මේ කතා කරන්න යන්නෙ පිටරටවලනම් හුඟක් ප්‍රසිද්ධ, හුඟ දෙනෙක් දැනුවත්, ඒ වගේම සමාජයට බොහොම වැදගත් මාතෘකාවක් ගැනයි. හැබැයි ලංකාවේ අපිටනම් මේක අලුත් මාතෘකාවක්. අලුත් කිව්වේ හුඟක් අය මේ ගැන දැනුවත් නැහැ. සමහරුනම් අහලවත් නැහැ. අහල තියෙන අය උනත් උඩින් උඩින් දන්නව උනාට හරියටම මේ ක්‍රමවේදය ගැන තොරතුරක් දන්නෙ නැහැ. හැබැයි මේක කියෙව්වට පස්සෙනම් හිතෙයි මේ ගැන දැනගත්ත එක ඇත්තටම හොඳයි කියලා. දැන් නැතත් සමහරවිට කවදාහරි දවසක මේක ලංකාවෙත් ප්‍රසිද්ධ මාතෘකාවක් වෙයි. මොකද මේ ක්‍රමවේදය කියන්නෙ දරුවෝ ලබන්න හැකියාවක් නැති අයට ලොකු උදව්වක් වෙන ක්‍රමවේදයක්. අපි කියවලම බලමු ඉතින්.
1. මොකක්ද මේ Surrogate Pregnancy කියන්නෙ?
අපි ජීවිතේ ආදරේ කරනවා, කසාද බඳිනවා, දරු මල්ලො හදනවා. හැබැයි සමහර දෙනෙකුට මුලින් කියපු දෙකම කරන්න පුළුවන් උනාට විවිධ සෞඛ්‍යමය හේතු නිසා තමන්ගෙම කියල දරුවෙක් හදන්න බැරි වෙන්න පුළුවන්. එහෙම බබාලා හදන්න බැරි ගැටළු තියෙන දෙදෙනෙකුට අපි දන්න, ලංකාවේ හුඟක්ම ප්‍රසිද්ධ එකම විසඳුම තමයි අසරණ දරුවෙක් අරගෙන හදාගන්න එක. හැබැයි එහෙම පිට දරුවෙක් හදාගන්න අකමැති, තමන්ගෙම ලේ වලින් හැදුණු දරුවෙක් ඕන කියලා හිතෙන අයත් ඉන්නවනෙ. මේ Surrogacy ක්‍රමවේදය කියන්නෙ අන්න එහෙම අය වෙනුවෙන්ම හැදුණු ක්‍රමවේදයක්.
මේකෙදි වෙන්නෙ කුලියට ගත්ත වෙනත් කාන්තාවකගේ ගර්භාෂයක දරුවෙක් උවමනා යුවළගෙන් ඒ දෙන්නගෙම හෝ, එක්කෙනෙකුගේ ඩිම්භ හෝ ශුක්‍රාණු භාවිතා කරල හදපු කළලයක් තැන්පත් කරලා, අවශ්‍ය සති 40ක කාල සීමාව ඒ ගැහැණු කෙනාගෙ කුසේ කළලයට වැඩෙන්න ඉඩ දීල නිසි කාලයේදී දරුවා එලියට අරන් අර යුවළ විසින් හදාගන්න එක. මේකෙදි දරුවගේ ජීව විද්‍යාත්මක මව සහ පියා වෙන්නෙ අර යුවළ. දෙන්නම හෝ සමහරවිට එක්කෙනෙක්. එහෙම වෙන හැටි ඔක්කොම විස්තරය කියෙව්වම තේරෙයි.
2. මේ ක්‍රමය තෝරාගන්න හේතු
කලින් කිව්ව වගේ මේ ක්‍රමය තෝරාගන්න ප්‍රධානම හේතුව තමයි මොකක්හරි සෞඛ්‍යමය ගැටළුවක් නිසා දරුවෙක් හදන්න බැරිකම. තව වෙනත් හේතුත් තියෙනවා. ඔක්කොම කිව්වොත් මෙහෙමයි.
- යුවළකගේ පිරිමි කෙනාගෙ ශුකාණුවල කිසිම ගැටළුවක් නැහැ. කාන්තාවගෙත් ඩිම්බ වල කිසිම ගැටළුවක් නැහැ. හැබැයි ගර්භාෂය හෝ සමස්ථ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත ගැටළුවක් නිසා ගැබ් ගැනීමට හෝ, කළලය පවත්වා ගන්න බැහැ. අන්න ඒ වගේ අවස්ථා වල.
- කලින් වගේම බීජ වල කිසිම ගැටළුවක් නැතත් කාන්තාවගේ ශරීරයේ වෙනත් සෞඛ්‍යමය ගැටළුවක් නිසා ගැබ් ගන්න බැරි හෝ ගැබ් ගැනීම අවදානම් අවස්ථාවක.
- සමලිංගික විවාහ. ලංකාවේ අපිටනම් අහල පුරුදුත් නැති, සමහරු අහන්න කැමතිත් නැති මාතෘකාවක්. හැබැයි පිටරටවලනම් බොහොම සාමාන්‍ය සංසිද්ධියක්. මේකෙත් අවස්ථා දෙකක් තියෙනවා.
- පිරිමි දෙදෙනෙකු අතර විවාහයකදී ඒ එක්කෙනෙකුගේ ශුක්‍රාණු සමඟ තුන්වන පාර්ශවයේ කාන්තාවකගේ ඩිම්බයක් සංසේචනය කරලා හදාගන්න කළලයක් මඟින් ලබාගන්න දරුවෙක්. මේ ඩිම්බය දරුගැබ දරණ කාන්තාවගේ වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්තම් අනන්‍යතාවය හෙළිකරන හෝ නොකරන වෙනත් පාර්ශවයක donor කෙනෙකුගේ වෙන්නත් පුළුවන්.
- කාන්තාවන් දෙදෙනෙකු අතර විවාහයකදී. ඒ කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ කුසේ වෙනත් පිරිමියෙකුගේ ශුක්‍රාණු මඟින් සංසේචනය කරපු කළලයක් හෝ කාන්තාවන් දෙන්නටම ජීව විද්‍යාත්මකව අම්මා කියන තනතුර දරන්න අවශ්‍යනම් ඒ යුවළගෙන් එක කාන්තාවකගේ ඩිම්බයක් හා පිටස්තර පිරිමියෙකුගේ ශුක්‍රාණුවක් මඟින් සංසේචනය කෙරුණු කළලයක් අනෙක් කාන්තාවගේ කුසේ තැන්පත් කිරීම.
- තමන්ගෙම දරුවෙක් ලබාගන්න අවශ්‍ය තනිකඩ පුද්ගලයින්.
3. Surrogacy ක්‍රම
කලින් හේතු යටතේ කතා කරපු කාරණා වලත් මේ ක්‍රම ගැන විස්තර අඩංගුයි. ප්‍රධානවම surrogacy ක්‍රම දෙකයි තියෙන්නෙ.
- පිටස්තර යුවළක් හෝ තනිකඩ පුද්ගලයෙක් වෙනුවෙන් ඔවුන්ගේ දරුවෙක් තමන්ගේ කුසේ වැඩෙන්නට ඉඩ ලබාදීම. මේකෙදි වෙන්නෙ ගර්භාෂය ලබාදීමක් විතරයි. මේකෙදි කියන්නේ gestational carrier කියල.
- එහෙම නැත්තම් සම්ප්‍රදායික විදිහට ඒ කිව්වේ traditional surrogacy ක්‍රමයට පිටස්තර පුරුෂයෙකුගේ, දරුවා අවශ්‍ය යුවළගෙන් පිරිමියාගේ ශුක්‍රාණු හෝ වෙනත් පරිත්‍යාගශීලියෙකුගේ ශුක්‍රාණු සහ ගැබ දරණ කාන්තාවගේ ඩිම්බ මඟින් සංසේචනය කරන දරුවෙක්. මෙතැනදී ගර්භාෂය සහ තමන්ගේ ඩිම්බ කියන දෙකම ලබාදෙනවා. ගැබ් ගැනීම බොහෝවිට සිදු කරන්නෙ IUI ක්‍රමයට.
4. Surrogate Mother කෙනෙක් වෙන්නෙ කොහොමද?
මේක රට රටවල නීති අනුව වෙනස් වෙන්න පුළුවන්. මූලිකම සුදුසුකම් නම් මේවයි.
- වයස – සාමාන්‍ය දරුගැබක් දැරිය හැකි කාලසීමාව. අවුරුදු 21 සිට 45 වගේ කාලය දක්වා.
- කලින් දරුවන් – අඩුම තරමේ කලින් එක නිරෝගී දරුගැබක් හෝ දරල තියෙන්නම ඕන. සංකූලතා නැති පූර්ණ කාලසීමාව, ඒ කිව්වෙ සති 40ම ගැටලුවකින් තොරව තිබුන ගර්භණී කාලයක් වෙන්න ඕන. ඒ වගේම සාමාන්‍ය දරු ප්‍රසූතීන් 5කට සහ, සිසේරියන් සැත්කම් 2කට වඩා අඩුවෙන් කරල තියෙන්නත් ඕන.
- ජීවන රටාව – හොඳ සහයෝගයක් ඇති, මත්කුඩු, මත්ද්‍රව්‍ය, අපචාර වලට ගොදුරු නොවෙන වටපිටාවක ජීවත් වෙන්න ඕන.
- ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග, මානසික සහ ශාරීරික සෞඛ්‍ය පරීක්ෂණ වලින් සමත් වෙන්නත් ඕන.
5. වියදම සහ නීතිමය පසුබිම
කලිනුත් අපි කිව්වනෙ මේක දරුවන් නැති හෝ ලබාගන්න බැරි යුවළක් වෙනුවෙන් කරන දෙයක් කියල. ඉතින් සත්භාවයෙන් නොමිලේ තමන්ගේ ගර්භාෂය, කාලය, කැපවීම මේ ක්‍රියාව වෙනුවෙන් ලබාදෙන්න පුළුවන්. හැබැයි පිටරටවලනම් හුඟක් වෙලාවට මේ දේ සිදුවෙන්නෙ මුදලට. නොමිලේ කරන අයත් නැතුවාම නෙමෙයි. කලින් කතා කරගත්තු මිලකට යටත්ව තමයි කාන්තාවන් හුඟක් මේ surrogacy වලට කැමති වෙන්නෙ.
නීතිමය පසුබිම කියන්නෙ මේ වෙනුවෙන් අත්සන් කෙරෙන නීතිමය ගිවිසුම. මොකද සාමාන්‍ය ක්‍රමයේදී දරුවෙකුගේ මව සහ පියා වෙන්නෙ ජීව විද්‍යාත්මක මව සහ පියා. දරුවා බිහිකරන්නේ ජීව විද්‍යාත්මක මව. හැබැයි මෙතැනදී දරුවා බිහිවෙන්නෙ වෙනත් කාන්තාවකගේ කුසින් නිසා ඇයට දරුවා හිමි නැති බවත්, කාල සීමාව අවසානයේ දරුවා මේ ක්‍රියාවට මූලික වෙන යුවළ ලබාගන්න බවත් කියල ගිවිසුමක් අත්සන් කරන්න අවශ්‍යයි. ඒ වගේම තමයි ගෙවන්න, ලබාගන්න පොරොන්දු වෙන මුදල් ගැනත් මේ ගිවිසුමේ සඳහන් වෙන්න ඕන. ගිවිසුමේ වගන්ති සහ කාලසීමාව ඉවර වුණාම මේ දෙපාර්ශවය අතර සම්බන්ධතාවය ඉවරයි.
6. ක්‍රමවේදය
ඔන්න මේ වැඩේ වෙන්නෙ මෙහෙමයි. මුලින්ම දරුගැබ දරන්න කැමති කාන්තාවක් හොයාගන්න ඕන. ඊළඟට අපි කලින් කියපු විදිහේ නීතිමය ගිවිසුමක් අත්සන් කරන්න ඕන. ඊළඟට gestational ක්‍රමයෙදි නම් මව්පිය දෙපළගේ බීජ මඟින් නල දරුවෙක් විදිහටත් නැතිනම් සම්ප්‍රදායික ක්‍රමයටනම් පියාගේ ශුක්‍රාණු IUI ක්‍රමයට ඇතුළත් කිරීම මඟිනුත් කළලය තැන්පත් කරන්න ඕන. දරුවා බිහිවුනාට පස්සෙ නීතිමය ගිවිසුම සම්පුර්ණ කරලා දරුවාගේ සම්පුර්ණ අයිතිය අදාළ පාර්ශවය ලබාගන්න ඕන.
7. ලංකාවේ පසුබිම
ඔන්න කතන්දරේ ඔක්කොම කිව්වට ලංකාවෙනම් තාම මෙහෙම ක්‍රමවේදයකට නීති සම්පාදනය වෙලා නැහැ. කවදම හරි ලංකාවේ මේ ක්‍රමය නීතිගත උනාට පස්සෙ මිසක් කවුරු කොයි විදිහට උදව් කරන්න ආස උනත්, උදව් ලබාගන්න ඕනකම තිබුණත් නීතිමය පසුබිමක් නැතුව හිතුමතේට මෙහෙම දේවල් කරන එක ලොකු අවදානමක්.
Leave a Reply