උගත්කම අතින් ඉහළින් ඉන්න ශ්‍රී ලාංකික නළු නිළියෝ – 2 කොටස

මතක ඇතිනේ අපි මේ මාතෘකාව යටතේ ආටිකල් එකක් කරන්න හිතුවේ විවිධ දේශපාලන පක්ෂවලින් නාමයෝජනා ඉදිරිපත් කරපු නළු නිළියන්ට සමාජ මාධ්‍ය වලින් ලැබුණු ප්‍රතිචාර නිසා. ඒ වෙලාවේදී අපිට කියන්න ඕන වුණු දේ තමයි ලංකාවේ ජනතාව අතර වැරදි මතයක් තියෙනවා ක්ෂේත්‍රයේ බොහෝ නළු නිළියන්ට කිසි උගත් කමක් නැහැ කියලා. ඒ වැරදි මතය නිවැරදි කරන්න තමයි අපි පළවෙනි ආටිකල් එක ලිව්වේ. හැබැයි ඒ ආටිකල් එකට ලැබුණු ප්‍රතිචාරත් එක්ක අපි හිතුවා ඒ ආටිකල් එකේ දෙවෙනි කොටසකුත් කරන්න.

උගත්කම් අතින් ඉහළින් ඉන්න ශ්‍රී ලාංකික නළු නිළි​යෝ 1 කොටස මෙතනින් කියවන්න!

 

1. සෞම්‍ය ලියනගේ 

සෞම්‍ය ලියනගේ කියන්නේ ඔහුගේ පියා වන හේමසිරි ලියනගේ වගේම දුර්ලභ ගණයේ නළුවෙක්. බොහෝ වෙලාවට ඔහුට නිරූපණය කරන්න ලැබෙන්නේ සුලභ සිල්ලර චරිත නම් නෙමෙයි. ඒ හැම චරිතයකටම වගේ සාධාරණයක් ඉෂ්‍ට කරන්න ඔහුට හැකියාව ලැබුණා. ඒකට සෞම්‍ය ලබා තිබෙන රංගනය පිළිබඳ අධ්‍යාපනය එක හේතුවක් වෙන්න ඇති. කැලණිය විශ්ව විද්‍යාලයෙන් කලා උපාධියක් ලබාගන්න සෞම්‍ය, ඊට පස්සේ ශාස්ත්‍රපති උපාධිය ලබාගන්නේ ඕස්ට්‍රේලියාවෙ ෆිල්න්ඩර්ස් විශ්වවිද්‍යාලයෙන්. පසුව ඔහු ආචාර්ය උපාධිය ලා ට්‍රෝබේ විශ්වවිද්‍යාලය හරහා ලබා ගන්නවා.

 

2. සුමින්ද සිරිසේන

අද වෙනකොට රෝගාතුර වීම නිසා එතරම් පෙනෙන්නේ නැති වුණත් සුමින්ද සිරිසේන කියන්නේ වේදිකාව, ටෙලිනාට්‍ය, සිනමාව කියන ක්ෂේත්‍ර තුනේම විශිෂ්ටයෙක් බවට පත්වූ රංගවේදියෙක්. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මගින් සමාජ විද්‍යාව පිළිබඳව මූලික උපාධිය ලබා ගන්න සුමින්ද සිරිසේන, ජයවර්ධනපුර  විශ්විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තා. හැබැයි ඔහු සතු රංග ප්‍රතිභාව සහ දැනුම නම් විශ්වවිද්‍යාල උපාධියකට ලඝු කරන්න බැහැ කියන එක නම් අනිවාර්යයෙන්ම කියන්න වෙනවා.

 

3. සුලෝචනා වීරසිංහ

“නිකිණි වැස්ස” වගේ චිත්‍රපටිවල කැපී පෙනෙන රංගනයක නිරත වුණු සුලෝචනා, “ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටයේ  රෝහණ විජේවීරගේ බිරිඳ චිත්‍රාංගනී විජේවීරගේ චරිතය නිරූපණය කිරීමෙන් ප්‍රේක්ෂකයන්ගෙ වගේම රසිකයන්ගෙත් ප්‍රසාදයට ලක් වුණා. නමුත් බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට ඇය ජන සන්නිවේදනය පිළිබඳව පශ්චාත් උපාධිධාරිනියක්. මේ වන විට ඇය ජනමාධ්‍ය අමාත්‍යාංශයට සම්බන්ධ රැකියාවක නිරත වෙමින් ඉන්නවා.

 

4. ඩග්ලස් රණසිංහ

ඩග්ලස් රණසිංහ නම් නළුවා ගැන බොහොම දෙනෙක් දැනන් හිටියාට, ඔහු 70 දශකයේ පටන් ගුවන් විදුලියේ නිවේද​න සහ හඬකැවීම් ශිල්පියෙක් ලෙසට කටයුතු කළ අයෙක් බවට වැඩි දෙනෙක් දන්නේ නැහැ. එතුමා චතුර ලෙස ඉංග්‍රීසි බසින්ද නිවේදන කාර්යය සිදු කළ අයෙක්.

ඔහු පාසල් අධ්‍යාපනය නිම කිරීමෙන් අනතුරුව හෙන්රි ජයසේනගේ “හුණුවටයේ කතාව” වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙනවා. ඒ නාට්‍යයේ මංගල දර්ශනය නැරඹීමට පැමිණි ලෙස්ටර් ජේම්ස් පීරිස් “අක්කර පහ” චිත්‍රපටයට සම්බන්ධ වෙන්න කියලා ඔහුගෙන් ඉල්ලීමක් කරනවා. ඉන්පසුව “රෝමියෝ ජුලියට්” චිත්‍රපටයේ රඟපෑමේදී මුණගැසෙන විදේශික අධ්‍යක්ෂකවරයෙකුගෙන් ලැබුණු දිරිගැන්වීම් මත ඔහු චිත්‍රපටකරණය සහ නාට්‍ය ශිල්පය හැදෑරීම සඳහා එංගලන්තයේ  London International  Film School වෙත ඇතුළත් වෙනවා. එහි සාර්ථක ලෙස අධ්‍යාපනය නිම කරමින් ලංකාවට පැමිණියත්, ලංකාවේ සිටින කලා කල්ලිවලින් ඔහුට නිසි තැනක් නම් ලැබෙන්නේ නැහැ. ඩග්ලස් රණසිංහ නාට්‍ය ශිල්පය හැදෑරීමට එංගලන්තයට යන්​නේ ​ඒ වන විට ඔහු අධ්‍යාපනය ලබමින් හිටපු නීති විද්‍යාලයේ අවසන් විභාගයට පෙනී සිටීමත් අතහැර දමායි. අද වුවද ඔහු එම විභාගය සම්පූර්ණ කළහොත් ඔහුට නීතීඥයකු බවට පත් වීමේ අවස්ථාව හිමි වෙනවා.

 

5. ප්‍රසන්නජිත් අබේසූරිය

ප්‍රසන්නජිත් අබේසූරිය කියන්නේ විශිෂ්ට ගණයේ නළුවෙක් වගේම ක්ෂේත්‍රයට අලුත් නළු නිළියන් රැසක් බිහි කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරපු කෙනෙක්. ඔහු කැලණිය විශ්වවිද්‍යාලයෙන් කලා අංශයෙන් ගෞරව උපාධියක් ලබා ගන්නා අතර පසුව ශාස්ත්‍රවේදී උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් ලබාගන්නවා. මේ වන විට රංගනය පිළිබඳව සරසවි දේශකයෙකු විදිහටත් ඔහු කටයුතු කරනවා.

 

6. අනෝජා වීරසිංහ 

සම්භාව්‍ය ගණයේ චිත්‍රපටිවල වගේම ජනප්‍රිය ධාරාවේ  චිත්‍රපටවලත් එකසේ දක්ෂකම් දැක්වූ අනෝජා වීරසිංහ පළවෙනි වතාවට ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක්වෙන්නේ “මල්දෙණියේ සිමියොන්” චිත්‍රපටයේ සිදුකළ රඟපෑම හේතුවෙන්. එම රඟපෑම වෙනුවෙන් ඇය ජාත්‍යන්තර සම්මානයටත් ලක්වෙනවා. මේ නිසා ඇය හිතනවා රංගනය පිළිබඳව වැඩිදුරටත් හැදෑරිය යුතුයි කියලා. ඒ අනුව ඇය London Academy of Music and Dramatic Art ආයතනය මගින් රංගනය පිළිබඳව විශේෂ හැදෑරීමක් කරනවා. නැවතත් ලංකාවට පැමිණෙන ඇය ඒ හැදෑරීම් භාවිතයෙන් තමන්ගේ රංගන කෞෂල්‍යය දියුණු කරගන්නවා වගේම ලංකාවේ නළු නිළියන් වෙනුවෙන් තමන් ලැබූ අධ්‍යාපනය බෙදා ගනු ලබනවා.

 

7. දිනෙත් ඈපාලිය​න

ලංකාවේ අතිශයෙන් ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන ‘දෙවැනි ඉනිම’ ටෙලි නාට්‍යයේ මලින්තගේ චරිතය හරහා ඔබ හමුවට එන දිනෙත් ඈපාලියන කියන්නෙත් හොඳ හැදෑරීමක් සහිතව ක්ෂේත්‍රයට පිවිසුණු තරුණ නළුවෙක්. ඔහු ලන්ඩනයේ විශ්ව විද්‍යාලයකින් සිනමාව සහ ටෙලිනාට්‍ය සම්බන්ධ ශාස්ත්‍රපති උපාධිය ලැබූ තරුණයෙක්. අධ්‍යාපන කටයුතු හමාර කරලා 2017 වසරේදී ශ්‍රී ලංකාවට පෙරළා එන දිනෙත්, වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයටත්, ඉන්පසුව ටෙලිනාට්‍ය රංගනයටත් යොමු වෙනවා. දිනෙත් මේ වන විට ‘දෙහදක ආදරයක්’ නමින් චිත්‍රපටයක්ද නිර්මාණය කරන්න සමත් වෙලා තියනවා. ඒ චිත්‍රපටයත් සමගම ඔහු සිනමා අධ්‍යක්ෂකවරයෙක් සහ නිෂ්පාදකවරයෙක් හැටියටත් ඉදිරියේදී ඔබ හමුවට ඒවි.

 

8. රුවන් වික්‍රමසිංහ 

පාසල් යන කාලයේ රුවන් වික්‍රමසිංහගේ හීනය වුණේ වෛද්‍යවරයෙක් බවට පත්වීම. නමුත් ඒ සඳහා ඔහුට ලකුණු හයක් මදි වෙනවා. ඉන් අනතුරුව ඔහු කොළඹ විශ්ව විද්‍යාලයෙන් විද්‍යා උපාධියක් සම්පූර්ණ කරනු ලැබුවා. දහම් පාසල් ගුරුවරයකු ලෙස ද කටයුතු කරන රුවන් ඒ සම්බන්ධ විභාග සඳහා පෙනී සිට ඇත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. මේ වන විට ඔහු ඉංග්‍රීසි ගුරුවරයෙක් විදිහටත් කටයුතු කරනවා.

 

මේ ලැයිස්තුවට ඇතුළත් වෙන්න ඕන තවත් නළු නිළියෝ ගැන අපිට කමෙන්ට් එකකින් කියන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරලා අපිට සහයෝගයක් දක්වන්න කියන පණිවිඩයත් මතක් කරන්න කැමතියි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *