ඇප් එකක් හරහා සෙක්ස් කරන්න කෙනෙක් හොයාගන්නවා නම්, මේ දේවල් ගැනත් දැනුවත් වෙන එක වටිනවා

සෙක්ස් කියන්නේ ලෝකේ ඉන්න අපි හැමදෙනාටම ඕන කරන දෙයක්, අවශ්‍යතාවයක්නේ. ඉතින් සෙක්ස් කරන්න සුදුසු සහ නීතියෙන් අවුලක් නැති වයසක ඉන්න ඕනම කෙනෙක් තවත් කෙනෙක්ට හානියක් වෙන්නෙ නැති විදියට සෙක්ස් කරන එකේ කිසීම ගැටළුවක් නෑ. හැබැයි ඉතින් එහෙම තියරිය විදියට කිව්වට, ගොඩක් අයට එහෙම ලේසියෙන් සෙක්ස් කරන්න කෙනෙක් හොයාගන්නත් බෑ. තවත් ගොඩක් අයට ඔලුවේ හැදිලා තියෙන සංස්කෘතික, සදාචාර සීමාවන් නිසා එහෙම සෙක්ස් කරන්න නිදහසකුත් නෑ.

 

හරි, අපි කියමු දැන් එහෙම ප්‍රශ්න නැති කවුරු හරි කෙනෙක් කියලා. ඔන්න සෙක්ස් කරන්න වුවමනාව තියෙනවා. ඒකට පාට්නර් කෙනෙක් හොයාගන්න ඕන. මේ ඩිජිටල් ලෝකේ කෙලින්ම ඩේටින් ඇප් එකක් හරහා සෙක්ස් කරන්න පාට්නර් කෙනෙක් හොයාගන්නත් කැමතියි. ආන්න එහෙම අවස්ථාවකදී හිතන්න ඕන දේවල් මොනවද? ඇත්තටම හිතන්න ඕන දේවල් ටිකක් තියෙනවා. අන්න ඒ ගැන තමයි අපි මේ කියන්න යන්නේ.

 

දැන් මේ ඩේටින් ඇප්ස් කියලා අපි කියන්නේ OKCupid, Tinder, Grindr වගේ ගැහැණු පිරිමි පාට්‍නර්ලා ඩේට් කරන්න හෝ සෙක්ස් කරන්න විතරක් හෝ හොයාගන්න පුළුවන් ඕනෑම ඩීසන්ට් ඩේටින් ඇප් එකකට!

 

1. වැඩේ ලේසිද?

මේක ගොඩක් දෙනෙක්ට ප්‍රායෝගිකව පැන නගින ගැටළුවක්. ඒ තමයි ඔය කියන ලේසියෙන් ඩේටින් ඇප් එකක් හරහා සෙක්ස් කරන්න පාට්නර් කෙනෙක් තියා ඩේට් කරන්නවත් පාට්නර් කෙනෙක් හොයාගන්න පුළුවන්ද කියන එක. ඇත්තටම හොයාගන්න පුළුවන්. හැබැයි ඉතින් ඩේටින් ඇප් එකක් පාවිච්චි කරන එක, ඒකේ හොඳ ප්‍රොෆයිල් එකක් පවත්වා ගෙන යන එක කියන්නේ වෙනම ආට් එකක්. ඒ ගැන අපි සවිස්තරාත්මකව ඉස්සරහට කියන්න බලාපොරොත්තු වෙනවා.

 

කොහොම වුනත් සාරාංශය මෙහෙමයි. ඩේටින් ඇප් එකක ප්‍රොෆයිල් එකක් හදපු ගමන් කොල්ලෙක්ට නං ආරාධනා ගලාගෙන එන එකක් නෑ. හැබැයි සමරිසි කොල්ලන්ට තියෙන ඇප්ස් වල තත්ත්වය වෙනස්. එහෙම නැතුව කෙල්ලෙක් හොයාගන්න ආපු කොල්ලෙක්ට නම් ටිකක් ඉවසීමෙන් වැඩ කරන්න වෙයි. 

 

2. ඩික් පික්ස්

මේක ඉතාම වැදගත් කාරණාවක්. ඒ කියන්නේ ඔය තනිකරම හුක්-අප්ස් වලට තියෙන ඇප් එකකදී වුනත් කවුරුහරි චැට් එකට සෙට් වුණු ගමන් තමන්ගේ නිරුවත් ඡායාරූප යවන්න හරි, නිරුවත් ඡායාරූප ඉල්ලන්න හරි එපා. ඒක හරිම කැතයි. ඒකට කැමති අයත් ඉන්නවා ඇති. හැබැයි පොදුවේ කියන්න පුළුවන් ගොඩක් දෙනෙක් චැට් එකට ආපු ගමන් ඩික් පික්ස් හරි බූබ් පික්ස් හරි යවන එකට කැමති නැති බව. ඊට වඩා පොඩ්ඩක් පර්සනලයිස් සම්බන්ධයකට තමයි ගොඩක් දෙනෙක් කැමති. අපි කියමු අපි ඩේටින් ඇප් එකකට යන්නේ සෙක්ස් කරන්නම කෙනෙක් හොයාගන්න කියලා. හැබැයි ඒක වුනත් පියවරෙන් පියවර තමයි ගොඩනැගෙන්න ඕන. එහෙම නැතිනම් ඒකේ කිසිම ත්‍රිල් එකකුත් නැහැනේ. 

 

3. ASL Please

මේක සාමාන්‍යයෙන් ඉස්සර චැට් රූම් වල හරියට පාවිච්චි වුණු යෙදුමක්. මේ ASL කියන එකෙන් කියන්නේ age, sex, location කියන එක. කෙටියෙන්ම කිවුවොත් වයස කීයද, ගෑණුද පිරිමිද, ඉන්නේ කොහෙද කියන එක තමයි කෙටියෙන් අහන්නේ. හැබැයි දැන් කාලේ වෙනකොට තත්ත්වය පොඩ්ඩක් වෙනස්. ඩේටින් ඇප් එකෙන් මුලින්ම චැට් එකකට ගිහින් ASL please කියලා අහන එකෙන් කෙනෙක් සෙට් වෙනවට වඩා ගැලවෙන්න තියෙන ඉඩ වැඩියි. ඒකට හේතුව උඩින් කියපු එකම තමයි. සෙක්ස් කරන්නම පාට්නර් කෙනෙක් හොයාගන්න ඩේටින් ඇප් එකකට ගියත්, දැන් ඕන වගේ මෝල් සෙයියාවෙන් හැසිරෙන්න එපා. මනුස්සයෙක් විදියට සුහදශීලීව, ක්‍රම ක්‍රමයෙන් සම්බන්ධතාවය ගොඩනගා ගන්න.

 

4. අපි කරමුද නැතිනම් අපි බඳිමුද?

දැන් ඔය සෙක්ස් කරන්න පාට්නර්ලා හොයාගන්නම තමයි තියෙන්නේ කියලා ගොඩක් අය කියන Tinder, Grindr වගේ ඇප්ස් තියෙනවනේ. ඇත්තටම වැඩිදෙනෙක් මේ ඇප්ස් වලට එන්නේ තනිකරම සෙක්ස් කරන්න පාට්නර් කෙනෙක් හොයාගන්න වුවමනාවෙන් වෙන්න පුළුවන්. හැබැයි අමතක කරන්න එපා, මේ ඇප්ස් වලත් ඕන තරම් කට්ටිය ඉන්නවා, ඊට වඩා ආදර සම්බන්ධතාවයක් හොයන අය. විශේෂයෙන්ම ගේ කට්ටියට වෙන් වුණු Grindr වගේ ඇප් එකක සියේට අනූවක් ඉන්නේ සෙක්ස් පාට්නර් කෙනෙක් හොයන අය වුනත්, ආදරයක් හොයන අයත් සියේට දහයක් වත් ඉන්න පුළුවන්. ආන්න ඒ නිසා මේ ඇප් එකක් හරහා මුණගැහෙන කෙනෙක් එක්ක මුණගැහෙන්න හරි, සෙක්ස් කරන්න හරි යන්න කලින්, තමන්ට අවශ්‍ය මොකද්ද කියන එක ගැන පැහැදිලිවම සන්නිවේදනය කරන්න. නැතිනම් ඇත්තටම අනෙක් පාර්ශවයේ හැඟීම් වලට රිදෙන්න පුළුවන් විතරක් නෙවෙයි, අනවශ්‍ය ප්‍රශ්නත් නිර්මාණය වෙන්න පුළුවන්.

 

5. බොරු එපා

මෙන්න මේ කාරණාව අති වැදගත්. ඒ වගේම මේ කාරණාවේ දෙපැත්තක් තියෙනවා.

 

මුලින්ම, ඩේටින් ඇප් එකක ප්‍රොෆයිල් එකක් හදනවා නම්, තමන්ට ඕන මොනවද කියන එක ගැන හරියටම හිතලා බලන්න. ඒක හිතලා බැලුවට පස්සේ බොරු කරන්න යන්න එපා. ඒ කියන්නේ බොරු ෆොටෝස්, බොරු තොරතුරු ඇතුළත් කරන්න එපා. ෆොටෝස් දාන්න ෂුවර් නැතිනම් නොදා ඉන්න. පස්සේ අඳුනගත්තට පස්සේ ෆොටෝස් යවන්න පුළුවන්. එතකොට ඔය හෙට සෙක්ස් කරමු වගේ චැට් කරලා, බලාපොරොත්තු දීලා මාරු වෙන්න එපා. තමන්ට ඕන ඔන්ලයින් ආතල් එකක් මිසක් ඇත්තට මුණගැහෙන්න නෙවෙයි නම් ඒකත් කෙලින්ම කියන්න. නැතිනම් ඒක අනික් කෙනාගේ කාලේ නාස්ති කිරීමක්.

 

අනික් පැත්තට, සෙක්ස් පාට්නර් කෙනෙක් හොයාගන්න ඩේටින් ඇප් එකක් පාවිච්චි කරනවා නම්, බොරුකාරයෝ අඳුනගන්න පොඩි හරි ඉවකුත් කෙනෙක්ට තියෙන්න ඕන. මොකද, නිකම් බලාපොරොත්තු ඇතුව බොරුකාරයෙක් එක්ක ඔහේ චැට් කර කර ඉඳලා මොකුත්ම නැතිවෙනවා කියන්නේ කාලේ නාස්තියක් නිසා.

 

6. ඩේටින් ඇප්ස් වලත් හොරු

නැහැයි කියලද හිතුවේ? දැන් කාලේ හැම තැනකම හොරු ඉන්නවා. ආන්න ඒ නිසා විශේෂයෙන්ම පරිස්සම් වෙන්න වෙනවා ඩේටින් ඇප් එකකින් කිසිදවසක දැකලා නැති, සම්පූර්ණයෙන්ම නොදන්න කෙනෙක් එක්ක කතා කරනකොට. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි ඩේටින් ඇප් එකක් මාර්ගයෙන් කෙනෙක් මුණගැහිලා කතාබස් කරනකොට, අති පෞද්ගලික තොරතුරු එහෙම දෙන්න ඕන නැහැනේ. ඒවා කවුරුහරි ඉල්ලනවා නම් අන්න එතන තියෙනවා හොරයක්. එතකොට ඔය ‘හෙට සෙක්ස් කරමු, අද පොඩි සල්ලි හදිසියක්, පන්දාහක් දාන්න පුළුවන්ද එකවුන්ට් එකට’ වගේ සීන් එහෙමත් සෙක්ස් කරන්න පාට්නර්ලා හොයාගෙන ඩේටින් ඇප්ස් වලට යන අයට මුහුණ දෙන්න සිද්ධ වෙන අලකලංචි. අහුවෙන්න එපා.

 

ඔය ඇරෙන්න ඉතින් සාපේක්ෂව අහිංසක රීලෝඩ් හොරු එහෙමත් ඉන්නවා. ඒ කියන්නේ ‘අනේ අයියේ අපිට වීඩියෝ චැට් එකක් කරන්න බැරිද? එහෙමනම් මට රීලෝඩ් එකක් දාන්නකෝ’ ටයිප් එකේ අහිංසක හොරු. ඒ අයට ඉතින් දැන දැනම වුනත් ඕන නම් අහුවුනා වගේ පෙන්නලා රීලෝඩ් එකක් දාලා දෙන්න පුළුවන්. ඒක තමන්ගේ කැමැත්ත.

 

7. හිතන්න ඕන පොඩි පොඩි දේවල්

ඇත්තටම මේ කියන්න යන්නේ මීට කලින් වෙන ආටිකල් වලත් අපි කියලා තියෙන සාමාන්‍ය දැනීම කරුණු කාරණා ගැන. දැන් ඇප් එකකින් අපි සෙක්ස් කරන්න අඳුනගන්නේ ආගන්තුකයෙක්නේ. ආන්න ඒ නිසා ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග වලින් වළකින්න, එතකොට ගැබ්ගැනීම් වළක්වා ගන්න ආරක්ෂිත ක්‍රමවේද පාවිච්චි කළ යුතුමයි. ඒ ඇරෙන්න ඉතින් මේ දවස් වල කොවිඩ්-19 වසංගතයත් ලෝකේ පුරාම තියෙන නිසා, ඒ ගැනත් ප්‍රවේසම් වෙන්න වෙනවා. මේ දේවල් කලින්ම කතාබහ කරලා ඉන්න එක වටිනවා.

 

ඒ ඇරෙන්න තමන් සෙක්ස් කරන්න යන්නේ නීතියට අනුව සෙක්ස් කරන්න පුළුවන් වයසක කෙනෙක් එක්කද කියන එක ගැනත් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. බාලාපරාධ කරලා හිරේ යන්න ඕන නෑනේ!

මේ දේවල් වලට අමතරව සෙක්ස් කරන්න යනකොට හිතන්න ඕන දහසකුත් එකක් පොඩි පොඩි දේවල් තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, කොහෙටද යන්නේ වගේ කාරණා. එව්වා අපි ආයෙ අයෙමත් කථා කරලා තියෙන නිසා ආයෙමත් කියන්න වුවමනා නැහැනේ.

 

හරි, දැන් ඇප් එකක් හරහා සෙක්ස් පාට්නර් කෙනෙක් හොයාගන්නකොට බලාපොරොත්තු වෙන්න ඕන හොඳ සහ ගැටළු ගැන අවබෝධයක් තියෙනවනේ. එහෙමනම්, ඒ හැමදෙයක් ගැනම අවධානයෙන්, බොහොම සිහියෙන් දෙන්නත් එක්ක මුණගැහිලා, සෙක්ස් කරලා, ජීවිතේ සුන්දරයි කියලා එන්න තමයි තියෙන්නේ!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *