ලංකාව කියන්නේ වසර දහස් ගණනක සිතුවම් සම්ප්රදායක් තියෙන රටක්. නමුත් කාලෙන් කාලයට සිද්ධ වුණු විවිධ පරසතුරු ආක්‍රමණ වගේම වෙනත් අභියෝග නිසා ලංකාවේ සිතුවම් කලාව පිරිහීමට පත් වුණා. යම්තාක් දුරකට හෝ යළිත් පුනර්ජීවනයට පත් වුණේ මහනුවර යුගය තුළදී. ඉන්පසුව බටහිර රටවල සිතුවම් කලාවේ ආභාෂයත් එක්ක ලංකාවේ සිතුවම් ශිල්පීන් සිතුවම්කරණය පිළිබඳව නව මාන සොයා ගියා. අද අපි එවැනි ලංකාවේ සිතුවම් කලාව ගැන කතා කරද්දි අමතක කරන්න බැරි සිතුවම් ශිල්පියෝ කිහිප දෙනෙක් ගැන කතා කරමු.
1. එම්. සාර්ලිස්
ලංකාවේ විහාර බිතුසිතුවම් කලාව විප්ලවීය වෙනසකට ලක්කරන්න දායක වුණ ප්‍රමුඛතම චිත්‍ර ශිල්පියෙක් විදිහට එම්. සාර්ලිස්ව හඳුන්වා දෙන්න පුළුවන්. අද පවා සාර්ලිස් ඇඳපු දේවාරාධනය, නියත විවරණය, මහමායා දේවිය දුටු සිහිනය, සිදුහත් කුමරුගේ අභිනිෂ්ක්‍රමණය වැනි චිත්‍ර වලින් බොහෝ බෞද්ධ නිවෙස්වල බිත්ති සැරසෙනවා. ඒ වගේම බෞද්ධ නිවෙස්වල අනිවාර්යයෙන්ම දකින්න ලැබෙන සීවලී හාමුදුරුවන්ගේ පින්තූරයත් සාර්ලිස් මහතාගේ නිර්මාණයක්.
2. මුදළිඳු එස්. සී. ජී. එස් අමරසේකර
ලංකාවෙන් බිහි වී ජාත්‍යන්තර මට්ටමේ නමක් දිනා ගන්න සමත් වෙච්ච මුල්ම චිත්‍ර ශිල්පියෙක් විදිහට මුදලිඳු සී. ජී. එස් අමරසේකරගේ නම සඳහන් කරන්න පුළුවන්. විශේෂයෙන්ම දියසායම්, පැස්ටල් වැනි මාධ්‍ය භාවිතා කරමින් විවිධ පුද්ගලයන්ගේ උඩුකය සිතුවම් නිර්මාණය කිරීමට ඔහු විශේෂ දක්ෂතාවයක් දැක්වූවා. ඒ වගේම ලංකාවේ ප්‍රථම පෞද්ගලික කලා පාසල පිහිටුවීමේ ගෞරවය හිමි වන්නේ ඔහු වෙතටයි. ඔහුට ගෞරවයක් දැක්වීමක් ලෙසට කොළඹ හැව්ලොක් ටවුන්හි ඩෝසන් පාර අමරසේකර මාවත ලෙස ඔහුගේ උපතෙන් සිය වෙනි සංවත්සරය යෙදුණු 1983 වර්ෂයේදී නම් කරනු ලැබුවා.
3. ඩේවිඩ් පේන්ටර්
ඉන්දියාවේදී උපත ලැබූ ඩේවිඩ් පේන්ටර්ගේ මව සිංහල කාන්තාවක් වූ අතර ඔහු පාසල් අධ්‍යාපනය හැදෑරුවේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙනුයි. ත්‍රිත්ව විද්‍යාලයේ දෙව් මැදුමැදුර තුළ අඳින ලද සිතුවම් ඔහුගේ මුල් කාලීන නිර්මාණ ලෙස සලකනු ලබනවා. ඉන්පසු කාලය තුළදී ඔහු විසින් කැටපෝලය සහ ළමයා, නේපාල ජාතික මව සහ දරුවා, රබන් වයන්නෝ, මාළු කාරයෝ වැනි සිතුවම් ගණනාවක් නිර්මාණය කරනු ලැබුවා. පසු කලෙක දී ඔහු රජයේ ලලිත කලායතනයෙහි විදුහල්පති ධූරයටත් පත්වුණා.
4. ජේ. ඩී. ඒ පෙරේරා
කුඩා කාලයේ අතිශය දුෂ්කර ජීවිතයක් ගත කළ ජේ.ඩී.ඒ පෙරේරා, කුඩා කාලයේ පටන් චිත්‍ර කලාව කෙරෙහි වැඩි නැඹුරුවක් දැක්වූවා. ශිෂ්‍යත්වයක් ලැබීමෙන් අනතුරුව යුරෝපයට ගොස් චිත්‍ර කලාව වැඩිදුරට හැදෑරීමට ඔහු යොමු වුණා. නැවතත් ලංකාවට පැමිණීමෙන් පසුව මුදලිඳු අමරසේකර වැන්නවුන් සමග ලංකා කලා සංගමය පිහිටුවා කලා ක්ෂේත්රයේ ප්‍රවර්ධනයට සුවිශාල කාර්යභාරයක් ඔහු විසින් ඉෂ්ට කළා. විවිධ පුද්ගලයන්ගේ ආලේඛ්‍ය චිත්‍ර ගණනාවක් නිර්මාණය කිරීමේ වගකීම පැවරුණේ ඔහු වෙතටයි. එවැනි සෑම චිත්‍රයකම පාහේ ආලෝකය සහ වර්ණ හැසිරීම ඔහුටම ආවේණික ක්‍රමයකට සිදුකර තිබුණා.
5. සෝලියස් මෙන්දිස්
ලංකාවේ වැඩිම ජනාදරයක් දිනූ චිත්‍ර ශිල්පියා විදිහට සෝලියස් මෙන්දිස්ව හඳුන්වන්න පුළුවන්. ඊට හේතුව වෙන්නේ කැළණි විහාරය තුළ ඔහු නිර්මාණය කරපු විශිෂ්ට ගණයේ සිතුවම් නිර්මාණයි. ජීවිතයේ කෙතරම් දුෂ්කරතාවලට මුහුණ දුන්නත් ඔහු තමන්ගේ වෘත්තීය අභිමානය කෙරෙහි දැඩි ලෙස සැළකිල්ලක් දැක්වූවා. කැලණි විහාරයේ සිතුවම් කිරීම අවසානයේ දී ඇති වුණු සිත් තැවුලක් මත ඔහු සිතුවම්කරණයට ආයුබෝවන් කිව්වා.
6. සෝමබන්ධු විද්‍යාපති
බෙල්ලන්විල රජමහා විහාරයේ බුද්ධ මන්දිරය වන්දනා කරන්න යන බැතිමතුන්ට එම මන්දිරය සරසන බිතුසිතුවම් නම් කවදාවත් අමතක වෙන එකක් නැහැ. බෙල්ලන්විලටම ආවේණික වූ ශෛලියකින් මෙම සිතුවම් නිර්මාණය කරලා තියෙනවා. මේ විශිෂ්ට ගණයේ සිතුවම් නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වෙන්නේ සෝමබන්දු විද්යාපතිට.
7. ජෝර්ජ් කීට්
බොහෝ විචාරකයන්ට අනුව ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම නවීන චිත්‍ර ශිල්පියා වන්නේ ජෝර්ජ් කීට්. කියුබික්වාදයට ආකර්ෂණයක් දැක්වූවත් ඔහුගේ සිතුවම් තුළින් නිරූපණය වන්නේ ශ්‍රී ලාංකිකත්වයයි. ඊට ඔහු තුළ සිටි කවියා ද යම් තාක් දුරකට බලපාන්නට ඇති. අයිවන් පීරිස්, හැරී පීරිස්, ජස්ටින් දැරණියගල, ලයනල් වෙන්ඩ්ට් වැනි පුරෝගාමීන් සමඟ කොළඹ 43 කණ්ඩායම බිහි කිරීමට පුරෝගාමී වූ ඔහු ලංකාවේ සිතුවම් කලාව මෙන්ම අනෙකුත් කලා ක්ෂේත්රවල ප්‍රවර්ධනය වෙනුවෙන් ද විශිෂ්ට සේවාවක් ඉටු කළා.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ ලැයිස්තුවට ඇතුළත් වෙන්න ඕන තවත් නම් තියෙනවා නම් ඒ අය ගැන කමෙන්ට් එකකින් අපිට කියන්නත් අමතක කරන්න එපා.
Leave a Reply