බොලිවුඩ් නිළියන්ව සරණ පාවාගත් ක්‍රිකට් තරු

ක්‍රිකට් සහ සිනමාව කියන්නේ ඉන්දියාවේ අතිශයින්ම ජනප්‍රිය ක්ෂේත්‍ර දෙකක්. ඉන්දියානු ජනතාව මේ ක්ෂේත්‍ර දෙකේම කැපී පෙනෙන චරිත වන්දනාමාන කරන්න වුණත් පසුබට වෙන්නේ නැහැ. ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයන් අතරත් ඉන්දියාවේ බොලිවුඩ් සිනමා නළුවන් පරදවන පෙනුම තියන ක්‍රීඩකයන්ගේ අඩුවක් නැහැ. සුරූපී නිළියන් දිහාවට ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඇස යොමු වෙනවා වගේම සාර්ථක, කඩවසම් ක්‍රිකට් ක්‍රීඩකයන් දිහාවට බොලිවුඩ් සුරූපිණියන්ගේත් අවධානය යොමු වෙනවා. 

ඉතින් අපි හිතුවා ඒ විදිහට බොලිවුඩයත් ක්‍රිකටුත් යා කරමින් සිද්ධ වෙච්ච නිළියන් සහ ක්‍රීඩකයන් අතර විවාහ කීපයක් ගැන කියන්න.

 

1. විරාත් කෝලි සහ අනුෂ්කා ෂර්මා

ක්‍රිකට් සහ සිනමා ලෝකයේ ජනප්‍රියම හාදකම වෙච්ච විරාත් කෝලි සහ අනුෂ්කා ෂර්මාගේ විවාහය සිද්ධ වෙන්නේ 2017 අවුරුද්දේ දෙසැම්බරයේදියි. 2013 අවුරුද්දේ වෙළඳ දැන්වීමක් රූගත කරන අතරතුරේදී තමයි විරාත් සහ අනුෂ්කා මුලින්ම හමුවෙලා සමීප වෙන්නේ. ඒ වෙද්දී විරාත් කෝලි ඉන්දීය කණ්ඩායමේ හිටපු දක්ෂම පිතිකරුවා විතරක් නෙමෙයි, බහුතර ඉන්දීය තරුණියන්ගේ සිහින කුමාරයා වෙලයි හිටියේ. අනුෂ්කා ෂර්මාත් බොලිවුඩයේ ඉහළින්ම කැපී පෙනුණු නිළියක් වුණා. පොඩි පොඩි හැලහැප්පීම් නිසා මේ දෙන්නා කෙටි කාලයකදී ප්‍රේම සම්බන්ධය නවත්වලා හිටියත්, ආයෙත් හාදකම ඇතිවෙලා එක වහලක් යටට වෙනවා. 2017 ඉතාලියේදී තමයි මේ දෙන්නාගේ සුන්දර විවාහ මංගලෝත්සවය පැවැත්වෙන්​නේ. කවුරුත් අද වෙද්දි විරුෂ්කා නමින් තමයි මේ ජෝඩුවව හඳුන්වන්නෙ. 

 

2. මන්සූර් අලි ඛාන් පතවුදි සහ ෂර්මිලා තාගෝර්

බොලිවුඩ් නිළියක් එක්ක විවාහ වුණු පළමු ඉන්දීය ක්‍රිකට් නායකයා වෙන්නෙ විරාත් කෝලි නම් නෙමෙයි. ඒ වාර්තාවට හිමිකම් කියන්නේ හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මන්සූර් අලි ඛාන් පතවුදි, එහෙමත් නැත්නම් ටයිගර් පතවුදි. ඔහු විවාහ වෙන්නේ ඒ වෙද්දි බොලිවුඩයේ හිටපු සුරූපිණියක් වුණු ෂර්මිලා තාගෝර්ව. ඉස්ලාම් භක්තිකයෙක් වුණු පතවුදි සහ හින්දු භක්තික ෂර්මිලාගේ සම්බන්ධය විරාත් – අනුෂ්කාගේ විරුෂ්කා සම්බන්ධතාවය වගේම ඒ කා​ලේ ඉන්දියාවේ පුවත් මවපු විවාහයක් වුණා. ක්‍රිකට් තරඟයකින් පස්සේ පැවැත්වූ සාදයකදී තමයි ෂර්මිලා සහ පතවුදි මුලින්ම මුණ ගැහෙන්නේ. ඒ වෙද්දී ඒ දෙන්නාටම අනිත් කෙනාගේ ක්ෂේත්‍රය ගැන වැඩි දැනුමක් තිබිලත් නැහැ. ඒත් ක්‍ර​ම ක්‍රමයෙන් දෙන්නා අතර හොඳ හිතවත්කමක් සහ ආදරයක් ඇති වෙනවා. අන්තිමේදී ටයිගර් පතවුදි ප්‍රංශයේ රෝමාන්තික පැරිස් නුවරදී ෂර්මිලාට විවාහ යෝජනාවක් ගෙන එනවා. ඇයත් ඊට කැමති වෙනවා. 

ගොඩක් දෙනෙක් ඒ දවස්වලදී මේ විවාහය ​බොහොම කෙටි කාලීන එකක් ​වේවි කියල අනාවැකි පළ කළත්, 2011 දී ටයිගර් පතවුදි මිය යනකන් අවුරුදු 42ක් පුරා මේ දෙන්නා ආදරයෙන් විවාහ ජීවිතය ගත කරනවා. ඒ දෙන්නාගේ විවාහයේ සුන්දරම සිහිවටනය තමයි ඔවුන්ගේ පුතා වන ජනප්‍රිය බොලිවුඩ් නළු සායිෆ් අලී ඛාන්.

 

3. මොහොමඩ් අසරුදීන් සහ සංගීතා බිජ්ලානි

මේ තවත් ක්‍රිකට් නායකයෙක් සහ නිළියක් අතර සිද්ධ වෙච්ච විවාහයක්. මොහොමඩ් අසරුදීන් කියන්නේ 90 ගණන් වල ඉන්දියානු කණ්ඩායමේ කැපී පෙනෙක පිතිකරුවෙක් සහ කණ්ඩායම් නායකත්වය පවා ඉසිලූවෙක්. සංගීතා බිජ්ලානි මිස් ඉන්දියා තරඟය ජයග්‍රහණය කරමින් බොලිවුඩයට පිවිසුණු නිරූපණ ශිල්පිණියක්. ආදායම් වාර්තා පිහිටුවන්න සමත් වෙච්ච බොලිවුඩ් චිත්‍රපට වුණු “ත්‍රිදේව්”, “හත්‍යාර්”, “ජුර්ම්” වැනි චිත්‍රපට හරහා යම් ජනප්‍රියත්වයක් ඒ වන විට ඇය ලබාගෙන හිටියා. ඒ විතරක් නෙමෙයි, ජනප්‍රිය බොලිවුඩ් නළු සල්මාන් ඛාන් එක්ක අවුරුදු 10ක් විතර තිස්සේ පැවතුණු ප්‍රේම සම්බන්ධයකුත් ඇයට තිබුණා. සල්මාන්-සංගීතා දෙන්නා විවාහ ගිවිසගෙනත් හිටියේ ඒ වෙනකොට. හැබැයි කවුරුත් නොහිතපු විදිහට විවාහක පුද්ගලයෙක් වුණු මොහොමඩ් අසරුදීන් එක්ක සංගීතා ප්‍රේ​ම සම්බන්ධකමක් පටන් ගන්නවා. අන්තිමේදි මේක කෙළවර වෙන්නේ මොහොමඩ් අසරුදීන් තමන්ගේ එතෙක් පැවතුණු විවාහයත් කටුගාලා සංගීතා එක්ක විවාහ වීමෙනුයි. ඒ කාලයේදී මේ සම්බන්ධතාවයට ඉන්දීය සමාජයෙන් එල්ල වුණේ දැඩි අප්‍රසාදයක්. කො​හොම වුණත් 2010 අවුරුද්දේදී අසරුදීන්- සංගීතා විවාහය බිඳ වැටෙනවා.

 

4. යුවරාජ් සිං සහ හේසල් කීච්

යුවරාජ් සිං ගැන නම් අමුතුවෙන් අටුවා ටීකා අවශ්‍ය නැහැනේ. යුවරාජ් කියන්නේ ක්‍රීඩා ජීවිතේ වගේම පෞද්ගලික ජීවිතයෙත් බොහොම දුෂ්කරතා සහ බාධාවන්ට ලක්වුණු ක්‍රීඩකයෙක්. පිළිකා මාරයා එක්ක සටන් කරලා ජයගන්නත් යුවරාජ් සමත් වෙනවා. හේසල් කීච් කියන නම කිව්වම නම් ගොඩ දෙනෙක්ට ​ඒ කවුද කියලා එකපාර මතක් වෙන එකක් නම් නැහැ. ඒත් ඇය බොලිවුඩ් සිනමාවේ අයිටම් නම්බර් හරහා ප්‍රසිද්ධියට පත් වෙච්ච, බ්‍රිතාන්‍ය සම්භවයක් සහි​ත නිළියක්. සල්මාන් ඛාන් ප්‍රධාන චරිතය රඟපෑ “බොඩිගාඩ්” චිත්‍රපටයේ ඇය සහාය චරිතයක් රඟපානවා. හේසල් කීච් සහ යුවරාජ් මුලින්ම මුණ ගැහෙන්නේ දෙදෙනාගේ මිතුරෙකු​ගේ සාදයකදී. ඒ දැන හැඳුනුම්කමත් එක්ක යුවරාජ් හේසල්ට සමීප වෙන්න උත්සාහ කළත්, යුවරාජ් මුණ ගැහෙන්න කරන ආරාධනා හේසල් මුලදී ප්‍රතික්ෂේප කරනවා. ඒ අතරතුර පිළිකා රෝගය නිසා ජීවිතය එක්ක සටන් කරන්නත් යුවරාජ්ට සිද්ධ වෙනවා. කාලයක් ගතවෙලා ආයෙත් දෙන්නා අතර කතාබහ ඇති වෙද්දී​ හේසල් යුවරාජ්ව හමුවෙන්න තීරණය කරනවා. ඉන් පස්සේ තමයි දෙන්නා තවත් සමීප වෙන්න පටන් ගන්නේ. ඉන් පස්සේ 2015 වසරේදී යුවරාජ් සහ හේසල් විවාහ ගිවිස ගන්නවා. 2016 දී දෙන්නා විවාහ පත් වෙනවා. විවාහයෙන් පස්සේ තමන්ගේ නම “ගුර්බසන්ත් කොවූර්” හැටියට වෙනස් කරගන්නත් හේසල් කටයුතු කරනවා.

 

5. සහීර් ඛාන් සහ සාගරිකා ඝට්ගේ

හිටපු ඉන්දීය සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක සහීර් ඛානුත් තමන්ගේ සහකාරිය හැටියට තෝරාගන්නේ බොලිවුඩයට ගෑවිච්ච සුරූපිණියක්ව. ඒ තමයි සාගරිකා ඝට්ගේ. ඇය බොලිවුඩයට සම්ප්‍රාප්ත වෙන්න කලින් ජාතික මට්ටමෙන් ඉන්දියාව නියෝජනය කරපු හොකී ක්‍රීඩිකාවක්ද වුණා. සාගරිකා මුලින්ම ජනප්‍රියත්වයට පත් වෙන්නේ හොකී ක්‍රීඩාව හා සම්බන්ධ තේමාවක් ඔස්සේ දිගහැරුණු “චක් චේ ඉන්දියා” චිත්‍රපටයේ ප්‍රීටි කියන චරිතයෙන්. ​ඉන් පස්සේත් තවත් බොලිවුඩ් චිත්‍රපට කීපයකට ඇය රංගනයෙක් එක් වුණත්, කැපී පෙනෙන නිළියක් වෙන්නට නම් සාගරිකාට හැකි වුණේ නැහැ. හැබැයි සහීර් ඛාන්ට නම් ඇය කැපී පෙනෙන චරිතයක් වුණා. මේ දෙන්නාගේ සම්බන්ධතාවය ගැන දෙන්නාම බොහොම අඩුවෙන් තමයි කතා කරන්නේ. ඒ දෙදෙනාම තමන්ගේ පෞද්ගලිකත්වය වඩාත් අගය කරන නිසා. කොහොම වුණත් දෙන්නා හිතවත් වුණාට පස්සේ ඔවුන්ගේ යාළුවන් ඒ දෙන්නාව පෙම්වතුන් හැටියට සලකමින් විහිළු කරන්නට පටන් ගැනීමත් එක්ක දෙදෙනාගේ සම්බන්ධතාවය ගැන සාගරිකා සහ සහීර් වැඩිපුර හිතන්න ගත්තා කි​යලයි තොරතුරු වාර්තා වෙන්නේ. අන්තිමේදි පෙමින් බැඳෙන මේ දෙන්නාගේ විවාහය 2017 අවුරුද්දේ තමයි සිද්ධ වෙන්නේ.

 

6. හර්බජාන් සිං සහ ගීතා බස්රා

එංගලන්තයේ උපත ලබන ගීතා බස්රා තමන්ගේ මුල්ම බොලිවු​ඩ් චිත්‍රපටි දෙක වන “දිල් දියා හේ” සහ “ද ට්‍රේන්” ඉම්රාන් හෂ්මි එක්කයි රඟපාන්නේ. ද ට්‍රේන් චිත්‍රපටයේ ගීතා රංගනයෙන් දායක වෙච්ච ගීතයක් නිසා තමයි සුපිරි ඉන්දීය දඟපන්දු යවන හර්බජාන් සිංගේ හදවත ගීතා වෙත බැඳෙන්නේ. මේ ගීතය දැකලා ගීතා ගැන උනන්දුවක් ඇතිකරගන්න හර්බජාන් තමන්ගේ මිතුරන් මාර්ගයෙන් ඇයගේ දුරකථන අංකය හොයාගෙන ඇයට පණිවුඩ යවන්නට පටන් අරන් තියනවා. 2008 පවත්වපු පළමු අයිපීඑල් තරඟාවලිය අතරතුර තමයි මේ දෙන්නා පළමු වරට මුණ ගැහෙන්නේ. හිතවතුන් බවට පත්වීමෙන් පස්සේ හර්බජාන් කරපු ප්‍රේමාරාධනාවට ගීතා එක වරම කැමති වෙන්නේ නැහැ, දෙන්නා කාලයක් යාළුවෝ හැටියට ආශ්‍රය කිරීමෙන් පස්සෙයි ඇය ඒ යෝජනාවට කැමැත්ත පළ කරන්නේ. කොහොම වෙතත් හැංගි හොරා අවුරුදු 8ක් තිස්සේ මේ දෙන්නා පෙම් සම්බන්ධතාවය පවත්වාගෙන යන්න සමත් වෙනවා. 2015 වසරේදී විවාහ වෙන මේ දෙන්නාගේ කැදැල්ලට මේ වනකොට දුවණියකුත් එකතු වෙලා තියනවා.

 

7. රීනා රෝයි සහ මොෂින් ඛාන්

මේ කියන්න යන්නේ නම් බොලිවුඩ් නිළියක් සහ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් අතර විවාහයක් ගැන නෙමෙයි. ඉන්දු පාකිස්ථානු පෙම් පළහිලවුවක් ගැන. මේ ආදර කතාවේ කතා නායකයා සහ නායිකාව වෙන්නේ හිටපු පාකිස්ථාන ක්‍රීඩක මොෂින් ඛාන් සහ ජනප්‍රිය බොලිවුඩ් නිළි රීනා රෝයි. 70 දශකයේ බොලිවුඩයේ ජනප්‍රියම නිළියක් වුණු රීනා රෝයි ඒ වෙද්දි බොලිවුඩ් දැවැන්තයෙක් වුණු ශතෘගන් සිංහාවත් තමන්ගේ වසඟයට ගන්න සමත් වෙලයි තිබුණේ. කො​හොම නමුත් ශතෘගන් පස්සේ පූනම් නම් වෙනත් නිළියක් එක්ක විවාහ වෙනවා. නමුත් රීනාත් එක්ක සම්බන්ධතාවය විවාහයෙන් පස්සෙත් පවත්වගෙන යන්න ශතෘගන් කටයුතු කරනවා. මේ සම්බන්ධය ඒ දවස්වල බොලිවුඩයේ ගොසිප් මාධ්‍යයන් වලට රස කට ගැස්මක් වෙලා තිබුණා. හැබැයි මේ අතර රීනා රෝයි හැමෝවම පුදුම කරවමින් ​ඒ වෙනකොට පාකිස්ථාන කණ්ඩායමේ හිටපු ජනප්‍රිය ක්‍රීඩකයෙක් වුණු මොෂින් ඛාන් එක්ක සම්බන්ධයක් පටන් අරගෙන විවාහ වෙනවා. ජනප්‍රියත්වයේ හිනි පෙත්තේ ඉන්දැද්දිම ඇ​ය සිනමාවටත් සමු දෙනවා. විවාහයෙන් පස්සේ මොෂින්ට අයිති ලන්ඩනයේ මන්දිරයක පදිංචියට යන ඔවුන්ගේ පවුලට දියණියකුත් එකතු වෙනවා. නමුත් මේ විවාහය කලකට පසුව බිඳ වැටෙනවා. එයට හේතුව වෙන්නේ මොෂින් එංගලන්ත පුරවැසිකම අරගෙන ඒ රටේ​ම ජීවත්වෙන්න තීරණය කිරීමයි. දික්කසාදයෙන් පස්සේ මොෂින් කීප වරක් නැවත විවාහ වුණත් රීනා තමන්ගේ දියණියත් හදා වඩාගෙන අදටත් තනිකඩ ජීවිතයක් ගත කරනවා. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *