ්‍යතාවයන් සීමා කරන එක. වැඩ කරන වෙලාවට බ්ලූටූත් හෙඩ්සෙට් එකක් වගේ පාවිච්චි කරන එක එක ක්‍රමයක්. අනික අර ෆෝන් එක හිටවලා තියන්න පුළුවන් ස්ටෑන්ඩ් එකක් පාවිච්චි කරන එකෙත් වාසියක් තියෙනවා. මේ ක්‍රම දෙකම නිසා ෆෝන් එක අතට ගන්න අවශ්‍යතාවය අඩු කෙරෙනවා. අන්න එතකොට අමුතුවෙන් සෝෂල් මීඩියා වලට යන්න තියෙන උනන්දුව යම් තරමකට පාලනය වෙනවා. ඕන නම් සෝෂල් මීඩියා වලට වැය කරන කාලය සීමා කරන ඇප් එකක් එහෙම පාවිච්චි කරන්නත් පුළුවන්.
දෙවෙනි කාරණාව: තමන්ගේ කම්පියුටර් එකේ බ්‍රවුසර් එකෙන් නිතරම සෝෂල් මීඩියා සයිට් එකකට ගියහම ලොග් අවුට් වෙන්න. එතකොට එක ක්ලික් එකෙන් ෆේස්බුක් යන්න බැරි නිසා ටිකක් හරි ෆේස්බුක් යන එක පාලනය වෙනවා.
ඔය ඔක්කොමත් හරි, තමන්ගේ විනය තමයි ඔක්කොටම වඩා මෙතනදී වැදගත් වෙන්නේ. තමන්ගේ හිත පාලනය කරගන්න බැරි වුනොත් අවධානය ඉවරයි.
2. පොමොදෝරෝ!
මේක ඉතින් අපි අලුතෙන් හොයාගත්තු ධර්මයක් දේශනා කරනවා වගේ හැමදාමත් කියනවනේ. ඒ කියන්නේ මෙහෙමයි. අපේ කාර්යක්ෂමතාවය උපරිමයෙන් පාවිච්චි කරන්න පුළුවන් සාර්ථක ක්‍රමයක් තමයි පොමොදෝරෝ තාක්ෂණික ක්‍රමවේදය. ඒ කියන්නේ විනාඩි විසිපහක් වැඩ කරනවා, විනාඩි පහක් විවේක ගන්නවා, ආයෙමත් විනාඩි විසිපහක් වැඩ කරනවා, ආයෙ විනාඩි පහක් විවේක ගන්නවා, ඔහොම හතර පාරක් ගියාට පස්සේ ලොකු විවේකයක් ගන්නවා. හැබැයි මෙහෙමයි. අර විනාඩි පහේ බ්‍රේක් එක තියෙන්නේ ෆෝන් එක අතට ගන්න නෙවෙයි. පොඩ්ඩක් නැගිටලා, අත පය හිරි ඇරලා, ඇඟට, ඇස් වලට, හිතට පොඩි ව්‍යායාමයක් දෙන්න.
මේ පොමොදොරෝ ටෙක්නික් එකේදී අවධානය තියාගන්න ලැබෙන අමතර වාසියක් තියෙනවා. ඒ තමයි විනාඩි විසිපහක් යකා වගේ වැඩ කරනවා කියන එක නිසා තමන්ට ෆේස්බුක්, ගර්ල්ෆ්‍රෙන්ඩ් කෑවද වගේ එව්වා හිතන්න වෙලාවක් නොලැබීම. මේකේ උපරිම ප්‍රතිඵල ගන්න පුළුවන් Tide වගේ ඇප් එකක් ෆෝන් එකට දාගත්තා නම්.
3. තමන් කරන දේට ආස වෙන්න වෙනවා
මේකත් ඉතින් හැමෝටම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඇත්තටම තමන් ආස දෙයක් තමන්ගේ ජොබ් එක විදියට තෝරගන්න පුළුවන් වෙන කෙනෙක් වාසනාවන්තයි. මොකද, එතකොට එයා වැඩ කරන්නේ අප්පිරියාවෙන්, කම්මැලිකමෙන් නැතුව බොහොම ආසාවෙන් නිසා. ආසාවෙන් වැඩ කරනකොට ඒ කරන වැඩේට අවධානය රඳවලා තියාගන්න ලේසියි.
හරි. අපි ආසම කරන දෙයක් රස්සාව විදියට තෝරගන්න බැරි වුණා කියමු. අපි රස්සාවට ආසත් නෑ කියමු. අඩු ගාණේ තමන් කරන රස්සාවට නැතත් රස්සාව ඇතුළේ තමන් කරන දේට ආසාවක් ඇතිකරගන්න පුළුවන්. ඒකට එක ක්‍රමයක් තමයි, තමන්ගේ රැකියා ක්ෂේත්‍රය, ඒකේ තමන් කරන දේවල් ගැන එහෙම පොඩ්ඩක් ඔය ඉන්ටර්නෙට් එකේ එහෙම සර්ච් පාරක් දාලා තොරතුරු හොයාගන්න එක, යාවත්කාලීන වෙන එක වගේ දේවල්.
4. මිනිමලිස්ට් වැඩ කරන්න වටපිටාවක්, මිනිමලිස්ට් මේසයක්
මේ දේවල් ඇත්තටම අපිට අවධානය එක තැනක තියාගන්න උදවු වෙනවා. තමන් වැඩ කරන මේසය සහ වටපිටාව අතිශයින්ම අවම සහ අත්‍යාවශ්‍ය පමණක් වෙන ද්‍රව්‍ය ටිකක් එක්ක නිර්මාණය කරගන්න. තමන්ට දිනපතා භාවිතයට නොගැනෙන එක දෙයක් හරි මේසේ උඩ තියනවා නම් ඒවා අයින් කරන්න. අනික, තමන් හවසට ඔෆිස් එකෙන් යනකොට නැතිනම් හවසට වැඩ ඉවර කරනකොට මේසය අස් කරලා යන එක පුරුද්දක් කරගන්න. මෙහෙම සම්පූර්ණයෙන්ම මිනිමලිස්ට් තේමාවකින් තමන්ගේ මේසය ඕගනයිස් කරලා, මිනිමලිස්ට් තේමාවක් තියෙන ඔෆිස් එකක්/කියුබිකල් එකක් තියාගන්න එක අවධානය වැඩේට රඳවා ගන්නත්, තමන් වැඩ කරන තැනට ප්‍රියත්වය ඇති කරගන්නත් හොඳ උපක්‍රමයක්.
5. කම්පියුටර් එක ඕගනයිස් කර ගමු
මෙන්න මේක අනිවාර්යයි. තමන් වැඩ කරන කම්පියුටර් එක දූවිලි විමානයක් නම්, වහාම සර්විස් කරගන්න. කොහොමත් මාස හයකට වතාවක් වත් කම්පියුටර් එකට හොඳ සර්විස් එකක් දෙන එකෙන්, ඒක බබා වගේ වැඩ කරන්න ගන්නවා. එතකොට මාසෙකට වතාවක් වත් කම්පියුටර් එකේ ඩිස්ක් ඩිෆ්‍රැග්මන්ටේෂන් එකක්, ඩිස්ක් ක්ලීන්-අප් එකක් කරන්න. අන්න එතකොටත් කම්පියුටර් එකේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. තමන් වැඩ කරනකොට කම්පියුටර් එක මත බරපතළ විදියට යැපෙන කෙනෙක් නම්, තියෙන්නෙත් හද්ද පරණ මැෂින් එකක් නම්, හොඳ මැෂින් එකකට ආයෝජනය කිරීම ගැන හිතන්න.
වැදගත්ම කාරණාව: තමන්ගේ කම්පියුටර් එකේ දේවල් හැමදෙයක්ම පිළිවෙලට තියාගන්න. උදාහරණයක් විදියට ගත්තොත්, ගොඩක් ඔෆිස් කම්පියුටර් වල ඩෙස්ක්ටොප් එක කියන්නේ ෆයිල් විමානයක්. එහෙම නැතුව ඕගනයිස් කරගන්න. ඩෙස්ක්ටොප් එකේ අත්‍යාවශ්‍ය ෂෝට් කට් කීපයක් විතරක් තියලා, ලිපිගොනු අවශ්‍ය විදියට ෆෝල්ඩර් වලට දාලා, ඒ ෆෝල්ඩර් ලේසියෙන් හොයාගන්න පුළුවන් විදියට රීනේම් කරලා, එව්වා ‘මයි ඩොකියුමන්ට්’ හරි වෙනත් ඒ වගේ තැනක සුරක්ෂිත කරලා, කම්පියුටර් ඉන්ටර්ෆේස් එක නීට් එකට තියාගන්න.
අවධානය වෙන තැනකට යන්න නොදී වැඩ කරන්න ඒක වැදගත්!
6. වැඩ කරනකොට මම මෙහෙමයි!
මෙන්න මේකත් අපිට අවධානය එක තැනක රඳවාගෙන වැඩ කරන්න වැදගත් වෙනවා. ඒ කියන්නේ, වැඩ කරන්න ගියහම තමන්ගේ විදිය මෙහෙමයි කියන එක ගැන අනික් අයව දැනුවත් කරලා තියන එක. අනික් අය කියන්නේ තමන් එක්ක වැඩ කරන කාර්යාල සගයෝ, තමන්ගේ ගෙදර අය මේ හැමෝම. අන්න එතකොට, තමන් වැඩේට අවධානය යොමු කරගෙන ඉන්න අතරේ එකෙක් ඇවිත් “මචං අර අලුත් ක්ලිප් එක දැක්කද? පට්ට කෑල්ල නේහ්?” වගේ ප්‍රශ්න අහන්නෙ නෑ. ගෙදර ඉඳන් වැඩ කරනකොට වුනත් අම්මා ඇවිත් “පාන් රාත්තලක් අරං එන්න” කියලා සල්ලි දික්කරන්නේ නෑ. අන්න ඒ නිසා තමන්ගේ වර්ක් එතික් එක, ඒ කියන්නේ වැඩ කරන විනාඩි විසිපහේදී ඩිස්ටර්බ් කරන්න එපා කියන එක ගැන තමන් අවට ඉන්න හැමෝම දැනුවත් කරලා තියන්න ඕන.
හැබැයි ඔෆිස් එකේදී සගයෙක් ඇවිත් “ඩෙට්‍රොයිට් ෆයිල් එක කම්ප්ලීට් කරන්න ඔයාගේ ඉන්පුට් එක ඕන” කියන එක තමන්ගේ වැඩ කරන අවධානය වෙනතක අරගෙන යන දෙයක් වෙන්න බෑ. මොකද ඒකත් රස්සාවට අදාළ දෙයක් නිසා. ආන්න ඒකට කියන්නේ මල්ටිටාස්කින් කියලා!
7. ඩෙඩ්ලයින් සෙට් කරන ආට් එක
දැන් වැඩ කරනවා කිව්වහම, අපිට ඔෆිස් එකේ වැඩක් අල්ලගෙන මාස ගණන් ගත කරන්න බැහැනේ. සමහර වෙලාවට දවස් ගණන් ගත කරන්නවත් විදියක් නෑ. හැබයි මේ ඩෙඩ්ලයින් සෙට් වෙන්නේ ගොඩක් වෙලාවට අපේ කැමැත්තෙන් නෙවෙයි. ඒ කියන්නේ සමහර වෙලාවට බොස් දෙනවා ඩෙඩ්ලයින් එකක්. අපිට තියෙන්නේ ගෙදර නොගිහින් වැඩ කරලා හරි ඩෙඩ්ලයින් එකට වැඩේ ගොඩදාන්න. හැබැයි ඉතින් මේක හැමතිස්සේම හරියන්නෙත් නෑ. මොකද, ඩෙඩ්ලයින් කියන එක ප්‍රායෝගික, යථාර්තවාදී වෙන්න ඕන. ඒ නිසා අපි හැමවෙලාවකම වැඩක් පටන් ගන්න කලින්, හොඳ විශ්ලේෂණයක් කරලා බලන්න ඕන ඒ වැඩේට අපිට ඇත්තටම කොයි තරම් කාලයක් යනවද කියලා. ආන්න ඊට පස්සේ, හදිසියේ වෙන්න පුළුවන් අබග්ග වලට එහෙමත් වැඩිපුර වෙලාවක් තියන්න. ආන්න දැන් දෙකම එකතුකරලා ඩෙඩ්ලයින් එක සෙට් කරන්න. සමහර වෙලාවට මේ අපේ ඩෙඩ්ලයින් එක බොස්ට හරි ක්ලයන්ට්ට හරි සෙට් නොවෙන්න පුළුවන්. අන්න එතකොට අපිට අපේ අනික් වැඩ එහෙමෙහේ කරගෙන, නයිටක් දෙකක් ගහලා හරි වැඩේ ටිකක් කලින් ගොඩදාලා දෙන්න සිද්ධ වෙනවා. හැබැයි මොන දේ වුනත්, තමන්ට දෙන්න බැරි තරම් ඉක්මනට තියෙන ඩෙඩ්ලයින් එකකට එකඟ වෙන්න එපා. ඒ වගේම අනවශ්‍ය විදියේ දීර්ඝ කාලයක් තියලා ඩෙඩ්ලයින් දෙන්නත් එපා.
දැන් ඇයි මේ ඩෙඩ්ලයින් ගැන කතා කළේ? සරලයි. නියමාකාරයේ ප්‍රායෝගික සහ යථාර්තවාදී ඩෙඩ්ලයින් එකක් එක්ක වැඩ කරනකොට, වැඩේට වඩාත් හොඳින් අවධානය තියාගන්න පුළුවන් වෙනවා!
Leave a Reply