රත්තරන් කියන්නෙ මේ දවස්වල ටිකක් වැඩිපුර කතාවෙන මාතෘකාවක්. මොකද මේ මෑත කාලෙදි රත්තරන් වල මිල අපිට හිතාගන්න බැරි තරම් සීඝ්රයෙන් ඉහළ ගිය නිසා. මේ වෙනකොට රත්තරන් ග්රෑම් එකක මිල රුපියල් 12,000 ට ආසන්න මුදලක් වෙලා. ඒ කියන්නෙ හැදුම් කුලී නැතුවත් රත්තරන් පවුමක් ලක්ෂෙකට කිට්ටුයි. හැබැයි ඉතින් එහෙමයි කියල මේ රත්තරන් වලට තියෙන ඉල්ලුම කවදාවත් අඩුවෙනවද? නැහැනේ. රත්තරන් ගණන් යන්න යන්න මිනිස්සු තව තව රත්තරන් හදල එකතු කරගන්න තමයි බලන්නෙ. මොකද ඉස්සරහට තවත් මිල වැඩිවෙයි කියලනෙ හිතන්නෙ. අපි මේ කියන්න යන්නෙ රත්තරන් මිල ගැනයි, ඉස්සරහට මිල වෙනස් වෙන විදිහ ගැනයි නම් නෙමෙයි. රත්තරන් වලින් තෑගි දෙන එක ගැන. අපි ඉතින් හැමෝටම රත්තරන් තෑගි දෙන්නෙ නැහැනෙ. එහෙම දෙන්නත් බැහැනෙ. ඉතින් අපි හිතුව තමන්ට විශේෂම කෙනාට, ඒ කිව්වේ තමන්ගෙ ආදරවන්තයට, ආදරවන්තියට රත්තරන් වලින් තෑගි දෙන එකේ වාසි ගැන කතා කරන්න. මිලෙන් ඉහළ උනත් මේ වාසි ටික දැනගත්තම නම් රත්තරන්ම තෑගි දෙන්න හිතෙයි ඔන්න.
1. විශේෂම කෙනෙක් බව දැනෙන්න දෙන්න පුළුවන් හොඳම තෑග්ගක්
ඔන්න මේක තමයි ලොකුම වාසිය. අපි කලිනුත් කිව්ව වගේ හැමෝටම රත්තරන් වලින් තෑගි දෙන්නෙ නැහැනේ. දෙනවනම් දෙන්නෙ තමන්ට හුඟක්ම ළඟ පවුලෙ කෙනෙකුට. ඉතින් තමන්ගේ සහකාරයට හරි සහකාරියට හරි රත්තරන් බඩුවක් තෑග්ගක් විදිහට දෙනව කියන්නෙ එයා ඔයාට ගොඩක් විශේෂයි කියන එකයි. ඒක එයාටත් දැනෙනවා. තෑග්ගක් දීලා ඉතින් බලාපොරොත්තු වෙන්නෙ ආදරේ පෙන්නන්නනේ. මේකෙන් ඒ වැඩේ ටක්කෙටම කෙරෙනව ඔන්න.
2. කවදාවත් පරණ නොවෙන විලාසිතාවක්
රත්තරන් කියන්නෙ කිසිම කාලෙක කල් පනින ඒ කිව්වෙ out date වෙන විලාසිතාවක් නෙමෙයි. ඔය කාලෙන් කාලෙට එන විලාසිතා, මාසෙන් දෙකෙන්, අවුරුද්දෙන් වගේ මිනිස්සුන්ට අමතක වෙලා, පරණ වෙලා ගියාට රත්තරන් ආභරණ පළඳින එක බොහෝම ඉස්සර ඉඳන් අද වෙනකන්ම පරණ නොවුණ, ඉස්සරහටත් එහෙම්මම තියෙන විලාසිතාවක්. ඒ නිසා වෙන වෙන ආභරණ ගන්න වෙලාවෙ ටිකක් වැඩියෙන් වියදම් කරල රත්තරන්ම ගන්න එකෙන් නිතර නිතර විලාසිතා වෙනස් කරන්න වෙන කරදරෙත් අඩු වෙනව. නිතර නිතර වෙන වියදමත් අඩුවෙනව.
3. ඕනම ඇඳුමකට ගැලපෙනවා
රත්තරන් කියන්නෙ ඕනම ඇඳුම් විලාසිතාවකට ගැලපෙන ආභරණ වර්ගයක්. ඒ වගේම තමයි ඕනම අවස්ථාවකට ගැලපෙන ආභරණ වර්ගයක්. වෙන වෙන ආභරණ නම් තැනේ හැටියට, ඇඳුමේ හැටියට ගලපන්න ඕන උනාට රත්තරන් එහෙම නැහැ. ඒ නිසා රත්තරන් ආභරණ ළඟ තියෙනව කියන්නෙ හදිසියේ යන්න වෙන මොකක්ම හරි ගමනකට උනත් ඇඳුමේ හැටියට ආභරණ හොයන්න වෙන කරදරේ අඩුයි. ඒ වගේම ලොකු ලොකු විලාසිතා කරන්න අකමැති, චාම් බවට කැමති අයට උනත් මේ රත්තරන් ආභරණ ගැලපෙනව. ලොකු මාල, කරාබු නැතුවට ඕනම ඇඳුමකට රත්තරන් මාලයක්, වළල්ලක් හෝ බ්රේස්ලට් එකක්, මුද්දක් දාන්න පුළුවන්නෙ.
4. පවුලට අමතර ආයෝජනයක්
රත්තරන් කියන්නෙ තෑග්ගක්, විලාසිතාවක් විතරක්ම නෙමෙයි. රත්තරන් කියන්නෙ ඇත්තටම ආයෝජනයක්. දැන් මේ වැඩිවෙන මිල ගණන් වල හැටියට බැලුවම කරන්න පුළුවන් හොඳම විදිහේ ලොකුම ආයෝජනයක්. හැබැයි ඉතින් කසාද බැඳලා නැති කොල්ලො, කෙල්ලො රත්ත්තරන් තෑගි හුවමාරු කරගන්නකොටනම් මේ කාරණාව ගැන ටිකක් අවධානෙන් ඉන්න. තෑග්ගත් අරන් ටටා බායි කියල ගියෝතින් ආයෝජන කැලේනෙ. හැබැයි එහෙම නැති විවාහක, නැත්තම් ශුවර්ම ජෝඩුනම් ඒ දෙන්නට, පවුලට කරන ලොකුම ආයෝජනයක් තමයි මේ රත්තරන්. හදිසි ඕනම වෙලාවක වැඩි කරදරයක් නැතුව ලේසියෙන්ම මුදල් කරගන්න පුළුවන්. රත්තරන් කාසි වශයෙන්ම තියෙනවනම් පවතින මිලටම විකුණන්න පුළුවන්. ඒ නැතත් ඩිසයින් දාපු, ගල් අල්ලපු ඒව උනත් පොඩි මිලක් අඩු වුණාට ලොකු පාඩුවක් වෙන්නෙ නම් නැහැ. සල්ලි හදිස්සි වෙලාවකට රත්තරන් තියෙනව කියන්නෙ සල්ලි තිබ්බම වගේ තමයි ඉතින්.
5. පරම්පරා ගාණකට පාවිච්චි කරන්න පුළුවන්
අනිත් වාසිය තමයි මේ රත්තරන් කියන්නෙ තෑග්ග දෙන, ලබන කෙනාගෙන් ඉවර වෙන කතාවක් නෙමෙයි. ඉස්සරහට පරම්පරා ගණනාවකට පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. බිරිඳට රත්තරන් අරන් දෙනවා කියන්නෙ කවදාහරි දුවට ලැබෙනව කියන එක තමයි. ඒ වගේ ගෙදර තියෙන රත්තරන් පාවිච්ච් කරන කෙනා ජීවතුන් අතර නොහිටියත් ඉස්සරහ පරම්පරාවල අයට දිගින් දිගටම පාවිච්චි කරන්න පුළුවන්.
6. කල්පැවැත්ම
මේකත් තවත් ලොකුම වාසියක්. රත්තරන් බඩු කැඩෙන බිඳෙන අවස්ථා බොහොම අඩුයි. ඒකට එක හේතුවක් තමයි අපි ඒව හුඟක් පරිස්සම් කරන එක ඉතින්. ඒ නැතත් අනිත් සුකුරුත්තන් ආභරණ වගේ අවපැහැ වෙන එක, පබළු කෑලි වගේ කොටස් කැඩෙන එක, ගාංචු හැලෙන එක එහෙම මේ රත්තරන් බඩු වල ඇත්තෙම නැති කරදර. යන්තමට අවපැහැ උනත් polish කරල, නැත්තම් අපිට හුරු භාෂාවෙන් කිව්වොත් වතුරේ දාල ආපහු අළුත් වගේම දිලිසි දිලිසි පාවිච්චි කරන්න පුළුවන්. කැඩුනත් එහෙමයි. බැරිවෙලා හරි කැඩුනත් ආපහු පාස්සන්න පුළුවන්. එක්කෝ ඒ රත්තරන්ම උණු කරවලා අළුත් විදිහට හදාගන්න පුළුවන්. වෙන ආභරණ එහෙම බැහැනේ.
7. අමතර වාසි
කලින් කිව්වා ආයෝජන කතාවටම මේක සම්බන්ධයි. විකුණලා සල්ලි නොගත්තත් හදිස්සි වෙලාවක ක්ෂණිකව රත්තරන් උකස් තියල සල්ලි කරගන්න පුළුවන්. විකුණුව වගේ නෙමෙයි. අන්තිමේදි රත්තරන් බඩුවත් ඉතුරුයි. යන එන ගමනකදි බිමනකදී උනත් ක්ෂණික මුදල් හදිස්සියක් ආවොත් අතේ කරේ තියෙන මාලයක් මුද්දක් ගලවල හරි සල්ලි කරගන්න පුළුවන්.
ඒ වගේම තමයි සමාජයේ පිළිගැනීම. රත්තරන් වල ඉහල මිලත් එක්ක බැලුවම රත්තරන් ඇඳලා පැළඳලා ඉන්න කෙනෙක් දිහා මිනිස්සු බලන විදිහෙත් පොඩි ගෞරවයක්, පිළිගැනීමක් තියෙනවා.
Leave a Reply