ජීවිතේ සාර්ථකත්වය අඩාල කරව​න, වැඩ කල්දාන පුරුද්ද අත්හැර ගමු!

දැන් අපි හැමෝම ඔය වොරන් බුෆේගේ, ස්ටීව් ජොබ්ස්ගේ, ජැක් මාගේ එහෙම චරිත කථා කියවනවනේ. ඔව්, ඒ අය ඔක්කොම සාර්ථක වෙලා ජීවිතේ ජයගත්තු මිනිස්සු. ඊට පස්සේ අපි හිතනවා ඇයි අපිටත් එහෙම සාර්ථක වෙන්න පුළුවන් නේද කියලා. උදාහරණයක් විදියට ඔන්න මම ජේ.කේ.රෝලින්ග්ස්ගේ ජීවිත කථාව කියවලා හිතනවා, ඇයි මටත් පොත් ලියලා මිලියනපතියෙක් වෙන්න බැරි කියලා. ඇත්තටම මට ලියන්න කියන්න පොඩි හරි දක්ෂතාවයකුත් තියෙනවා. ඉතින් ඔන්න මම හෙන උද්‍යෝගයෙන් සිහින දකිනවා කවදාහරි මගේ පොත් ලෝකෙ පුරාම ප්‍රසිද්ධ වෙලා මම ලෝකෙම දන්න චරිතයක් වෙන එක ගැන. ඊට පස්සේ ඉතින් මම අනික් පැත්ත හැරිලා නිදාගන්නවා. කවදාවත් අර ලෝක ප්‍රසිද්ධ වෙන පොත ලියන්න පටන් අරගෙනත් නෑ, හැබැයි කාලෙන් කාලෙට ලෝක පූජිත වෙන්න හීන දැකලා, ආයෙමත් අනික් පැත්ත හැරිලා නිදාගන්නවා!

 

මෙන්න මේකට කියන්නේ වැඩ කල්දැමීමේ, වැඩ අතපසු කිරීමේ නරක පුරුද්ද කියලා. ඕන නම් සුද්දගේ බාසාවෙන් Procrastination කියන්නත් පුළුවන්. ඇත්තටම සාර්ථක වීම ගැන ලෝකේ පොත් ලියැවිලා තියෙන තරමට ඇත්තටම සාර්ථක මිනිස්සු නැතිවෙන්නත් එක ප්‍රධාන හේතුවක් තමයි මේක. ආන්න ඒ නිසා අපි අනික් හැමදේටම කලින් මේ වැඩ කල්දැමීමේ පුරුද්ද නැතිකරගෙන ඉමු. ඊට පස්සේ බැරියැයි ලෝක පූජිත වෙන්න!

 

1. මොකෙන්ද පටන් ගන්නේ?

ලෝකේ ඉන්න සැබෑ දක්ෂතා තියෙන ගොඩක් අයට වෙලා තියෙන ප්‍රශ්නයක් තමයි, වැඩ ගොඩක් එක පාර බදාගෙන ඉවර කරන්න යෑම. එකක්වත් හරියට කෙරෙන්නෙත් නෑ, එකකටවත් දීර්ඝ කාලීනව අවධානයක් ලැබෙන්නෙත් නෑ. ආන්න ඒ නිසා මුලින්ම තමන්ට කරන්න ඕන දේ තෝරගන්න. මේ කියන්නේ දෛනික රාජකාරි වැඩ කටයුතු ගැන නෙවෙයි. එව්වාට ඩෙඩ්ලයින් තියෙන නිසා කොහොමත් කෙරෙනවනේ. ඊට වඩා තමන්ගේ නම ලෝකයට ගෙනියන්න පුළුවන් විදියට අත්තිවාරම් දාන වඩාත් සීරියස් ප්‍රොජෙක්ට් ගැන තමයි මේ කියන්නේ. හැබැයි තව දෙයක්. කෙලින්ම හැරී පොටර් පොත් ලියලා වැඩේ පටන් ගන්න යන්න එපා. එහෙම පුළුවන් වෙන එකකුත් නෑ. ඒ වෙනුවට පොඩි තැනකින් පටන් ගන්න. ඒ පටන් ගන්න පොඩි තැන හරියට තෝරගන්න. දැන් ඒ පොඩි වැඩේට අවධානය දෙන්න.

 

2. බාලගිරි අද නෙවෙයි හෙට!

මේක ඇත්තටම ඔය වැඩ කල්දමන්නන්ගේ සංගමයේ ආදර්ශ පාඨය. කවදාවත් වැඩක් හෙටට කල් දැම්මොත් කෙරෙන්නෙ නෑ කියන එකට අපිටම අත්දැකීම් තියෙනවනේ. ආන්න ඒ නිසා අදම වැඩේ පටන් ගන්න. සමහරුන්ට වැඩක් පටන් ගන්න කලින් ඒකට වටපිටාව හදාගෙන ඉන්න ඕන. හැබැයි ඔය වටපිටාව හදාගන්නවා කියන එක වුනත් එක රැයින් කරන්න බැහැනේ. එතකොටත් ආයෙ වෙන්නේ වටපිටාව හදාගන්නකල් වැඩේ කල්දාන එක. එහෙම එපා. වටපිටාව හෙමිහිට හැදෙයි. අදම වැඩේට අත තියන්න.

 

3. විනාඩි පහේ ආශ්චර්යය

මේක ඇත්තටම ඔය වැඩ කල්දැමීමේ පුරුද්ද තියෙන හාදයන්ට හාදියන්ට හඳුන්වලා දීලා තියෙන ටෙක්නික් එකක්. ඒ තමයි විනාඩි පහක වැඩක් පටන් ගන්න එක. අපි කියමු, අපිට පොතක් ලියන්න ඕන කියලා. පොතක් ලියන්න බෑ විනාඩි පහකින්. හැබැයි පොතේ අයිඩියා එක ඔලුවේ තියෙනවා නම්, ඒකේ සාරාංශය ලියන්න පුළුවන් විනාඩි පහකින්. පොතට අයිඩියා එකක් ඔලුවේ නැතිනම්, පොඩ්ඩක් ලිවීමේ හිරිඇරගන්න මොනවා හරි එදිනෙදා විකාර ටිකක් ලියන්න පුළුවන් විනාඩි පහකින්. ආන්න ඒ විනාඩි පහේ වැඩේ ටයිම් කරලම පටන් ගන්න. ඉතුරු ටික හෙමිහිට සිද්ධ වෙයි. මේක ඇත්තටම තමන්ට නිම කරන්න ඕන ලොකු වැඩ ඉවර කරන්න යොදාගන්නත් පුළුවන්. කරන්න තියෙන්නේ ලොකු වැඩේ පොඩි වැඩ වලට කඩාගන්න එක.

 

4. පවර් එකෙන් වැඩ කරන පැයක් දෙකක්!

දැන් අපි හිතමු එදිනෙදා රැකියාවක් කරන මනුස්සයෙක් කියලා. මේ මනුස්සයාගේ පැෂන් එක තමයි සංගීතය. අපි කියමු ගිටාර් වාදනය කියලා. එයාට ඕන කරනවා ගිටාර් වාදකයෙක් විදියට කවදාහරි ලෝක පූජිත වෙන්න. හැබැයි ඉතින් ඒක ඉබේ වෙන්නෙ නෑ. ඉගෙනගන්න ඕන, ප්‍රැක්ටිස් කරන්න ඕන. දැන් එදිනෙදා රාජකාරි වැඩ අතරේ ඕක කරන්න හිටියට මළාට වෙන්නෙ නෑ. ආන්න ඒ නිසා ඒකට Power Hour එකක් හරි Power two Hours ප්ලෑනක් හරි ගහන්න වෙනවා. සරලවම කිවුවොත් මෙහෙමයි. වෙනත් රාජකාරි වැඩ, ගෙදර වැඩ වලින් බාධා නොවෙන පැයක් හෝ දෙකක් තෝරගන්නවා. මේක දවසකට වරක්, දවසක් ඇර දවසක් වෙන්න පුළුවන්. දැන් ඒ කාලය ඇතුළතදී වෙනත් කිසිම බාධාවකින් තොරව අපි කරන්නේ ගිටාර් ප්‍රැක්ටිස් කරන එක. ඕකටත් පොමොදෝරෝ ටෙක්නික් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ විනාඩි විසිපහක් ප්‍රැක්ටිස් කරනවා. විනාඩි පහක් රෙස්ට් කරනවා. ආයෙමත් විනාඩි විසිපහක් ප්‍රැක්ටිස් කරනවා, විනාඩි පහක් රෙස්ට් කරනවා. ඔන්න ඔහොමයි වැඩේ යන්න ඕන.

 

5. අවධානය එක තැනකට

ඇත්තටම මේ සයිබර් යුගයේ ඉන්න අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අවධානය එහේ මෙහේ දුවවන්න පුළුවන් දේවල් අධික වීම. නිකමට හිතන්න, ඉස්සර නම් අපි වැඩ කරන මේසේ ඉඳගත්තට පස්සේ අපේ අවධානය පැහැර ගන්න දේවල් අහල පහල නෑ. ටීවී එක දාන්න වුනත් සාලෙට යන්න වෙනවා. හැබැයි දැන් එහෙම නෑ. ස්මාට්ෆෝන් එක අත ලඟ. බ්‍රවුසර් එක ඕපන් කරපු ගමන් ඉන්ටර්නෙට්. ඉතින් කොහෙද අවධානයෙන් වැඩක් කරන්නේ. ආන්න ඒ නිසා මතක තියාගන්න, අර පවර් පැය හරි පවර් පැය දෙක හරි පුරාවට කිසිම වෙනත් දේකට අවධානය යොමුවෙන්න බෑ. ස්මාට්ෆෝන් ඕන නම් ඕෆ් කරලා තියාගන්න. ෆේස්බුක් අරෙහෙ මෙහේ සැරිසරන්නේ නැතුව වැඩ කරන්න ස්වයං විනයක් තියාගන්න. මේ පැය දෙකේ ඇණ වෙන්න එන්න එපා කියලා ඕන නම් ගෙදර අයටත් කියන්න. දැන් තියෙන්නේ වැඩ කරන්න. එක පාරටම තමන්ට ප්‍රොජෙක්ට් එකට එන්ටර් වෙන්න බෑ බෑ වගේ තමයි දැනෙන්නේ. කමක් නෑ. දිගටම වැඩ කරන්න. පොත ලියන්න අදහසක් ඔලුවට එන්නෙ නැතිනම්, දවසේ සිදුවීම් ඔහේ කොලේක ලියාගෙන යන්න. ගිටාර් ප්‍රැක්ටිස් කරන්න කම්මැලියි නං, ඔහේ හිතට එන සිංදුවක් ගහන්න. එහෙම වැඩේට ටික ටික ඔලුව හුරුවෙනකොට, වැඩේට බැහැලා කරන්න පුළුවන් අවධානය ලැබෙයි.

 

6. වැඩේට තියෙන බය, ලෝකෙට තියෙන බය බල්ලට දාන්න

ඇත්තටම අපිට එක මොහොතකදී හිතන්න වෙනවා, ඇයි ඇත්තටම අපි වැඩ අතපහු කරන්නේ කියලා. ඇත්තටම ඒකට හේතුව සරලව සහජ කම්මැලිකම නොවෙන්න පුළුවන්. ඊට වඩා මානසික හේතු තියෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, අසාර්ථක වෙන්න තියෙන බය. තවත් සමහරු ඉන්නවා, ඒ අයව දැන්ම තියාම යම් යම් ෆීල්ඩ් වල විශේෂඥයෝ විදියට තමයි මිනිස්සු සලකන්නේ. එතකොට ඒ අය බයයි ඒ ෆීල්ඩ් එකේ ලොකු වැඩක් කරන්න. ඇයි, කරලා මිනිස්සුන්ගේ අපේක්ෂාවේ තරමට අවුට්පුට් එක නැතිවුනොත්? ලෝක ලැජ්ජාවනේ, ඊට වඩා හොඳයි නොකරම ඉන්න එක කියලා මේ අයගේ යටිහිත කියනවා.

 

ආන්න ඒ නිසා අර අපි කියපු පවර් පැය දෙක තුළ අනික් හැමදේම බල්ලට දාන්න. ලෝකේ මිනිස්සුන්ට බම්බු ගහගන්න කියන්න. වැඩේ කරන්න තියෙන බයටත් බම්බු ගහගන්න කියන්න. වැඩේ ආතල් එක උදෙසා වැඩේට අත ගහන්න. ඒක පරිපූර්ණ වැඩක් වෙන්න ඕන කියන මානසිකත්වයෙන් මිදෙන්න. අඩුම ගාණේ මේ වැඩෙන් තමන්ට ආතල් එකක් ගන්න පුළුවන් කියලා හිතන්න. 

 

වැඩේ ඉවරවුනාට පස්සේ එලියට දැම්මොත් සමහර වෙලාවට ඒක අසාර්ථක වෙයි. ඒ කියන්නේ අපි යන්නේ හරි පාරේ කියන එක. ආයෙමත් ආයෙමත් දේවල් කරන්න. නිර්මාණයන් කරන්න. එහෙම කරන එකේ තියෙන ආතල් එක විඳින්න. 

 

7. ඔබට හොඳින් සලකන්න

මෙන්න මේ කාරණාව ඉතාම වැදගත්. ඔයා ටැලන්ට් එකකුත් තියාගෙන, අවුරුදු දහයක්, සමහර විට විස්සක් විතර කිසිම ලොකු වැඩක් නොකර පොල් ගෑවා වෙන්න පුළුවන්. හැබැයි ඒකට තමන්ට සමාව දෙන්න. අඩු ගාණේ දැන් හරි මේ ටිප්ස් ටික කියවලා, වැඩ අතපහු කරන, වැඩ කල්දාන පුරුද්දෙන් මිදෙන්න හිත හදාගත්තු එක ගැන තමන්ට ප්‍රශංසා කරගන්න. ඇත්තටම තමන් අතීතේ වැඩ අතපහු කරපු එක ගැන තමන්ටම සමාව දෙන්න පුළුවන් නම්, අද ඉඳන් වැඩ අතපහු නොකර ඉෂ්ට කරන්න ලේසියි.

 

මතක තියාගන්න. මේ ටිප්ස් කියවලා ඉවර වෙලා, හෙට ඉඳන් මේ විදියට වැඩ කරලා ලෝක පූජිත වෙනවා කියලා මේක කියවන ඕන කෙනෙක් හිතාගන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ අනික් පැත්ත හැරිලා නිදාගන්නවද, එහෙම නැතිනම් හෙට නෙවෙයි අද කියලා දැන්ම වැඩ පටන් ගන්නවද කියන එක තියෙන්නේ ඔබේ අතේ!

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *