ගෙදරදීම හදාගන්න පුළුවන් රසම රස සෝස් රෙසිපි 7ක්

කෑම රස ගන්වන්න වගේම එක එක කෑමත් එක්ක පිළිගන්වන්න පුළුවන් සෝස් වර්ග රාශියක් තියෙනව. මේවායින් බොහොමයක් සෝස් වර්ග ගෙදරදීම පහසුවෙන් හදාගන්න පුළුවන්. කල්තියාගන්න ද්‍රව්‍ය දාල කෘත්‍රිමව රසගන්වන සෝස් කඩෙන් ගන්නවට වඩා ගෙදරම හදලා පාවිච්චි කරන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද නේද? ඒ නිසාම නිතරම අපිට ඕන වෙන සහ පහසුවෙන්ම හදාගන්න පුළුවන් වෙන සෝස් වර්ග ටිකක් හදන හැටි කියාදෙන්න අපි හිතුව. 

 

1. වයිට් සෝස්

පාස්ටා වලට, පීසා වලට එහෙම මේ වයිට් සෝස් එක දාන්න පුළුවන්. 

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. පාන්පිටි ග්‍රෑම් 100
  2. බටර් ග්‍රෑම් 100
  3. ක්‍රීම්චීස් ග්‍රෑම් 100
  4. චීස් වෙජස් 2ක්
  5. කිරි ලීටර් 1.5
  6. සුදු ගම්මිරිස්කුඩු ස්වල්පයක්
  7. ඔරිගානෝ ස්වල්පයක්
  8. ලුණු

 

  • බටර් ටික පෑන් එකට දාලා දියවෙනකොට පාන්පිටි ටික දාලා කලවම් කරගන්න. අඩිය අල්ලන්න නොදී හැඳිගාන්න. 
  • කිරි ටික ටික කලවම් කරමින් පිටි කැටි නොහිටින්න හැඳිගාන්න. ඊළඟට චීස් හා ඔරිගානෝ එකතු කරන්න. අන්තිමට ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරලා අඩිය අල්ලන්න නොදී උකු සෝස් එකක් හදාගන්න.

 

2. Sriracha සෝස්

ශෝර්ට් ඊට්ස් එක්ක වගේම තායි, චයිනීස් කෑම වර්ග හදන කොටත් මේ සෝස් එක පාවිච්චි කරනව.

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ඉදුණු මිරිස් කරල් ග්‍රෑම් 400
  2. සුදුළූණු බික් 3
  3. විනාකිරි කෝප්ප 1/2
  4. ලුණු
  5. දුඹුරු සීනි මේස හැඳි 3

 

  • මිරිස් වල නැටි ඉවත් කරල කපලා ඒකට සුදුළූණු, සීනි, ලුණු හා විනාකිරි එකතු කරලා ග්‍රයින්ඩ් කරගන්න.
  • මේක ප්ලාස්ටික් කන්ටේනර් එකක දාලා ක්ලින් රැප් එකකින් වහල ෆ්‍රිජ් එකේ දවස් 5ක් විතර තියාගන්න. දවසකට වතාවක් කලවම් කරල නැවත වහන්න. 
  • දවස් 5කට පස්සෙ එළියට අරගෙන තව විනාකිරි ස්වල්පයක් එකතු කරල බ්ලෙන්ඩ් කරගන්න ස්මූත් වෙනකල්. මේක පෙරාගන්න. 
  • පෙරාගත් සෝස් එක භාජනයකට දාල ලිපේ තියල අඩු ගින්දරේ හැඳිගාමින් රත් කරගන්න. 
  • අවශ්‍ය ප්‍රමාණයට තික් වෙනකම් විනාඩි 5-10ක් පිසගෙන ලිපෙන් ඉවත් කරල නිවෙන්න තියන්න. නිවුනට පස්සෙ බෝතලයක දාල ශීතකරණයට දාගන්න. 

 

3. බර්ගර් සෝස්

බර්ගර් එකට හැමදාම දාන තක්කලි සෝස් එක දාල වැඩක් නැහැ. ඒකටම විශේෂ සෝස් එකක් හදාගත්තමයි රස. 

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. මයෝ​නේස් මේස හැඳි 4
  2. ​කෙචප් මේස හැඳි 2
  3. මස්ටර්ඩ් පේස්ට් මේස හැඳි 1
  4. ලුණු
  5. ගම්මිරිස් කුඩු
  6. සීනි මේස හැඳි 1/2
  7. චොප්කරගත් සුදුළූණු තේ හැඳි 1
  8. චොප්කරගත් රතුළූණු ගෙඩි 1
  9. මිරිස්කුඩු මේස හැඳි 1/2
  10. ලෙමන් යුෂ මේස හැඳි 2
  11. ලුණු

 

  • මේ ඔක්කොම එකට කලවම් කරලා රස අනුව දෙහි හා ලුණු අඩුවැඩි කරගන්න.
  • ෆ්‍රිජ් එකේ තියලා අවශ්‍ය වෙලාවට අරගන්න.

 

 

4. ගාලික් සෝස්

ෆ්‍රයිඩ් ෆිශ් ඩිශ් එකක් එක්ක මේ සෝස් එක හොඳටම ගැලපෙනව.

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ලෙමන් යුෂ කප් 1/2
  2. ලුණු
  3. කැනෝලා හෝ සන්ෆ්ලවර් තෙල් කප් 1/2
  4. සුදුළූණු බික් කප් එකක්

 

  • සුදුළූණු බික් දෙකට කපලා මැද නාරටිය ඉවත් කරගන්න. කපාගත් සුදුළූණු සහ ලුණු ග්‍රයින්ඩර් එකක දාල හොඳට ග්‍රයින්ඩ් කරගන්න.
  • ලෙමන් යුෂ ටිකක් හා ලුණු දාලා බ්ලෙන්ඩ් කරගන්න. මේකට තෙල් ටික ටික එකතු කරමින් බ්ලෙන්ඩ් කරගන්න.
  • තෙල් එක් කරගෙන ඉවර උනාම දෙහි යුෂ ටික එකතු කරල බ්ලෙන්ඩ් කරන්න. 
  • සෝස් එක ග්ලාස් කන්ටේනර් එකක දාල පේපර් ටවල් එකකින් හොඳට කවර් කරල රැයක් ෆ්‍රිජ් එකේ තියන්න.
  • පහුවදාට පේපර් ටවල් එක අයින් කරල කන්ටේනර් එක පිටනකින් තදට වහන්න. මාස තුනක් විතර ෆ්‍රිජ් එකේ කල් තියන් පාවිච්චි කරන්න පුළුවන්. 

 

 

5. ස්වීට් චිලී සෝස්

ඕනම ශෝර්ට් ඊට්ස් වර්ගයක් එක්ක කන්න රසම සෝස් එකක් තමයි මේ. 

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. වතුර කෝප්ප 1/4
  2. කූල් වතුර මේස හැඳි 4
  3. කෑලි මිරිස් මේස හැන්දක්
  4. චොප්කරගත් සුදුළූණු මේස හැඳි 1
  5. සීනි කෝප්ප 1/2, වෙනම මේස හැඳි 2
  6. සුදු විනාකිරි කෝප්ප 1/2
  7. ෆිශ් සෝස් මේස හැඳි 3
  8. කෝන්ෆ්ලා මේස හැඳි 1 1/2

 

  • කූල් වතුර සහ කෝන්ෆ්ලා හැර අනිත් සියල්ලම භාජනයක දමා කලවම් කරගෙන ලිපේ තියාගන්න.
  • උතුරනකොට ගින්දර අඩු කරල ප්‍රමාණය භාගයක් විතර වෙනකම් හින්දගන්න.
  • ඒක හිඳෙනකම් කූල් වතුර වලට කෝන්ෆ්ලා ටික දාලා දියකරගන්න. සෝස් එක හිඳෙනකොට කෝන්ෆ්ලා දියකරපු වතුර ටික දාල අඩු ගින්දරේම තික් වෙනකම් හැඳිගාන්න. නිවුනම බෝතලයකට දාගන්න.

 

 

6. චීස් සෝස්

චීස් සෝස් එක බර්ගර් වලට වගේම කොත්තු වලටත් නියමයි.

 

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බටර් මේස හැඳි 2
  2. පාන්පිටි මේස හැඳි 1 1/2
  3. ෆ්‍රෙශ් මිල්ක් 300ml
  4. ලුණු හා ගම්මිරිස්කුඩු
  5. පොඩියට කපාගත් චෙඩාර් චීස් ග්‍රෑම් 200

 

  • පෑන් එකට බටර් ටික දාලා දියකරගන්න. පාන්පිටි දාලා විස්ක් කරගෙන ටිකකින් ෆ්‍රෙශ් මිල්ක් ටික දාගන්න. කැට නැතිවෙන්න හොඳට විස්ක් කරගන්න.
  • ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරගන්න. ඊළඟට චෙඩාර් චීස් ටික එකතු කරගන්න. තික් වෙනකල් විස්ක් කරලා කැට නැතුව ස්මූත්වෙනකල් හැඳිගාගෙන ලිප නිවාගන්න.

 

 

7. තක්කාලි සෝස්

කෑම හදන්න වගේම එක එක කෑම කන්න නැතුවම බැරි සෝස් එකක් මේ. 

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. හොඳින් ඉදුණු තක්කාලි ගෙඩි 6
  2. මිරිස් කුඩු තේ හැඳි 1/2
  3. සීනි මේස හැඳි 3
  4. විනාකිරි මේස හැඳි 3
  5. රස අනුව ලුණු

 

 

  • තක්කාලි ගෙඩි වල පහල කැපුම් දෙකක් දාලා විනාඩි 3ක් වතුරෙන් තම්බගන්න. ඊළඟට තක්කාලි පොතු ටික ගලවලා බ්ලෙන්ඩ් කරගන්න. බ්ලෙන්ඩ් කරගත් තක්කාලි ටිකට පෙරාගන්න. 
  • පෙරාගත් තක්කලි පියුරේ එක භාජනයක දාල ලිපේ තියාගෙන විනාකිරි හැර අනෙක් සේරම එකතු කරල හොඳින් හැඳිගාමින් පිසගන්න.
  • තික් වේගෙන එනකොට විනාකිරි ටික එකතු කරන් හැඳිගාන්න. අවශ්‍ය ප්‍රමාණයට තික් උනාම ලිපෙන් ඉවත් කරල නිවෙන්න තියල ශීතකරණයට දාගන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *