ඔබ ලේඛකයෙක්ද? ලේඛකයෙක් වෙන්න ආස කෙනෙක්ද? එහෙමනම් මේ දේවල් ඔබේ වැඩ කරන කාමරයේත් තිබෙනවා නම් හොඳයි

ඔය ලේඛකයෙක් කිව්වහ, ඉස්සර නම් පොත් ලියන අය විතරයිනේ ගොඩක් දුරට සැලකෙන්නේ. හැබැයි ඉතින් ලේඛකයෙක් කියන එක වඩාත් පුළුල් අර්ථයකින් ගත්තොත්, පොත් ලියන අය වගේම පත්තරේකට නැතිනම් වෙබ් අඩවියකට විශේෂාංග ලියන අයවත් ලේඛකයෝ කියලා සලකන්න පුළුවන්. හරි, දැන් අපි අතරේ ඉන්නවා ලේඛකයෝ. එහෙම නැතිනම් ලේඛන කලාවට ආස අය. ඒ වගේම පරිවර්තකයෝ වුනත් ඒ කාණ්ඩෙටම ගන්න පුළුවන්. දැන් එහෙම පූර්ණ කාලීනව ලියන කියන නැතිනම් තමන්ගේ කාලයෙන් වැඩි ප්‍රමාණයක් ලේඛනයට කැප කරන කෙනෙක්ගේ ඔෆිස් කාමරයේ නැතිනම් ලියන කියන අවකාශයේ තියෙන්නත් ඕන, ඒ ලියන කියන වැඩේට සහායක් වෙන දේවල් තමයි. ආන්න ඒ දේවල් ගැන තමයි අපි මේ කියන්න යන්නේ. 

 

1. ටයිප් රයිටර් එකක්

ටයිප් රයිටර් එකකින් වැඩේ පටන් ගත්තේ හේතුවක් ඇතුව. ඕනම ක්ලැසික් රයිටර් කෙනෙක් දන්නවා ටයිප් රයිටර් එකක ලේඛන කලාවට තියෙන ක්ලැසික් සම්බන්ධය. අපි අද කියවන ගොඩක් ජගත් සාහිත්‍යයේ ලේඛකයෝ ලියලා තියෙන්නේ ටයිප් රයිටරෙන්. සමහරු ඔය එහා මෙහා ගෙනියන්න පුළුවන් හුරුබුහුටි ටයිප් රයිටර් පවා පාවිච්චි කරලා තියෙනවා. හැබැයි ඉතින් දැන් කාලේ අපි ටයිප් කරන්නේ කම්පියුටර් එකෙන්නේ. එතකොට ටයිප් රයිටරේ වෙනුවට ලැප්ටොප් එක තමයි ඒ තැන අරගෙන තියෙන්නේ. අනික ලැප්ටොප් එකේ ටයිප් කරනවාට වඩා ටයිප් රයිටරේ ඉතාම අමාරුයි, හුරු නැති කෙනෙක්ට.

 

එහෙමනම් ටයිප් රයිටර් එකක් මොකටද? ක්ලැසික් සංකේතයක් විදියට. ඕන නම් ඉඳලා හිටලා පළවෙනි පිටුව හරි ටයිප් රයිටරෙන් ටයිප් කරන්නත් පුළුවන්. ඊටත් වඩා ඒක සමරුවක්, තමන් සාහිත්‍යයට අයත් මනුස්සයෙක් කියලා සිහිපත් කිරීමක් විදියට ටයිප් රයිටරයක් කාමරේ තිබුණාවේ.

 

2. ශබ්ද කෝෂ/තිසෝරස්

පරිවර්තකයෙක්ට නම් ශබ්ද කෝෂයක් එහෙම වුවමනායි කියලා හිතන්න පුළුවන්. ඒත් ලේඛකයෙක්ට ශබ්දකෝෂ ඕනද? අනිවාර්යයෙන්ම වුවමනායි. සම්මත මලලසේකර ශබ්දකෝෂය විතරක් නෙවෙයි, විවිධ ක්ෂේත්‍රයන් වෙනුවෙන් ලියවිලා තියෙන ශබ්දකෝෂ, වාග් කෝෂ, සිංහල-සිංහල හෝ ඉංග්‍රීසි-ඉංග්‍රීසි ශබ්දකෝෂ වගේ එක එක ජාතියේ ශබ්දකෝෂ/වාග් කෝෂ තියෙන එක හොඳ ලේඛකයෙක්ට නම් ලොකු පිටුවහලක්. ඊට අමතරව තිසෝරස් -ඒ කියන්නේ සමාන පද එහෙම තියෙන වාග් කෝෂත් තියෙන එක ඉතාම වටිනවා.

 

3. පොත් පත්

පොත් පත් නැතිනම් ලේඛකයෙක් ඇත්තටම ලේඛකයෙක් නෙවෙයි. මොනවද පොත් පත්? ඕනම විදියක පොත් පත් මේ යටතට අයිති වෙනවා. නවකථා, කෙටිකථා, චරිතාපදාන, ප්‍රබන්ධ නොවන පොත් වල ඉඳලා ලේඛන කලාව ගැන ලියවුණු පත පොත පවා මෙතනදී වැදගත් වෙනවා. ඇයි? ලේඛකයෙක්ට තමන්ගේ ලේඛන හැකියාව දියුණු තියුණු කරගන්න නම් අනිවාර්යයෙන්ම කියවන්න වෙනවා. කියවන්නේ නැති ලේඛකයෙක් සාර්ථක ලේඛකයෙක් වෙන්න හැකියාවක් නැති තරම්. ආන්න ඒ නිසා තමයි හොඳ ලේඛකයෙක්ට තමන්ගේ ලියන කියන අවකාශය තමන්ගේ පුස්තකාලය එක්කම හදාගන්න පුළුවන් නම් හොඳ වෙන්නේ. එහෙම නැතත්, තමන් මේ මොහොතේ කියවමින් ඉන්න පොත් පත් කීපය හෝ අතේ දුරින් තියෙන එක හොඳයි.

 

එක දිගටම ලියලා මහන්සි වුණු වෙලාවට පොතක් පතක් කියවන එකත් වෙහෙස නැති කරගන්න හොඳ උපක්‍රමයක්.

 

4. ලිපිද්‍රව්‍ය/නෝට්පොත්

මෙන්න මේක බොහොම ප්‍රසිද්ධ රහසක්. ගොඩක් ලේඛකයෝ පුදුමාකාර විදියට ආසයි නෝට් පොත් ඇතුළු ලිපිද්‍රව්‍ය වලට. ඇත්තටම අපි දන්න අඳුනන ලේඛකයෝ පවා ඉන්නවා සෑහෙන්න නෝට් පොත් එකතු කරන. මේ නෝට් පොත් ගොඩක් වෙලාවට අතින් ලියන කියන දේවලට ප්‍රයෝජනවත් වෙනවා. කොහොමත් ලේඛකයෙක් තමන්ට කටු සටහන් ලියන්න, දිනයේ කළ යුතු දේවල් ලියන්න, සාරාංශ ලියන්න වගේ දේවලට වෙන වෙනම නෝට් පොත් අනිවාර්යයෙන්ම තමන්ගේ මේසය උඩ තියාගත යුතුමයි. එතකොට පෑන් පැන්සල් එහෙමත් එක එක පාටෙන් තිබුණට කමක් නෑ.

 

ඒ ඇරෙන්න ඔය ස්ටිකි නෝට්ස්, කලර් කෝඩ්ස්, රයිටින් පෑඩ්ස් වගේ මෙකී නොකී විවිධාකාරයේ ලිපිද්‍රව්‍ය ලේඛකයෙක්ගේ මේසේ උඩ හරි කබඩ් එකක හරි තියෙන එක, සමහර ලේඛකයෙක්ට සතුටක්. ඒ කියන්නේ ඒවා දැක්කත් සන්තෝසයි, හිතට හොඳයි. ඒ ඇරෙන්න ඉතින් ඔය ලිපිද්‍රව්‍ය අනිවාර්යයෙන්ම කොයි මොහොතක හරි ප්‍රයෝජනවත් වෙනවානේ.

 

5. කෝපි පොට් එකක් / කෝපි තර්මෝස් එකක්

මේක දෙපැත්තකින් කතා කළ යුතු කාරණයක්. දැන් ඔය ලේඛන කලාව නැතිනම් ලේඛකයන්ව ෆැන්ටසිකරණය කරනකොට ඕකට කෝපිත් ඇතුළත් වෙනවා. විශේෂයෙන්ම ඔය ලේඛකයෝ නිදි මරාගෙන, කෝපි බිබී ලියන කියන කටයුතු කරනවා කියලනේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ. ඇත්තටම ලේඛකයෙක්ට කෝපි එකක් ඕන වුණු හැටියේ බොන්න තියෙනවා නම් ඒක නරක අදහසක් නෙවෙයි. හැබැයි  එකක් විශේෂයෙන්ම මතක තියාගන්න ඕන. කෝපි කියන්නේ ඕනෑවට වඩා බොන්න හොඳ පානයක් නෙවෙයි. උපරිම දවසකට කෝපි කෝප්ප හතරකට එහා යන්න එපා කියලා තමයි කියන්නේ.

 

දැන් ඕකත් හිතේ තියාගෙන, තමන් ලියන කියන තැනට කිට්ටුවෙන් කෝපි පොට් එකක් තියාගන්න එක ගැටළුවක් නෑ. ඒකෙන් අවශ්‍ය වෙලාවට රත් වෙමින් තියෙන කෝපි එකක් බොන්න පුළුවන් වෙනවා විතරක් නෙවෙයි. පොඩි ක්ලැසික් ගතියකුත් එකතු වෙනවා. තවත් සමහරු නම් කෙලින්ම අර කෝපි ඇට උඩින් දැම්මහම එස්ප්‍රෙසෝ හැදිලා එන කෝපි මැෂින් එකක් කාමරෙන් තියාගන්නත් පුළුවන්. හැබැයි ඔය එකක් වත් බැරිනම්, උණුවතුර බෝතලේකට කෝපි කෝප්ප දෙක තුනක් දාලා තියාගත්තත් කිසිම ගැටළුවක් නෑ.

 

6. ගෘහාශ්‍රිත පැළයක්

මේක ගොඩක් දෙනෙක් වැදගත් කාරණාවක් විදියට සලකන්නේ නැ. හැබයි මේක අනිවාර්යයෙන්ම අවශ්‍ය දෙයක්, විශේෂයෙන්ම නිරන්තරයෙන්ම ලේඛන කලාවේ යෙදෙන කෙනෙක්ට. දැන් අපි නෝට් පොතක් දිහා හරි, ලැප්ටොප් ස්ක්‍රීන් එක දිහා හරි එක දිගටම බලාගෙන ඉන්නවා කියන්නේ ක්‍රමයෙන් අපේ ඇස් වෙහෙසට පත් වෙනවා කියන එක. කොහොමත් ලියන කියන වැඩ කරනකොට වුනත් හරි ක්‍රමය එක දිගටම ලියන එක නෙවෙයි. විනාඩි තිහෙන් තිහට වගේ පොඩි රෙස්ට් එකක් ගන්න එක. දැන් ඔය ඇස් වෙහෙසට පත් වුනහම බලන්න වෙනත් දෙයක් තියන එක බොහොම හොඳ දෙයක්. හැබැයි පරිගණක තිරය දිහා බලාගෙන ඉඳලා ඇස් වෙහෙසට පත් වුණහම ආයෙමත් බලන්නේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා නම්, ඒක හොඳ දෙයක් නෙවෙයි. හැබැයි ඔය අපේ අම්මලා එහෙම කියනවා, ඒ වෙලාවට කොළ පාට දෙයක් දිහා, ගස් කොළන් දිහා බලන්න කියලා. ආන්න ඒ නිසා කාමරේ පුංචි කාමර ඇතුළේ තියන්න පුළුවන් පැළයක්, කැක්ටස් පැළයක්, බොන්සායි පැළයක් එහෙම තියෙන එක මරු.

 

7. හෙඩ්ෆෝන්

මේකත් ඒ තරම් කෙනෙක් හිතන්නේ නැති දෙයක්. දැන් අපි හිතමු ලේඛකයෙක්ට සම්පූර්ණයෙන්ම ශබ්දය ඇතුළට එන්නෙ නැතිවෙන්න සවුන්ඩ් පෘෆ් කරපු කාමරයක් තියෙනවා කියලා. එහෙම නම් මරු. හැබැයි ඇත්තටම එහෙම කාමර හැමෝටම නැහැනේ. ආන්න ඒ නිසා, වඩාත් හොඳ දේ තමයි අර කණ් ආවරණය වෙන්න දාන්න පුළුවන් හෙඩ්ෆෝන් දෙකක් තියෙන එක. ඒකෙන් මොකුත් මියුසික් හරි වෙනත් මොනවා හරි ඇහෙන්න ඕන නෑ. හැබැයි අර බාහිර පරිසරයෙන් එන ශබ්ද අපිට කරදරයක් නොවෙන විදියට කපා හරින්න, අඩු කරන්න ඒ වගේ හෙඩ්ෆෝන් දෙකකට හැකියාව තියෙනවා.

 

දැන් මේ ආටිකල් එක වැදගත් වෙන්නේ ලේඛකයින්ට නැතිනම් ලේඛකයෙක් වෙන්න ආස අයට විතරද? අපොයි නෑ. ලේඛකයෙක්ට තෑග්ගක් දෙන්න හිතන කෙනෙක්ටත් මේ ආටිකල් එක වටිනවා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *