වියළි හාල්මැස්සන් කරි හෝ තෙල් දාලා කනවට වඩා රසවත් විදියට හදාගන්න ලේසිම ලේසි රෙසිපි ටිකක් අද ගෙනාවා. එකම විදියට රස බලල ඇති වෙලා තිබ්බට කැල්සියම් ලබාගන්න හොඳ මාර්ගයක් තමයි හාල්මැස්සො කියන්නෙ. වෙනස් වෙනස් රසයන්ගෙන් හාල්මැස්සො හදමුද එහෙනම්?
1. අන්නාසි මිශ්‍ර හාල් මැස්සන් බැදුම්
අන්නාසි එක්ක හාල්මැස්සො කන්න හොඳද වගේ ප්‍රශ්නයක් එයි දැක්ක ගමන්. වකුගඩු රෝග තියෙන අයට නම් සුදුසු නැති මේ බැදුම නිරෝගී අයට නම් ඉඳල හිටල වෙනසකට හදන්න අවුලක්ම නෑ.
අවශ්‍ය ද්‍රව්‍ය
- හාල්මැස්සන් ග්‍රෑම් 100
- කපාගත් අන්නාසි ටිකක්
- කපාගත් මාළු මිරිස් කරල් 2
- කපාගත් ළූණු ගෙඩි 1
- සුදුළූණු බික් 4
- කෑලිමිරිස් තේ හැඳි 1
- කහකුඩු තේ හැඳි 1/2
- අබ ස්වල්පයක්
- සීනි තේ හැඳි 1
- සේර කෑල්ලක්
- කුරුඳුපොතු කෑල්ලක්
- ලුණු
- හාල්මැස්සන් සෝදා ගැඹුරු තෙලේ බැදගන්න. සුදුළූණු ටිකත් ගැඹුරු තෙලේ බැදගන්න.
- තෙල් ටිකක් ලිපේ තියලා අබ ටික දාගන්න. ඊළඟට සේර හා කුරුඳු පොතු, ළූණු, කෑලිමිරිස්, කහකුඩු, ලුණු දාලා කලවම් කරගන්න. සීනි සහ රස අනුව ලුණු දාගන්න.
- අන්නාසි හා මාළුමිරිස් දාලා කලවම් කරගන්න. අන්තිමට බැදගත් හාල්මැස්සන් හා සුදුළූණු එකතු කරලා ලිපෙන් බාගන්න.
2. හාල්මැස්සන් මිරිස් බැදුම
බයිට් එහෙකට වගේම විශේෂ ආහාර වේලකට කොන්ඩිමන්ට් වලටත් ගැලපෙනව.
අවශ්‍ය ද්‍රව්‍ය
- හාල්මැස්සන් ග්‍රෑම් 100
- මිරිස්කුඩු තේ හැඳි 2
- කොත්තමල්ලි කුඩු තේ හැඳි 1
- කරපිංචා ස්වල්පයක්
- සූදුරු ස්වල්පයක්
- චොප්කරගත් අමුමිරිස් කරල් 2
- දෙහි යුෂ මේස හැඳි 2
- පොල්තෙල් මේස හැඳි 2
- ලුණු
- මුලින්ම මිරිස්කුඩු, සූදුරු, දෙහි යුෂ මේස හැන්දක්, අමුමිරිස් හොඳට අඹරගන්න.
- සෝදාගත් හාල්මැස්සන් වලට මේ අඹරාගත් පේස්ට් එක දාලා අතගාලා පැය භාගයක් තියන්න.
- තාච්චියක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත්වෙනකොට කරපිංචා ටික දාලා බැදගන්න. කරපිංචා ලස්සන පාටට බැදිලා එනකොටම තෙලෙන් ඉවත් කරගන්න.
- ඒ තෙලටම සීසන් කරගත් හාල්මැස්සන් ටික දාගන්න. විනාඩි 5ක් විතර කලවම් කරමින් බැදගන්න. ලිපෙන් බාලා තෙල් බේරෙන්න තියලා බැදගත් කරපිංචා උඩින් දාලා ඉතිරි දෙහි යුෂ ටික උඩින් දාගන්න.
3. හාල්මැස්සන් තෙම්පරාදු බත්
හොදි ජාති දෙක තුනක් එක්ක බත් උයාගන්න කම්මැලි දවසකට කියාපු රයිස් එකක්. ශ්‍රී ලංකන් ට්විස්ට් එකක්
අවශ්‍ය ද්‍රව්‍ය
- වියළි හාල්මැස්සන් ග්‍රෑම් 100
- කපාගත් අමුමිරිස් කරල් 2
- කපාගත් ළූණු ගෙඩි 1/2
- කපාගත් තක්කාලි ගෙඩි 1
- තක්කාලි පේස්ට් මේස හැඳි 2
- ඉඟුරු, සුදුළූණු පේස්ට් තේ හැඳි 1
- කෑලි මිරිස් තේ හැඳි 1
- රම්පේ කෑල්ලක් / කරපිංචා
- කහකුඩු තේ හැඳි 1/2
- සෝයා සෝස් මේස හැන්දක්
- පිසගත් බත් කෝප්ප 1
- බැදගැනීමට තෙල්
- හාල්මැස්සන් සෝදලා වතුර බේරලා තෙල් ටිකක් ලිපේ තියලා හාල්මැස්සන් දාලා බැදෙන්න අරින්න.
- ටිකකින් ඒ ටික අයින් කරලා ඒ තෙල් එකටම කපාගත් ළූණු, අමුමිරිස්, රම්පේ හා කරපිංචා, ඉඟුරු, සුදුළූණු පේස්ට්, කෑලිමිරිස්, කහකුඩු එකතු කරන්න.
- කලවම් කරලා සෝයා සෝස් එක්ක තක්කාලි ටික දාගන්න. දැන් බැදගත් හාල්මැස්සන් ටික එකතු කරලා තක්කාලි පේස්ට් ටික දාගන්න. ලුණු රස අනුව එකතු කරගන්න. හොඳට තෙම්පරාදු උනාම පිසගත් බත් ටික කලවම් කරගන්න.
4. හාල්මැස්සන් කජු බැදුම
මේක කල් තියාගන්න පුළුවන් කෑමක්. මෙහෙම එකක් සතියට පාරක් හදාගත්තම කෑම වේලට අමතර ආලෝකයක් ගේනව.
අවශ්‍ය ද්‍රව්‍ය
- හාල්මැස්සො ග්‍රෑම් 100
- කජු ග්‍රෑම් 125
- ලොකු ළූණු ගෙඩි 2
- කරපිංචා අහුරක්
- සුදුළූණු ගෙඩියක බික්
- කෑලි මිරිස් තේ හැඳි 2 1/2
- විනාකිරි තේ හැඳි 1 1/2
- සීනි තේ හැඳි 1 1/2
- ලුණු රස අනුව
- කජු සෝදල දිය බේරල අරන් මුලින්ම කජු ටික රන්වන් පාට වෙනකම් බැදගන්න. ඊට පස්සෙ කරපිංචා, සුදුළූණු සහ ළූණු ටිකත් පිලිවෙලින් වෙන වෙනම බැදගත්තට පස්සෙ හාල්මැස්සො ටික බැදගන්න. කර කරගන්න එපා රන් වන් පාටට බැදගන්න.
- වෙනම භාජනේකට තෙල් මේස හැන්දක් දාල රත්කරගන්න. ඒකට කෑලිමිරිස්, සීනි, ලුණු දාල කෑලිමිරිස් ටික යන්තම් බැදෙන කොටම විනාකිරි එකතු කරන් කලවම් කරගෙන, කලින් බැදගත්තු සේරම එකට දාල හොඳට මිශ්‍ර කරගෙන, විනාඩි දෙක තුනක් අඩු ගින්දරේ කලවම් කරල ලිපෙන් ඉවත් කරගන්න.
5. ඉකන් බිලිස්
මැලේෂියාවෙ ප්‍රසිද්ධ කෑමක්. හදන ක්‍රම නම් එක එක විදි තියෙනව. කිරිබතක් කන්න කියාපු කෑමක් මේ.
අවශ්‍ය ද්‍රව්‍ය
- හාල්මැස්සන් ග්‍රෑම් 100
- කපාගත් ළූණු ගෙඩි 2
- සෝයාසෝස් මේස හැඳි 1
- සීනි මේස හැඳි 1
- කඩාගත් වියලි මිරිස් කරල් 3-4ක්
- සියඹලා යුෂ ස්වල්පයක්
- පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට හාල්මැස්සන් ටික දාලා බැදගන්න.
- ඒ ටික අයින් කරලා ඒ පෑන් එකටම ලියාගත් ළූණු දාලා රන්වන් පාට වෙනකල් බැදගන්න. ඊළඟට චොප්කරගත් අමුමිරිස් දාලා බැදගන්න.
- මේකට සෝයාසෝස්, සීනි එකතු කරන්න. ලුණු අවශ්‍ය නම් දාගන්න. සියඹලා යුෂ ටිකත් එකතු කරන්න. අන්තිමට බැදගත් හාල්මැස්සන් එකතු කරලා ලිපෙන් බාගන්න.
- බ්ලෙන්ඩර් එකට දාල පොඩ්ඩක් බ්ලෙන්ඩ් කරගෙන පිළිගන්වන්න..
Leave a Reply