තමන්ගේ රසිකයින් අතින් මිය පරළොව ගිය ජනප්‍රිය තරු

ලෝකේ පුරා අතිශය ජනප්‍රියත්වයට පත්වෙන නළු නිළියන්, ගායක ගායිකාවන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් ව​ගේ තරු තම තමන්ගේ රසික රසිකාවියන් අතරේ ආදරයට, ගෞරවයට, වන්දනාවට පවා ලක්වෙනවා. නමුත් ආදරය සහ වෛරය අතර තියෙන්නේ කෙස් ගසක විතර වෙනසක් කියලා කතාවට කියන්නාක් වගේ සමහරුන්ගේ ආදරය කෙළවර වෙන්නේ වෛරයකින්. ඒ තත්ත්වයට මුහුණ දීලා තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවන්නට වුණු අවාසනාවන්ත තරු 7ක් ගැනයි අපි අද කියන්නේ…

 

1. ජෝන් ලෙනන් (John Lennon)

බීට්ල්ස් සංගීත කණ්ඩායම හරහා ඉමහත් ජනප්‍රියත්වයට පත් වුණු ජෝන් ලෙනන් ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕන නැහැ කියලා අපි හිතනවා. ජෝන් ලෙනන් කියන්නේ ගායකයෙක්, ගීත රචකයෙක් ව​ගේම ලෝක සාමය වෙනුවෙන් ක්‍රියාකාරී වුණු පුද්ගලයෙක්. 1980 දෙසැම්බර් 8 වැනිදා ජෝන් ලෙනන් තමන්ගේ රසිකයෙක් වුණු මාර්ක් චැප්මන්ගේ වෙඩි පහර 4කට ගොදුරු වෙලා මිය යනවා. මිනීමැරුම සිදුවූ දා සවස් භාගයේදී නිවසින් පිටතට යන ජෝන් ලෙනන්ගෙන් සමරු සටහනක් ගන්නටත් චැප්මන් සමත් වෙනවා. ඒත් රෑ බෝ වෙලා ආපහු නිවස කරා එන ලෙනන් හට චැප්මන් නොසිතු විදිහට වෙඩි තියල මරල දානවා. ඉන් පස්සේ කිසි කළබලයක් නැතිව තමන් අරන් ආපු නවකතාවක් කියවන්න ඔහු පටන් ගන්නවා. පොලීසිය විසින් අත්අඩංගුවට ගන්න චැප්මන් අද වෙනතුරුත් සිරගතවයි දිවි ගෙවන්නේ.

 

2. සෙලීනා (Selena)

80, 90 දශකවල අතිශය ජනප්‍රියව සිටි මෙක්සිකානු ගායිකාවක් තමයි සෙලීනා ක්වින්ටනිලා කියන්නේ. සෙලීනාට පිස්සු වැටිලා හිටපු රසිකාවියක් තමයි යොලන්ඩා සල්ඩිවාර් කියන්නේ. යොලන්ඩාගේ නිදන කාමරය හැඩ වෙලා තිබුණේ සෙලීනාගේ පින්තූර වලින්. සෙලීනා කෙරේ තිබ්බ මේ ආකර්ෂණය නිසාම යොලන්ඩා ඇගේ අවසරයක් ඇතිව සෙලීනා ෆෑන් ක්ලබ් එකක් හදාගන්නවා. මේ හරහා සෙලීනා එක්ක සමීප සම්බන්ධතාවයකුත් යොලන්ඩා ගොඩනගා ගන්නවා. සෙලීනාගේ ව්‍යාපාර කටයුතුවලටත් යොලන්ඩාව සම්බන්ධ කර ගන්නවා. නමුත් කාලයක් යද්දී යොලන්ඩා විසින් සිදු කරපු යම් යම් මුදල් අක්‍රමිකතා ගැන සෙලීනාට ආරංචි වෙනවා. ඒ හරහා මේ දෙන්නා අතර බිඳීමක් ඇති වෙනවා. ඒ බිඳීම අවසන් වෙන්නේ යොලන්ඩා විසින් සෙලීනාව වෙඩි තබා මරා දැමීමෙන්.

 

3. ක්‍රිස්ටිනා ග්‍රිමී (Christina Grimmie)

YouTube ගායිකාවක් හැටියට ජනප්‍රියත්වයට පත් වූ ක්‍රිස්ටිනා ග්‍රිමී පසුව සුප්‍රකට Vocie නම් රියැලිටි තරඟයට සහභාගී වෙලා 3 වැනි ස්ථානයත් දිනා ගන්නවා. ගායිකාවක් හැටියට වගේම නිළියක් හැටියටත් ඇය ජනප්‍රියත්වයක් ලබනවා. නමුත් අවාසනාවන්ත විදිහට අවුරුදු 22ක් තරම් තරුණ අවධියේදීම වෙඩි පහරවලට ලක්ව මෙලොව හැරයන්න ඇයට සිදු වෙනවා. ඇමරිකාවේ ඕර්ලන්ඩෝ හී ප්ලාසා ලයිව් රඟහලේ පැවති සන්දර්ශනයක් අතරතුර රසිකයින්ගේ සමරුපත් අත්සන් කරද්දී කෙවින් ජේම්ස් නැමති තැනැත්තෙක් ඇයට වෙඩි තබනවා. එහිදී ක්‍රිස්ටිනාගේ සොහොයුරෙක් වහා කෙවින් ජේම්ස්​ව ග්‍රහණයට ගත්තත්, කෙවින් තමන්ටම වෙඩි තබාගෙන සියදිවි නසා ගන්නවා. කෙවින් ජේම්ස්, ක්‍රිස්ටිනා ග්‍රිමීට දැඩිව ආකර්ෂණය වී සිටි රසිකයෙක් බවටයි පසුව කරුණු සැලවුණේ.

 

4. අන්ද්‍රේස් එස්කොබාර් (Andres Escobar)

කොළොම්බියාවේ ජනප්‍රියම එස්කොබාර් වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන පැබ්ලෝ එස්කොබාර් නැමැත්තායි. පැබ්ලෝ එස්කොබාර්ව මරා දමා වසරක් යන්නට පෙර සිදුවූ අන්ද්‍රේස් එස්කොබාර්ගේ ඝාතනයත් පැබ්ලෝගේ මරණය හා සමානවම කො​ලොම්බියාවෙත්, මුළු ලෝකයෙත් අවධානයට ලක්වුණා. 1994 ලෝක කුසලාන පාපන්දු තරඟයකදී සිදු වූ අත්වැරැද්දක් නිසායි අන්ද්‍රේස් එස්කොබාර්ට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිද්ධ වන්නේ. ඇමරිකා එක්සත් ජනපදය සමග පැවති තරඟයකදී එස්කොබාර් අතින් වැරදීමකින් තමන්ගේ පිලට එරෙහිව ​​ගෝලයක් වාර්තා වෙනවා (Own Goal) මේ හේතුවෙන් තරඟය පරාජය වී පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත් වන්නට කොළොම්බියානු කණ්ඩායමට සිදු වනවා. අන්ද්‍රේස් එස්කොබාර් මේ සම්බන්ධයෙන් කොළොම්බියාවේ තම ජනතාවගෙන් සමාව ඉල්ලනවා. කොහොම වෙතත් ඊට ඉතාම කෙටි කලකට පස්සේ අවන්හලක් අසලදී අන්ද්‍රේස් එස්කොබාර්ව වෙඩි තබා ඝාතනය කෙරෙනවා. මාෆියා කල්ලියකට අයත් පාපන්දු රසිකයින් පිරිසක් තමයි ඔහුගේ ඝාතනය සිදු කරන්නේ. ඔවුන් විසින් ඔට්ටු ඇල්ලූ විශාල මුදලක් එස්කොබාර්ගේ අත්වැරැද්ද නිසා අහිමිවීම මෙසේ ඔහුව ඝාතනය කිරීමට හේතු වූ බවටයි වැඩි දෙනෙක් විශ්වාස කරන්නේ.

 

5. රෙබෙකා ෂේෆර් (Rebecca Schaeffer)

ක්‍රිස්ටීනා ග්‍රිමීට වගේම රෙබෙකා ෂේෆර්ටත් උරුම වන්නේ අකල් මරණයක්. රෙබෙකා මිය යන්නේ 21 වියැතිව සිටියදීයි. ඇය මෝස්තර නිරූපිකාවක් හැටියට වෘත්තීය ජීවිතය ආරම්භ කරලා ඉන් පස්සේ ටෙලි නාට්‍ය නිළියක් හැටියට ජනප්‍රියත්වයක් ළඟා කර ගනිමින් හිටපු කාලයකයි අවාසනාවන්ත විදිහට මිය යන්නේ. රොබට් ජෝන් බාර්ඩෝ නැමැති ඇගේ ඝාතකයා අවුරුදු 3ක් තිස්සේ ඇය පසුපසින් එනවා. ලියුම් ලියනවා. ඉන් එක ලියුමකට රෙබෙකාගේ පාර්ශවයෙන් පිළිතුරුත් ලැබෙනවා. කොහොම නමුත් රොබට් ජෝන් බාර්ඩෝ කිහිප වතාවක්ම රෙබෙකාව හමුවන්නට දරණ උත්සාහයට ඇගේ ආරක්ෂකයින් නිසා වැළකෙනවා. මේ අතරතු​ර රෙබෙකා ඇ​ගේ එක චිත්‍රපටයක තවත් නළුවෙක් සමගින් සරාගීත්වය මුසු දර්ශනයක් රඟදක්වනවා. එයින් රොබර්ට් බාර්ඩෝ කුපිත වෙනවා. සියල්ල නිමා වෙන්නේ රොබ්ර්ට් බාර්ඩෝ රෙබෙකාව සොයා ​ගොස් ඇයට වෙඩි තබා මරා දැමීමෙනුයි. මිනී මැරුම සිදු කළ රොබර්ට් බාර්ඩෝත් එව​ක අවුරුදු 19ක් තරම් ලාබාල වයසක පසුවූ තරුණයෙක් වුණා.

 

6. ඩයිම්බෑග් ඩැරල් (Dimebag Darrell)

Dimebag Darre​ll නමින් ප්‍රසිද්ධියට පත්වී සිටි ඩැරල් ලෑන්ස් ඇබොට් මීට දශක දෙකකට විතර පෙර හිටපු දක්ෂ හෙවි මෙටල් ගිටාර් වාදකයෙක් වුණා. පැන්ටේරා සහ ඩැමේජ්ප්ලෑන් නම් සංගීත කණ්ඩායම් දෙකේ ගිටාර් වාදකයෙක් හැටියට ප්‍රසිද්ධව හිටපු ඩයිම්බෑග් ඩැරල් 2004 වර්ෂයේදී ඝාතනය වනවා. ​ජෝන් ලෙනන්ව මරා දැමූ දෙසැම්බර් 8 වැනිදාවක තමයි ඩැරල්වත් ඝාතනය වන්නේ. සංගීත සන්දර්ශනයක ගි​ටාර් වාදනය කරමින් සිටියදී එතැනට පැමිණෙන නේදන් ගේල් නම් ඔහුගේ රසිකයෙක් විසින් තමයි ඩයිම්බෑග් ඩැරල්ට වෙඩි තබා ඝාතනය කරන්නේ. යම්කිසි මානසික දුර්වලතාවයකින්ද පෙළුණු මේ තැනැත්තා, ඩයිම්බෑග් ඩැරල්ගේ සංගීත කණ්ඩායම විසින් තමන්ගේ ගීත රචනාවන් සොරකම් කළ බවටත් චෝදනාවක් නගා තිබෙනවා. 

 

7. ඇල්බර්ට් එබොස්සේ (Albert Ebossé)

කැමරූන් ජාතික පාපන්දු ක්‍රීඩකයෙක් වුණු ඇල්බර්ට් එබොස්සේගේ මරණය එක්තරා විදිහට අභිහරස් කැටිවුණු එකක් වුණා. ඇල්ජීරියානු අන්තර් සමාජ පාපන්දු තරඟයකට සහභාගී වන එබොස්සේගේ කණ්ඩායම එම තරඟයෙන් පරාජය වනවා. පරාජයෙන් අනතුරුව පිටියෙන් ඉවතට යන අතරවාරයේදී පාපන්දු රසිකයෙක් විසින් විසිකරන ලද යමක් එබොස්සේගේ හිසේ වැදීමෙන් ඔහුව රෝහල්ගත කරනවා. බරපතල ලෙස මොළයට හානි වී තිබීම නිසා එබොස්සේ පසුව මිය යනවා. කොහොම වෙතත් පසු කාලයකදී කරන ලද පරීක්ෂණ හරහා නිගමනය කරන්නේ එබොස්සේගේ මරණයට හේතුව වන්නේ ඈත සිට විසි කරන ලද යමක් වැදීමෙන් නොව ළඟ සිට කරන ලද පහරදීමක් හේතුවෙන් බවයි.