Fixed Deposit එකක් දාන්න කලින් මේ දේවල් කියවලාම ඉන්න

Fixed Deposit කිවුවම ලංකාවෙ ඕන කෙනෙක් දන්නා කියන කාරණාවක් කියලා අපිට බය නැතුව කියන්න පුළුවන්. ඒ තරම්ම බැංකුව කියන වචනෙත් එක්ක ගත්තම Fixded Deposit කියන වචනෙත් ගොඩක් දෙනෙක්ට අමුතු වචනයක් නෙමෙයි. මේ කොච්චර දන්නවා උනත් Fixed Deposit එකක් කියන දේ සම්බන්ධයෙන් තවමත් අපි නොදන්න සහ අඩුවෙන් දන්න කාරණා බොහොමයක් තියෙනවා. ඕන කෙනෙක් සල්ලි කීයක් හරි එකතු කර ගත්ත ගමන් පුළුවන් තරම් උත්සාහ කරනවා Fixed Deposit එකක ඒ සල්ලි තැන්පත් කරලා ඉතුරුම් ගිණුමකට වඩා වැඩි පොලියක් ගන්න. ඒ හින්දා ඉස්සරහට  Fixed Deposit දාන්න ඉන්න අයටත් දැනට දාල තියෙන අයටත් මේ කාරණා දැනගෙනම ඉස්සරහට ගනුදෙනු කළොත් හොඳයි කියල හිතෙන කාරණා හතක් අපි අද සාකච්ඡා කරන්නයි යන්නේ.

 

 

1. මොකක්ද Fixed Deposit එකක් කියන්නේ

 

Fixed Deposit එකක් එහෙම නැත්නම් ස්ථාවර තැන්පතුවක් කියන්නේ මොකක්ද කියලා හඳුන ගන්න කලින් අපි බලමු බැංකුවක හෝ මූල්‍යායතනයක සාමාන්‍යයෙන් තියෙන ඉතිරි කිරීමේ ක්‍රම මොනවාද කියලා. පළවෙනි එක තමයි සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුම්. ඊට පස්සේ තියෙනවා කෝල් ඩිපොසිට් (Call Deposit). ඊට පස්සේ තියෙනවා ස්ථාවර තැන්පතු. ඉතිරි කිරීමේ ගිණුමක සහ ස්ථාවර තැන්පතුවක තියෙන මූලිකම වෙනස තමයි ඉතිරි කිරීමේ ගිණුමක වරින්වර මුදල් තැන්පත් කිරීම් කරන්න හැකිවීමත් ස්ථාවර තැන්පතුවක එක මූලික තැන්පතුවක් පමණක් යෙදවීම. ඒ වගේම Call deposit එකක සහ ස්ථාවර තැන්පතුවක තියෙන මූලිකම වෙනස තමයි කෝල් ඩිපොසිට් එකක් සාමාන්‍යයෙන් කෙටිකාලීන වීමත් ස්ථාවර තැන්පත් සාපේක්ෂව දිගුකාලීන වීමත්. 

මේ වෙනස්කම් ටික සලකා බලද්දි අපිට තේරුම් ගන්න පුළුවන් ස්ථාවර තැන්පතුවක් කියන්නේ එක මූලික තැන්පතුවක් පමණක් කළ හැකි, සාපේක්ෂව දිගු කාලීනව ක්‍රියාත්මක වෙන, සාපේක්ෂව වැඩි පොලියක් ලැබෙන ඉතිරිකිරීමේ මාධ්‍යයක් කියලා.

 

 

2. ස්ථාවර තැන්පතු පොලිය

 

ස්ථාවර තැන්පතුවක් අවම වශයෙන් මාසෙක කාලසීමාවක් සඳහා පවත්වාගෙන යන්න ඕන වගේම උපරිම වශයෙන් අවුරුදු පහක් වගේ දීර්ඝ කාලයක් පවත්වාගෙන යන්න පුළුවන්. ඒ ඒ කාල සීමාවන්ට ලැබෙන පොලිය වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අඩුම පොලියක් හම්බෙන්නෙ මාසයක කාලයක් සඳහා වන තැන්පතු වලට. සාපේක්ෂව කාල සීමාව වැඩි වෙනවත් එක්කම පොලී අනුපාතයත් වැඩි වෙනවා. හැබැයි එහෙම වුණාට ස්ථාවර තැන්පතුවක පොලිය ගණනය කරද්දි අපිට තියෙනවා සලකා බලන්න වාර්ෂික සඵල පොලී අනුපාතය කියලා කාරණාවක්. ඒ කියන්නේ අවුරුද්දකට අඩු ස්ථාවර තැන්පතු සහ අවුරුද්දකට වැඩි ස්ථාවර තැන්පතු සඳහා ඇත්තටම පොළිය කීයක්ද ලැබෙන්නේ කියන කාරණාව හොයන එක. උදාහරණයක් විදියට කිව්වොත් මාස හයකට ස්ථාවර තැන්පතුවක් දම්මොතින් සඵල පොලිය හැදෙන්නේ මෙහෙමයි. 

මුල් මුදල = 10000

වාර්ෂික පොළී අනුපාතය = 5%

කල සිමාව = මාස 6

ගණනය කිරීම  – (10000×5%)/2 = 250 මේ තමයි මාස හයකට පස්සේ ලැබෙන පොලිය. දෙකෙන් බෙදුවේ අවුරුද්දට මාස හයේ ඒවා දෙකයි නිසා.

= (10250×5%)/2 =  256.25  මේ දෙවෙනි මාස හයට ලැබෙන පොළිය. 

වාර්ෂික සඵල පොළී අනුපාතය = මුළු වාර්ෂික පොලිය – 506.25

මූලික මුදල – 10000 

එහෙනම් සඵල පොළී අනුපාතය = 506.25/10000×100 = 5.06% 

පේනවා නේද වාර්ෂික පොලිය සහ වාර්ෂික සඵල පොලිය අතර වෙනසක් තියෙනවා කියල. 

 

 

3. ස්ථාවර තැන්පතුවක් දාන්න පුළුවන් තැන්

 

ශ්‍රී ලංකා මහා බැංකුව අවසර දීල තියෙනවා බැංකු වලට වගේම වෙනත් මුල්‍යායතන වලටත් ස්ථාවර තැන්පත් බාරගන්න. බැංකු කිව්වම වාණිජ බැංකු, ඉතිරි කිරීමේ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු කියන වර්ග තුනටම මේ අවසරය තියෙනවා. මුල්‍යායතන බොහොමයකටත් මේ අවසරය තියෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා මහා බැංකුවේ වෙබ් අඩවිය හරහා හරි දුරකථන ඇමතුමක් දීල හරි අදාළ ආයතන වල වලංගුභාවය පරික්ෂා කරගන්න පුළුවන් ගනුදෙනු කරන්න කලින්. 

 

 

4. සළකා බලන්න ඕන කාරණා

 

අපි කවුරුත් සල්ලි වැඩි කමට ස්ථාවර තැන්පතු වලට මුදල් යොදවන්නේ නෑ. සමහර අය අවුරුදු ගාණක් මහන්සි වෙලා හම්බ කරගත්තු අර්ථසාධක අරමුදල් සල්ලි ටික මේ විදිහට තැන්පත් කරනවා. සමහරු රැකියාවෙන් බොහොම අමාරුවෙන් එකතු කරගත්තු මුදල් මේ විදිහට තැන්පත් කරනවා. කොහොම උනත් මේ සල්ලි නැති වෙන දෙයක් කරන්න කවුරුත් කැමති නෑ. ඒ නිසා ස්ථාවර තැන්පතුවක් හරි මොනාහරි තැන්පතුවක් කරනවානම් සළකා බලන්න ඕන විශේෂිතම කාරණාව තමයි අවදානම සහ ප්‍රතිලාභය. පහුගිය අවුරුදු දහය ගත්තොත් අපිට ගොඩක් අහන්න ලැබුනා මුල්‍ය ආයතන කඩාවැටීම් ගැන සහ ඒ ආයතන වල මුදල් යොදවපු අය ඒ මුදල් අහිමි වීම නිසා පත්වෙලා ඉන්න අසරණ තත්වය ගැන. ඒ නිසා අවදානම පොඩ්ඩක් හරි තියෙනවා කියල දැනෙනවානම් ඒ ආයතන වලින් ඈත් වෙලා ඉන්න. එහෙම දැනගන්න පුළුවන් හොඳම කාරණාව තමයි ඉතා අධික පොලියක් දෙනවා කියන එක. ඒ වගේ දේවල් වලින් අත් වෙන්න. මහා බැංකුවේ ලියාපදිංචි වෙලා තියෙන හොඳ කීර්තිනාමයක් තියෙන සහ හොඳ මුල්‍ය ස්ථාවරයක් තියෙන ආයතන වල විතරක් මුදල් තැන්පත් කරන්න.

 

 

5. විශේෂ වරප්‍රසාද

 

විශේෂ වරප්‍රසාද කියල කිව්වේ තැන්පතුව දැම්මම කුඩයක් හරි පිඟන් කට්ටලයක් හරි දෙන එක ගැන නෙමෙයි. මේ කාලේ නම් අපිට ගොඩක් තැන් වලින් ස්ථාවර තැන්පතුව ඇපයට තියල ණයක් ගන්න පුළුවන් පහසුමකම තියෙනවා. මුදලත් ඉතුරු කරගෙන වැඩෙත් කරගන්න පුළුවන් ඒ වගේ දෙයක් තියෙනවනම්. ඒ වගේම සමහර ආයතන යම් යම් අයට වැඩි පොලියක් දෙනවා. උදාහරණයක් විදිහට අවුරුදු 60ට වැඩි අයට සාමාන්‍ය පොලියට වඩා යම් ප්‍රමාණයක් ලබාදෙනවා. ඉතින් ඒ වගේ පහසුකම් ගැනත් අවධානය යොමු කරන්න. ඊට අමතරව බැංකුවට නොයා ඔන්ලයින් ස්ථාවර තැන්පතු දාන්න පුළුවන් ආයතනත් තියෙනවා. ඒවත් විශේෂ වරප්‍රසාද තමයි.

 

 

6. අවශ්‍ය ලියකියවිලි

 

ලියකියවිලි නම් මහා ගොඩක් අවශ්‍ය වෙන්නේ නෑ. ජාතික හැඳුනුම්පත් විතරයි අවශ්‍ය වෙන්නේ. ඊට අමතරව අයදුම් පත්‍රයක් (Mandate) එකක් පුරවන්න අවශ්‍ය වෙනවා වගේම KYC Form කියල එකකුත් සමහර විට පුරවන්න වෙයි. 

 

 

7. ස්ථාවර තැන්පතු සහතිකය

 

ස්ථාවර තැන්පතුවක සැරින් සැරේ මුදල් දාන්න බැහැ කියල මුලින්ම කිව්වනෙ. අන්න ඒ නිසා මේකෙදි පාස් පොතක් නිකුත් කරනේ නෑ අදාළ ආයතනය. ඒ වෙනුවට තැන්පතු සහතිකයක් තමයි ලැබෙන්නේ. ඒ නිසා කල්පිරෙන දවසට මුදල් ගන්න වෙන්නේ මේ සහතිකය ඉදිරිපත් කරලා තමයි. ඒ නිසා පණවගේ නැතත් උප්පැන්න සහතිකේ වගේ පරෙස්සම් කරගන්න තැන්පතු සහතිකේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *