යූ ටියුබ් චැනල් එකක් පටන් ගන්න එක නූතනයේ අපේ සෙට් වල එක යාලුවෙක්ට හරි තියෙන බරපතල ප්‍රශ්නයක්. අදහස් තිබුණාට ඉතින් අපිට ඔය දේවල් කරන්න එක්කෝ වෙලාවක් නැහැ. නැත්නම් අපිට ඒ ගැන අවබෝධයක් නැහැ. හැබැයි යූ ටියුබ් වල ජනප්‍රිය වෙච්චි අයගේ මුල් කාලේ බැලුවොත් එයාලටත් ඒකට ලොකු වෙලාවක් තිබුණේ නැහැ… ලොකු අවබෝධයකුත් නැහැ. ඒත් එයාල වැඩේ හෙමින් හෙමින් ඉගෙනගෙන ගොඩදාගත්තා. ඉතින් ඔබටත් අතේ තියෙන ෆෝන් එකෙන් යූ ටියුබ් චැනල් එකක් පටන් ගන්නට අවශ්‍ය දැනුම ටිකක් ලබා දෙන්න අපි හිතුවා.
1. පසුබිම ගැන සැළකිලිමත් වීම
ෆෝන් එකකින් කැමරා කරද්දි එළියෙන් එන නොයිස් එක සහ ආලෝක තත්ත්වය වීඩියෝ කොලිටිය කෙරෙහි සෘජුවම බලපානවා. යම් පැහැදිළි කිරීමක් යූ ටියුබ් එකෙන් කරන වෙලාවක අවට සද්දයක් තිබ්බොත් වීඩියෝ එකේ තියෙන කොලිටි එක නැතිවෙනවා. ඒ වගේම යම් අඳුරු පසුබිමක තියෙන දෙයක් වීඩියෝ කරද්දිත් ෆෝන් එකේ කැමරාව පොඩි නිසා එහි වීඩියෝවේ තත්ත්වය බාල වෙනවා. ඒ නිසා පසුබිම ගැන ටිකක් උනන්දු වෙලා ඒ පසුබිමට අදාළව අවශ්‍ය ආලෝක තත්ත්වයන් නිර්මාණය කරගන්නට ඕනි. අවට බාධාකාරී ශබ්ද වලින් අනවශ්‍ය බලපෑමක් එනවා නම් ඒ වගේ වෙලාවට පසුබිමේ සද්ද නැති අවස්ථාවක් වීඩියෝ කරන්න යොදාගැනීමත් වැදගත්.
2. ෆෝන් එක මවුන්ට් කිරීම
යන එන ගමන් අපිට යමක් විස්තර කරන්නට අවශ්‍ය නම් ඒ අවස්ථාවට මොනොපොඩ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒත් ෆෝන් එකේ කැමරාවෙන් වීඩියෝ කරද්දි සෙලවීම් ආදිය කැමරාවට හසුවෙනවා වැඩියි. වීඩියෝ බාසාවෙන් කියනවා නම් ශේකින් වැඩියි. ඒවා ඉවත් කරන්න වෙනම මෘදුකාංග ආදිය යොදාගන්න පුළුවන්. ඒත් අපිට අවශ්‍ය කරන්නේ වැඩිය ගැස්සෙන්නෙ නැති වීඩියෝ එකක් නම් ෆෝන් එක ට්‍රයිපොඩ් එකකින් හෝ වෙනත් ක්‍රමයකින් මවුන්ට් කරගැනීම වැදගත් වෙනවා. ඇක්ෂන් වැඩ ආදියෙදිත් බයිසිකල් වලට, හිසේ හෙල්මට් එකට, අතට, පපුවට කැමරා ෆෝන් එක මවුන්ට් කරගන්න පුළුවන් ක්‍රම සහ විධි තියෙනවා. ඒවා ඇසුරෙන් ඒ අවස්ථාවට අදාළ වීඩියෝ කොටස් නිමකරගන්න අපිට පුළුවන් වෙනවා.
3. පෙරහුරුවක් කිරීම
ෆෝන් වීඩියෝවේ අපි පෙනී ඉන්නවා නම් අපේ ස්වරූපය අපිට මනසින් හිතාගන්නවාට වඩා සාම්පල් වීඩියෝවක් ගහලාම අපේ විදිහ බලාගන්න එක ෆෝන් එකේදි පුළුවන්. පෙරහුරුවක් හෙවත් කලින් පොඩි කොටස් ෂූට් කරලා බලන එකෙන් වීඩියෝ කොලිටිය, ඕඩියෝ කොලිටිය සහ ඒවා වැඩිදියුණු කරගන්න ආකාරය ගැනත් අපිට අදහසක් ගන්නට පුළුවන්. පෙරහුරුව තුළින් අපිට වීඩියෝව කරන ආකාරය සහ ආකර්ෂණීය බව වැඩිදියුණු කරගන්න හැටි ගැනත් යම් අදහසක් ලැබෙනවා.
4. කරන දේ ගැන දළ සටහනක් තබා ගැනීම
ස්ක්‍රිප්ට් එකකට ගහන්න අපි කරන්නේ ෆිල්ම් එකක්, ටෙලියක් නෙමෙයි. ඒත් අපි හදන වීඩියෝ යූ ටියුබ් එකේ ජනප්‍රිය වෙන්න නම් ඒවා බලන අයට අපි හදන දේවල් වඩාත් ආකර්ෂණීය වෙන්න ඕනි. යූ ටියුබ් එකම කියන විදිහට අපි ෂූට් කරන්න කලින් යම් දළ සටහනක් ඒ ඒ තැනදි, ඒ ෂූට් එකේදි කරන දේවල් ගැන යම් සැකිල්ලක්, කටු සටහනක් තියෙන එක වටිනවා. ඒ හරහා ඉන් පස්සේ කරන වීඩියෝ වලට පහසුවක් වෙනවා වගේම ආකර්ෂණීය විදිහට කාලය අඩුවෙන් යමක් රූපගත කරන්නත් අපිට අවස්ථාව හම්බෙනවා.
5. එඩිටින් ෆෝමැට් එකක් ෆලෝ කිරීම
මේක සරලවම තීම් එක කියලත් දක්වන්න පුළුවන්. අපි හිතමු අපි යම් කිසි කෑම හදන වීඩියෝවක් කරනවා කියලා. ඒකෙදි එක එක වීඩියෝ එකෙන් වීඩියෝ එක වෙනස් වෙනස් කැමරා ශිල්ප සහ එඩිටින් වැඩ පාවිච්චි කරන්නට ගියොත් එතැනදි අපිට ඒ වෙනුවෙන් විශාල කාලයක් කැපකරන්නට වෙනවා. ඒ හරහා වැඩේ ඉක්මනින්ම බෝරින් වන්නත් පුළුවන්. ඒත් කලින් ෆෝමැට් එකක් සකස් කරගත්තොත් ඒ හරහා වීඩියෝ කරන්න වගේම එඩිට් වැඩටත් මාර පහසුවක් වෙනවා. පිංතූර දානවා නම් ඒවා කොච්චරක්ද? ටෙක්ස්ට්ද දානවා නම් ටෙක්ස්ට් කොතනට මොන ආකාරයෙන්ද දාන්නේ කියලා බේසික් තීම් එකක් තියෙන එක යූ ටියුබ් චැනල් එකක් කරද්දි ඒ වටා පිරිස එකතු වෙන්නත් ලොකුවට හේතු වෙනවා.
6. තියරි ඉගැනගැනීම සහ තියරි කැඩීම
කලාව කියන්නේ ආකර්ෂණීය දෙයක්. යූ ටියුබ් කියන්නෙත් එක්තරා කලාවක්. ඒකෙදි මිනිස්සු විදිහට අපි හැමෝම ආස කරන යම් යම් පොදු නීති රීති තියෙනවා. යූ ටියුබ් වීඩියෝ රූගත කරද්දි වගේම ඒවා එඩිට් කරද්දිත් මේ වීඩියෝ සම්බන්ධ ඉගැනීම වැදගත් වෙනවා. ඒ වගේම මීට කලින් රූපවාහිනී, සිනමා වීඩියෝ වලට වඩා යූ ටියුබ් වීඩියෝ වලදි හිට්වෙන කලාවෙත් යම් වෙනසක් තියෙනවා. ඉතින් මේ හැම දේම ඉක්මනටම ඉගෙන ගන්නත් බැහැ. සමහර දේවල් කොච්චර තියරි තිබුණත් අපිට අත්දැකීම් වලින්ම අල්ලා ගන්නට වෙනවා. අපි අලුත් දෙයක් කරන්නට පෙර පරණ දෙය මොකද්ද කියලා හරිහැටි ඉගෙනගන්න ඕනි. අන්තර්ජාලය, පොත් පත් සහ තවත් වීඩියෝ ඔස්සේ අපිට මේ වීඩියෝ සහ යූ ටියුබ් වීඩියෝ ගැන වැඩිපුර අධ්‍යයනය කරන්න පුළුවන්. එහෙම අධ්‍යයනය කරලා ඒවායෙනුත් යම් යම් දේවල් අපිට අපේ වීඩියෝ වලට එකතු කරගන්නත් පුළුවන්.
7. උපාංග පාවිච්චිය සහ හැසිරවීම
ෆෝන් එකක කොහොමත් ඕඩියෝ කොලිටි එක අඩුයි. ඒ නිසා කුඩා මයික් එකක් වීඩියෝ වලට පාවිච්චි කරන්නට පුළුවන් නම් හොඳයි. අපි යූ ටියුබ් වීඩියෝවෙන් කරන්නේ එකතැන ඉඳන් කරන යම් ඉදිරිපත් කිරීමක් වගේ දෙයක් නම් ආලෝකය ලැබීම ගැනත් සැළකිලිමත් වෙන්න ඕනි. බේසික් මට්ටමේ ආලෝක ෆිල්ටර් ආදිය පාවිච්චි කරන්නත් අපිට පුළුවන්. එක එක තැන්වලට ෆෝන් එක, ආලෝකය සහ මයික් මවුන්ට් කරන අලුත් නිෂ්පාදනත් දැන් ඇවිල්ලා තියෙනවා. ඔක්කොම උපකරණ එකපාර අරගන්නවාට වඩා අපිට පස්සේ කාලෙක අභියෝගයක් වෙන දේවල් වලට විසඳුමක් විදිහට උපාංග අපේ වැඩේට එකතු කරගන්න පුළුවන් නම් වටිනවා.
8. සම්පත් දායකයින්
උපාංග වගේම යූ ටියුබ් වීඩියෝ වලට සම්පත් දායකයින් වැදගත්. යම් අයෙක්ට හොඳට අදහස් තියෙනවා වීඩියෝ වල කන්ටෙන්ට් වලට, ඒත් ඒ අයට හොඳ වීඩියෝ එඩිටින් දක්ෂතා නැතිවෙන්නට පුළුවන්. තවත් අයට හොඳට ෆෝන් එකෙන් වීඩියෝ කරන්න පුළුවන් ඒත් එයාලට කන්ටෙන්ට් ගැන අයිඩියා එකක් නැහැ. ෆෝන් එකෙන් වීඩියෝ වැඩ කරන එකේ එක අරමුණක්නේ අපේ ලෝ බජට් එක. ඉතින් එතකොට ඔය හැමදේටම ලොකුවට කට්ටිය බඳවාගෙන, පඩි නඩි බේරගෙන වැඩ පටන් ගන්න බැහැ. ඒ වගේ වෙලාවක අපිට මුලින්ම බොක්කේ යාළුවෝ ටිකක් එකතු කරගෙන වැඩේ කොලිටියට පටන් ගන්න පුළුවන්.
යූ ටියුබ් චැනලයක් පටන් අරගෙන මුල් සතියෙන්ම හිට් වෙලා සුවහසක් රසික ජනතාව ලක්ෂ ගණනින් ලයික් කරනවා නම් ඒ මොනාහරි සිද්ධියක් නිසා කලින් ප්‍රසිද්ධ වෙච්චි කෙනෙක්ම වෙන්න ඕනි. එහෙම නැති බොහෝ දෙනා කාලයක් තිස්සේ අමාරුවෙන් තමයි තමුන්ගේ රසික පිරිසක් ගොඩනගා ගන්නේ. ඉතින් යූ ටියුබ් වීඩියෝ එකක් හදන තාක්ෂණික කරුණු අද වෙද්දි යූ ටියුබ් එකේම සෑහෙන තියෙනවා. ඒවත් එකතුකරගෙන යූ ටියුබ් වීඩියෝ සෙට් එකක් ෆෝන් එකෙන් හදාගන්න ඔයාලටත් අදහසක් තියෙනවා නම් ඒක හරියන්න කියලා ලයිෆි අපි ප්‍රාර්ථනා කරනවා.
Leave a Reply