ඔයාලට මතක ඇති පහුගිය දවස්වල අපි අපේ ගී පද රචිකාවියෝ සහ ගී පද රචකයෝ ගැන ආටිකල් කීපයක් ඔබ වෙත ගෙනාවා. ඒ ආටිකල් සඳහා ඔබගෙන් හොඳ ප්‍රතිචාරත් ලැබිලා තිබ්බා. මේ නිසා අපි හිතුවා ඒ ආටිකල් සීරීස් එකේම දිගුවක් විදිහට ගීත ලියපු නළුවෝ කීපදෙනෙක් ගැන විස්තර ඔබ වෙත ගෙන එන්න.
1. ගාමිණී ෆොන්සේකා
ගාමිණී ෆොන්සේකා කියන්නේ අපේ රටේ සිනමා සක්විති. තවමත් කිසිම නළුවෙකුට ඔහුගේම මට්ටමට තබා ඔහු අසළට ඒමට වත් හැකියාව ලැබිලා නැහැ. බොහෝ වෙලාවට අනාගතයේ දී එහෙම වෙන එකකුත් නැහැ. ඒකට එක හේතුවක් වෙන්න ඇත්තේ ගාමිණී ෆොන්සේකා ලබා තිබුණු අධ්‍යාපනය සහ ඔහු ලබා තිබූ ජීවන අත්දැකීම්. මේ නිසා අනෙකුත් ක්ෂේත්රවලත් ගාමිණී ෆොන්සේකා ප්‍රවීණයෙක් වුණා. මේ නිසාම ගීත ලියපු නළුවන්ගේ ලැයිස්තුවේ මුලටම එන්නත් ඕන ගාමිණී ෆොන්සේකාගේ නම. ඔහු ලියූ ජනප්‍රියතම ගීතය මයුරිගේ කතාව චිත්‍රපටය වෙනුවෙන් රචනා කරපු “සුදෝ මං ආදරෙයි” ගීතය කියලා කිව්වොත් වැරැද්දක් නැහැ. ඒ වගේම අමරදේව සහ නන්දා මාලනී ගායනා කරන “බඹරිඳු බඹරිඳු කුමට වඩින්නේ” ගීතයත්, නොමියන මිනිසුන් වෙනුවෙන් අමරසිරි පීරිස් ගායනා කරන “මිහිපිට අඟලක් නැති” ගීතයක් ඔහුගේ පද රචනා.
2. වොලී නානායක්කාර
වොලී නානායක්කාර මුලින්ම අපට හම්බ වෙන්නේ ගුවන්විදුලි හඬ කැවීම් ශිල්පියෙක් සහ නිවේදකයෙක් විදිහට. ඊට පස්සේ ඔහුව “සාරවිට” චිත්‍රපටය තමයි චිත්‍රපටි නළුවෙක් බවට පත් කරන්නේ. ඒ වගේම වොලී නානායක්කාර කියන පදරචකයා අපිට මුණගැහෙන්නේ “මාතර ආච්චි” චිත්‍රපටියේදී. ඒ “සඳකඩ පහණක කැටයම් ඔපලා” ගීතය රචනා කිරීම නිසා. මේ ගීතය අද දක්වාම අතිශය ජනප්‍රියයි. මේ නිසාම ඇතැම් අය වොලී රචනා කළේ මේ ගීතය විතරයි කියන වැරදි මතයක ඉන්නවා. නමුත් වොලී තවත් ගීතයක් රචනා කළා. ඒ “වස්තුව” චිත්‍රපටය වෙනුවෙන්. අපි දැන් එම් එස් ප්‍රනාන්දු ගායනා කරන එම ගීතයට සවන් දෙමු.
3. හර්බි සෙන්විරත්න
මුල් කාලයේදී නළුවො තෝරද්දි ඒ අයට ගායනා කිරීමේ හැකියාව තිබීම ගැනත් විශේෂ අවධානයක් බොහෝ අධ්‍යක්ෂකවරු යොමු කළා. හර්බි සෙනවිරත්නත් එහෙම ගායන හැකියාව තිබ්බ නළුවෙක්. හැබැයි ඊට අමතරව අපිට ඔහුගේ නම චිත්‍රපටිවල නාමාවලි වල දැකගන්න ලැබුණේ ගී පද රචකයෙක් සහ දෙබස් රචකයෙක් විදිහට. හැබැයි ඔහුව ඉතිහාසගත වෙන්නෙ හෙළ ගී රැජින වන ලතා වල්පොල සමග යුග ගී ගායනා කළ පළමු ගායකයා විදිහට. ඒ “එදා රෑ” චිත්‍රපටයෙන්. එම චිත්‍රපටය සඳහා “තෑගි නම් කෝක වුණත් පිරියා” ලෙස ඔහු ගීතයක් රචනා කළා.
4. හර්බට් එම්. සෙනෙවිරත්න
හර්බට් එම් සෙනෙවිරත්න ක්ෂේත්රයට පිවිසෙන්නේ ගී පද රචකයෙක් විදිහට. පස්සෙ කාලෙකදි ඔහුගේ රූපය නිසාම පෙම්වතාගේ චරිතය රඟපෑවත්, ඔහු කිසිදා තමන්ගේ ගීත රචනා කලාව අමතක කළේ නැහැ. උදාහරණයක් විදියට ඔහු තමන් විසින් අධ්‍යක්ෂණය කරපු “රන් එතනා” සහ “සිටු දියණිය” යන චිත්‍රපටි දෙක සඳහාත් ගීත රචනා කළා. විශේෂයෙන්ම ඔහු රුක්මණී දේවිය වෙනුවෙන් රචනා කළ “සුදට සුදේ සිරිය දිලේ පුන් සඳේ”, “සිරියාවී මගේ තී මිහිරේ” ආදී ගීත රැසක් අතිශයින් ජනප්‍රියත්වයට පත් වුණා. අපි දැන් ඔහු විසින් රචනා කළ තවත් ජනප්‍රිය ගීතයකට සවන් දෙමු.
5. ඩබ්ලිව්. ජයසිරි
ඩබ්ලිව් ජයසිරි රචනා කරල තියෙන්නෙ ගීත දෙකක් විතරයි. හැබැයි ඒ ගීත දෙකම ලංකාවෙ සිනමා ගීත කලාවේ විශිෂ්ටතම නිර්මාණ බවට පත් වුණා කියලා කිව්වොත් වරදක් නැහැ. ඒ “බඹරු ඇවිත්” චිත්‍රපටය සඳහා ඔහු විසින් රචනා කරපු “උදුම්බරා හිනැහෙනවා” සහ “ආදරයේ ඔබ ඔබමයි” ගීත නිසා. ඒ නිසා 1979 දී පැවති පළමු ජනාධිපති සම්මාන උළෙලේදී හොඳම ගීත රචකයාට හිමි සම්මනයත් ඔහුට හිමිවුණා. අපේ දැන් ඔහුගේ උදුම්බරා ගීතයට සවන් දෙමු.
6. හෙන්රි ජයසේන
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රටත් සමානව ජනප්‍රියත්වයක් තබාගන්න සමත් වෙච්ච වේදිකා නාට්‍ය නිර්මාණ ශිල්පියෙක් විදිහට හෙන්රි ජයසේන හඳුන්වන්න පුළුවන්. හැබැයි පස්සෙ කාලෙක නම් එතුමා වැඩිපුරම ජනප්‍රිය වුණේ සිනමා සහ ටෙලි නාට්‍ය නළුවෙක් විදිහට. විශේෂයෙන් “හුණුවටයේ කතාව” වේදිකා නාට්‍ය සඳහා එතුමා අර්ථපූර්ණ සහ භාවපූර්ණ ගීත රාශියක් රචනා කළා. මේ නිසා බොහෝ දෙනෙක්ගේ අදහසක් තියෙනවා එතුමා වේදිකා නාට්‍ය ගීත පමණයි කියලා රචනා කළේ. ඒ කතාව නිවැරදි නැහැ. අපි දැන් එතුමා විසින් රචනා කරපු බොදු බැති ගීතයකට සවන් දෙමු. මේ ගීතය ගායනා කරන්නේ නන්දා මාලනිය.
7. හියුගෝ ප්‍රනාන්දු
ලංකාවේ පළමු සිනමා ගී පද රචකයා වෙන්නේ හියුගෝ ප්‍රනාන්දු. සිනමා ක්ෂේත්රයට සම්බන්ධ අය නම් ඔහුට කිව්වේ හියුගෝ මාස්ටර් කියලයි. “කඩවුණු පොරොන්දුවට” ඇතුළත් වුණු චිත්‍රපටි ගීත 12 ම රචනා වුණේ ඔහුගේ අතින්. ඒ අතරින් රුක්මණී දේවිය සමඟ ඔහු ගායනා කළ “සන්ධ්‍යාවෙ ශ්රීය රම්‍යා ලෙසේ පේනා” ගීතය අදටත් ජනප්‍රියයි. ලතා වල්පොල සහ ධර්මදාස වල්පොළ ගායනා කළ “ලංකාරෙන් මලක් පිපී, හොඳ හොඳම දේ ලොව” වැනි ගීතද රචනා කළේ එතුමා විසින්. අපි දැන් එතුමා විසින් එඩී ජයමාන්න සහ ජෙමිනි කාන්තා වෙනුවෙන් රචනා කළ “කඩවුණු පොරොන්දුව” සඳහා ඇතුළත් වුණු ගීතයකට සවන් දෙමු.
එහෙමනම් ඉතිං වෙනදා වගේම මේ ආටිකල් එකට එකට ඇතුළත් වෙන්න ඕන තවත් රංගනයේ යෙදුණු පද රචකයෝ ඉන්නවා නම් ඒ අය ගැන කමෙන්ට් එහෙකින් අපිට කියන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ ආටිකල් එක ඔයාලගේ වෝල් වල ෂෙයාර් කිරීමෙන් අපිට සහයෝගයක් දක්වන්න කියලා ඉල්ලීමක් කරන්න කැමතියි.
Leave a Reply