මල්ටිටාස්කින් වලට වටපිටාව හදාගන්නේ මෙහෙමයි!

බහුකාර්ය හැකියාව, එහෙම නැතිනම් මල්ටිටාස්කින් හැකියාව වැඩිදියුණු කරගැනීම ගැන අපි මීට කලිනුත් නැවත නැවත කියලා තියෙනවානේ. විශේෂයෙන්ම මල්ටිටාස්කින් කියන එක අද කාලේ තරගකාරී රැකියාවන් සඳහා අත්‍යාවශ්‍ය කාරණාවක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ. මොකද, අද කාලේ වැඩ කරනකොට එක වැඩකට සම්පූර්ණ අවධානය යොමු කරලා, අනික් හැමදේම අමතක කරලා, ඒ වැඩේ කරලා ඉවර වුනාට පස්සේ අනික් වැඩ වලට යොමු වෙන එක ප්‍රමාණවත් වෙන්නෙ නෑ. අපිට හැම මොහොතකම එක වැඩක් කරන ගමන් තව දේවල් කීපයක් ගැන කල්පනාවෙන් ඉන්න වෙනවා. සමහර වෙලාවට එක වැඩක් කරන ගමන්, තව වැඩකටත් අත ගහන්න සිද්ධ වෙනවා. එතකොට ඔය වැඩ ඔක්කොම වරද්ද ගන්නේ නැතුව සම්පූර්ණ කරන්නත් සිද්ධ වෙනවා. ආන්න මල්ටිටාස්කින්!

 

හැබැයි ඉතින් දැන් ඔය මල්ටිටාස්කින්, එහෙම නැතිනම් වැඩ කීපයක් එක වර කරන්න තමන් පුහුණු වුනාට විතරක් හරියන්නෙ නෑ. තමන් වැඩ කරන වටපිටාවත් ඔය මල්ටිටාස්කින් වලට හරියන්න හදාගන්න වෙනවා. ඒ කියන්නේ එක්කෝ තමන්ගේ ඔෆිස් එක, ඔෆිස් එකේ කියුබිකල් එක වෙන්න පුළුවන්. එහෙම නැතිනම් තමන්ගේ හෝම් ඔෆිස් එක හරි, ගෙදර ඉඳන් තමන් වැඩ කරන තැන හරි වෙන්නත් පුළුවන්. ආන්න ඒ මල්ටිටාස්කින් වටපිටාව හදාගන්න එක ගැන තමයි අපි මේ කියන්න යන්නේ,

 

1. අවධානය වෙනතකට අරගෙන යන දේවල්

මල්ටිටාස්කින් වල ලොකුම හතුරෙක් තමයි අවධානය වෙනතක අරගෙන යන දේවල්. ඒ කියන්නේ සෝෂල් මීඩියා වල ඉඳලා නිදාගන්න හිතෙන එක, ගෙදර කවුරුහරි ඇවිත් ඩිස්ටර්බ් කරන එක දක්වා ඕනම දෙයක් වෙන්න පුළුවන්. ආන්න ඒ නිසා මුලින්ම ඔය ඇඳේ ඉඳගෙන ඔෆිස් වැඩ කරන එක, සාලේ මැද්දේ හැමෝම කතාබහ කරන තැනක ඉඳන් ඔෆිස් වැඩ කරන එක මග හරවා ගන්න ඕන. එතකොට ඔෆිස් කියුබිකල් එක වුනත් තව යාලුමිත්‍රයෝ ඇවිත් කයියට සෙට් වෙන තැනක් නොකර ගන්න එක තමයි හොඳ.

 

සාමාන්‍යයෙන් ඔෆිස් කාමරේ ටීවී එකක් එහෙමත් නැති තරමට හොඳයි. හැබැයි ඉතින් එතනින් එහාට සෝෂල් මීඩියා වලට එහෙම නම් ස්වයං පාලනය තමයි ඕන. ෆෝන් එක මේසේ උඩ හිටවලා තියන්න ස්ටෑන්ඩ් එකක් තියෙන එකත් වක්‍රාකාරයෙන් හොඳ දෙයක්. ඒකෙන් පහසුව එක්කම, නිතර ෆෝන් එක අතට ගන්න එකත් මගහැරෙනවා.

 

2. මිනිමලිස්ට්

මිනිමලිස්ම් කියන්නේ ලෝකේ කලා, මූර්ති වලින් පටන් අරගෙන ගෘහ නිර්මාණ ශිල්පය, අභ්‍යන්තර සැලසුම්කරණය වගේ ගොඩක් දේවල් වලට ආපු සංකල්පයක්. ඇත්තටම තමන් වැඩ කරන අවකාශයටත් මේ මිනිමලිස්ට් සංකල්පය ගේන එකේ ලොකු හොඳක් තියෙනවා. ඒ තමයි වැඩ කරන්න ආස හිතෙන අවකාශයක් හැදෙන එක. සරල උදාහරණයක් කිවුවොත්, පොත් පත්, සටහන්, පෑන් පැන්සල් පිරිලා තියෙන, ඉතුරු වෙලා තියෙන ඉඩ ඩිංගක කම්පියුටර් එක අටෝගෙන තියෙන මේසෙකට වඩා, පරිගණකයත්, ඒකට අවශ්‍ය උපාංගත්, අත්‍යාවශ්‍ය නෝට් පොතක් දෙකක් පමණක්, පෑන් පැන්සල් දාලා තියෙන පොඩි රැක් එකක් තියෙන, මේ දේවල් වලට අමතරව සෑහෙන්න හිස් ඉඩක් තියෙන මේසයක්, වැඩ කරන්න උනන්දුව ඇති කරවනවා. ආන්න ඒ නිසා මේසේ විතරක් නෙවෙයි, තමන්ගේ ඔෆිස් කාමරයම මිනිමලිස්ට් සංකල්ප අනුව නිර්මාණය කරගන්න එක හොඳයි. ඒ කියන්නේ හැකිතාක් අඩුවෙන් දේවල් තියෙන එක කියමු ලේසියට.

 

3. ශරීරයට සුවපහසු ඉරියව් සඳහා

මෙන්න මේකත් අත්‍යාවශ්‍ය කාරණාවක්. ඒ තමයි තමන් වැඩ කරන අවකාශය තමන්ගේ ශරීරයට උපරිම සුවපහසුව ගෙන එන ආකාරයෙන් නිර්මාණය කරගන්න එක. මේ සුවපහසුව කියලා කියන්නේ, ශරීරයට අපහසුවක් නැතුව, උපරිම කාර්යක්ෂමතාවයකින් වැඩ කරන්න පුළුවන් විදියේ ඉරියව් පවත්වා ගන්න උදවු කරන දේවල්. උදාහරණයක් විදියට ගත්තොත්, ඔෆිස් පුටුවේ වාඩි වෙලා ටික වෙලාවක් ඉන්නකොට ශරීරයට අපහසු නම් ඒක ප්‍රශ්නයක්. අන්න ඒ නිසා ශරීරයේ නියම වාඩිවෙන හැඩය තියාගන්න පුළුවන්, කොඳු ඇට පේළියට හෝ සිරුරේ වෙනත් කිසිම තැනකට අනවශ්‍ය පීඩනයක් එල්ල වෙන්නේ නැති, අත් දෙක පහසුවෙන් තියාගන්න පුළුවන් පුටුවක් භාවිතා කිරීම වැදගත්. එතකොට වැඩකරන මේසය නියම උසකින් තිබීම, කම්පියුටර් එකේ ස්ක්‍රීන් එක හරි උසකින් තිබීම වගේ දේවල් වැදගත් වෙන්නේත් අන්න ඒ නිසාමයි.

 

4. ඩූ නොට් ඩිස්ටර්බ්!

මෙන්න මේක සමහර දේවල් සම්බන්ධයෙන් ලේසියෙන් කරන්න පුළුවන්. හැබැයි සමහර දේවල් වලදී බොහොම උපක්‍රමශීලීව තමයි කරන්න වෙන්නේ. අපි මුලිනුත් කිව්වනේ අවධානය වෙනතක අරගෙන යන්න පුලුවන් දේවල් පුළුවන් තරම් කපා හරින්න ඕන කියලා, මල්ටිටාස්කින් කරනකොට. දැන් ඕක මිනිස්සුත් එක්ක කරන්න අමාරු තැන් තියෙනවා. උදාහරණයක් විදියට ඔෆිස් එකේ යාලුවෝ නිතරම ඇවිල්ලා චැට් එකක් දාන්න බලනවා නම්, ඒක බොහොම උපක්‍රමශීලීව තමයි නවත්තන්න වෙන්නේ. ගෙදරදී වුනත් ගෙදර මිනිස්සු හැම වෙලේම ඔෆිස් කාමරේට එබිලා අරක මේක අහනවා නම්, බොහොම උපක්‍රමශීලීව ඒක නවත්තන්න ඕන. ඒකට ගන්න පුළුවන් එක ක්‍රියාමාර්ගයක් තමයි “බිසී”, “නොට් බිසී” කියලා ලියපු කාඩ් එකක් කාමරේ දොරේ ගහන එක. එතකොට ගෙදර අයට කියන්න පුළුවන්, බිසී කියලා ගහලා තියෙනකොට ඩිස්ටර්බ් කරන්න එපා කියලා.

 

ඒ ඇරෙන්න මල්ටිටාස්කින් කරනකොට ඔය දහසකුත් එකක් ඇප්ස් වලින් එහෙම නෝටිෆිකේෂන් ෆෝන් එකට, කම්පියුටර් එකට එහෙම එනවා. අන්න ඒ නිසා එහෙම එන හැම එකක්ම මියුට් කරලා තියන්න. දැන් ෆෝන් වල නම් ඩූ නොට් ඩිස්ටර්බ් කියලාම ෆීචර් එකක් තියෙනවනේ. අන්න ඒක ඇක්ටිවේට් කරලා තිබ්බහම හරි.

 

5. ගැජට්ස්!

සමහරු ඉන්නවා වැඩ කරනකොට සෑහෙන්න ඕල්ඩ් ස්කූල් විදියට තමයි අවකාශය පවත්වා ගන්නේ. හැබැයි දැන් අපි ඉන්න තාක්ෂණික ලෝකෙත් එක්ක වැඩ කරනකොට, පොඩ්ඩක් තාක්ෂණයත් මල්ටිටාස්කින් වලට ගාවගන්න වෙනවා. උදාහරණයක් විදියට කිවුවොත්, මල්ටිටාස්කින් කරන මනුස්සයෙක්ට තමන්ගේ වර්කින් ස්පේස් එකේ මොනිටර් දෙකක් තියෙන එක ඉතාම ප්‍රයෝජනවත්. එතකොට බ්ලූටූත් හෙඩ්සෙට් එකක් එහෙම පාවිච්චි කරන එකෙන්, එන කෝල්ස් වලට ආන්සර් කරන එක ලේසි කරගන්න පුළුවන්. ආන්න ඒ විදියට මල්ටිටාස්කින් වලට උදවු වෙන ගැජට්ස් බැජට්ස් වලට ආයෝජනය කරන එක පාඩුවක් නෙවෙයි.

 

6. වැඩ කරන්න පහසුව ඇති කරවන දේවල්

සමහරු ඉන්නවා, ඒ අයට හොඳින්ම වැඩ කරන්න පුළුවන් වෙන්නේ මොනවා හරි සිංදුවක් අහනකොට. තවත් සමහර අයට සම්පූර්ණ නිශ්ශබ්දතාවය ඕන. තවත් අයට ඔය වැස්සේ සද්දේ, හුළගේ සද්දේ වගේ එකක් එක්ක හොඳටම වැඩ කරන්න පුළුවන්. ආන්න ඒ නිසා තමන් වැඩ කරන අවකාශය ඇතුළේ වැඩ කරන්න පහසු වෙන දේවල් තියාගන්න එක හොඳයි. මියුසික් ඕන නම් අර බැක්ග්‍රවුන්ඩ් එක ෆිල් වෙන විදියේ පොඩි සවුන්ඩ් සිස්ටම් එකක්.

 

ඒ ඇරෙන්න කොළ පාට ගස් තියෙන පෝච්චියක් එහෙමත් වැඩ කරන තැනක තිබුණට කමක් නෑ. එක දිගට වැඩ කරලා මහන්සි වෙනකොට ඒ කොළපාට දිහා බලනකොට ඇස් වලට හොඳයි කියලා ඔය ඉස්සර සීයලා ආච්චිලා එහෙම කියනවනේ.

 

ඒ ඇරෙන්න අනිවාර්යයෙන්ම වතුර බෝතලයක් හරි වතුර ඩිකැන්ටරයක් හරි එහෙමත් අහල පහලින් තියාගන්න එක පහසුවක්. සැරෙන් සැරේ නැගිටින්න වෙන්නෙ නෑ එතකොට.

 

7. හරිම තැන තෝරගන්න

මෙන්න මේ හරිම තැන කියන එක ඉතාම වැදගත් කාර්යක්ෂමව, බහුකාර්යව වැඩ කරන්න. අපි ඔෆිස් එක ගත්තොත්, අපිට ලැබෙන ඔෆිස් එක හරි කියුබිකල් එක හරි සම්බන්ධයෙන් වාද කරන්න පුළුවන් ඉඩ අඩුයි. හැබැයි අනවශ්‍ය කරදර තියෙනවා නම්, ඒවා වෙනස් කරගන්න උත්සාහ කරන්න වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, ඒසී එක දරන්න අමාරු කෙනෙක්ට කෙලින්ම ඒසී එක වදින තැනම කියුබිකල් එක ලැබුණොත්, පරිපාලනයට කියලා ඒක මාරු කරගන්න එක තමයි හොඳ. මොකද, ඒකෙන් කාර්යක්ෂමතාවය අඩු වෙනවා. මල්ටිටාස්කින් වගේ දේකට අවශ්‍ය අවධානය තියාගන්න බැරි වෙනවා.

 

ගෙදර ඉඳන් වැඩ කරනකොට මේ හරිම තැන තෝරාගැනීම විශේෂයි. මොකද, මල්ටිටාස්කින් වලදී අත්‍යාවශ්‍යම දේ තමයි අවධානය. ඉතින් ගෙදර හැමෝම විටින් විට ඇවිත් කතා කරනවා නම්, අපි වැඩ කරන තැන හරහා එහා මෙහා යනවා නම් මේ අවධානය ලේසියෙන් බිඳ වැටෙනවා. අන්න ඒ නිසා එහෙම කරදර නැති තැනක් තමයි තෝරගන්න ඕන.

 

අනික් අතට, අපේ ඔෆිස් කාමරේ තියෙන්නේ නිතර වාහන යන එන පාරක් අයිනේ වගේ නම්, කාමරය සවුන්ඩ් පෘෆ් කරන්න හිතන එක හොඳයි. අන්න ඒ වගේ විසඳුම් හොයාගන්න වෙනවා, අපේ බහුකාර්ය හැකියාවට එල්ල වෙන බාධාවන් ජයගන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *