තාක්ෂණික අංශයෙන් නව නිපැයුම් ලොව වටාම රට රට වල බිහි වෙනවා. ඒත් ඒවා නිසි යාන්ත්‍රණ වලින් ශක්තිමත් වෙලා අවසාන නිෂ්පාදනයක් විදිහට හැම තැනින්ම එළියට එන්නේ නැහැ. ඒ වගේම ඇතැම් දුප්පත් රටවලට අධ්‍යාපනය හරහා නව නිපැයුම් කිරීමට හැකියාව ලැබිලා තියෙනවා. ඒත් ඒ නව නිපයුම් නව නිෂ්පාදන විදිහට වෙළඳපොලට දාන්න වෙළඳපොල හැකියාව සහ කර්මාන්ත හැකියාව ඔවුන්ට නැහැ. එතකොට ඒවා නව නිමැවුම් විදිහටම වළපල්ලට යනවා. ඒත් තාක්ෂණික හැකියාව වැඩි රටවලදි නව නිමැවුම් නව ඒවා විදිහටම නවීන ලෝකයට මිලදී ගන්නට අවස්ථාව ලැබෙන තැන දක්වාම දියුණු වෙනවා.
1. ජර්මනිය
ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් පවසන විදිහට ජර්මනිය කියන්නේ තව දුරටත් බඩු වෙළඳාම් කරන රටක් පමණක්ම නෙමෙයි. ජර්මනිය තුළ දෙවන ලෝක යුද්ධයෙන් පසුව අද දක්වා බඩු භාණ්ඩ නිෂ්පාදනය කෙරනවා. එයින් හයි ටෙක්, ඒ කියන්නේ සංකීර්ණ නවෝත්පාදන බිහිකරන්න ජර්මනියට විශේෂ හැකියාවක් තියෙනවා. යාන්ත්‍රික ඉංජිනේරු කාර්යයන් වලට යන්ත්‍ර, එන්ජින් ආදිය නිපදවන්න ජර්මනිය බොහොම දක්ෂයි. ලොව පුරා සුවිශාල යන්ත්‍ර සූත්‍ර සැපයීම අතින් ජර්මනියට තියෙන කුසලතාවය අනෙක් රටවලට වඩා වැඩියි. නිපදවීමේ අංශ වලිනුත් වෛද්‍ය උපකරණ සහ ඖෂධ කර්මාන්ත ආදියට අවශ්‍ය දේවල් නිර්මාණය කරන්නත් ජර්මනිය දක්ෂ වෙලා තියෙනවා.
2. දකුණු කොරියාව
ලංකාවෙන් දකුණු කොරියාවට ගිය යහළුවෙක් එක්ක ටිකක් කතා බස් කළොත් දකුණු කොරියාව කියන්නේ කොපමණ දියුණු රටක්ද කියලා අපිට දැනගන්නට හැකියි. කොරෝනා වෛරස තත්ත්වයට වුණත් ඉතා ඉක්මනින් ඒ අවශ්‍ය තාක්ෂණික වටපිටාව සකසා ගෙන, අඩුවෙන් රට වහලා, ඒත් වෛරසය වැළඳීම් හැකිතාක් අඩුකරගන්නට දකුණු කොරියාවට හැකි වුණා. ලොව පුරා ජනප්‍රිය සැම්සන් (Samsung), හුන්ඩාය් (Hyundai), එල් ජී (LG) වගේ ආයතන දකුණු කොරියාව මූලික කරගෙන ක්‍රියාත්මක වෙනවා. ඒ සමාගම් හරහා විශාල පරාසයක බඩු භාණ්ඩ නිෂ්පාදනය වෙනවා. සැම්සන් සමාගම අපි හැමෝම දන්න විදිහට ටීවී සහ ස්මාට්ෆෝන් වෙළඳපොල තුළ ලංකාවෙදිත් ජනප්‍රියයි. ඒත් විශාල සැම්සන් සමාගමේ හැකියාව ඊට වඩා විශාල පරාසයක පැතිරිලා තියෙනවා.
3. සිංගප්පූරුව
සිංගප්පූරුව කුඩාම රටක්. ඒත් කුඩා වපසරියක ඉඳගෙන නැගෙනහිර ආසියාව සහ බටහිර ආසියාව යා කරන මුහුදු මාවතේ වෙළඳපොලට දැඩි බලපෑමක් කරන්න සිංගප්පූරුවට හැකි වෙලා තියෙනවා. ඔවුන් එකතුකරගත් ශක්තිය නිසා නැව් වලට සේවාවන් සැපයීම, වෙළඳාම් වලට අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීම ආදී ක්ෂේත්‍රවලින් සිංගප්පූරුව දියුණු රටක් වෙලා තියෙනවා. ව්‍යාපාරයකට ආසියාව හසුකරගන්නට අවශ්‍ය නම් ඔවුන් බොහෝවිට සිංගප්පූරුව වගේ කුඩා දියුණු රටක මුලින්ම ඔෆිස් එකක් ඕපන් කරගෙන ඉන්නවා. ඒ හරහා ඔවුන්ට ව්‍යාපාර පැතිරවීමේ හැකියාව ඉබේම ලැබෙනවා. ඒ පහසුකම් සැලසීමේ ආර්ථික මාදිලියට අවශ්‍ය තාක්ෂණික පසුබිම සිංගප්පූරුව වඩාත් හොඳින් දියුණු කරලා තියෙනවා.
4. ස්විට්සර්ලන්තය
බේත් හේත් නිෂ්පාදනය තුළින් ස්විස් රට ඉස්සරහින් ඉන්නවා. කුඩා කඳු සහිත අභ්‍යන්තර රටක් වන ස්විස් රටේදි නිෂ්පාදනය කරන ලද බඩු බාහිරාදිය තවත් තාක්ෂණික අතින් දියුණු කිරීම සිදු කරනවා. ස්විස් රට සුන්දර කඳුකර රටක්. ලෝකයේ තවත් කඳුකර රටවල් ගොඩක් තිබුණත් තාක්ෂණයෙන් අනූන ස්විස් රට තුළදී පොහොසත් සංචාරකයින්ට සිය සුඛෝපභෝගී අත්දැකීම් සංචාරය පුරාවට අත්දකින්නට පුළුවන්කම ලැබෙනවා. ස්විස් රටේ පොදු ප්‍රවාහනය ගත්තත් දියුණු රටක පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ තියෙන තාක්ෂණික වැඩිදියුණු කිරීම් බොහොමයක් තියෙන නිසා, ස්විස් යන සංචාරකයින්ට ඒ තාක්ෂණිකව දියුණු වටපිටාව සංචාර කටයුතු වලට ආශිර්වාදයක් වෙනවා.
5. ඊශ්‍රායලය
බොහෝ දෙනා දන්නා පරිදි ඊශ්‍රායලය මිලිටරි තාක්ෂණය අතින් නවීනතම රටක්. ඒ නිසාම අවට මැදපෙරදිග රටවල් රැසක්ම තරහකාරයෝ විදිහට තියාගෙනත් ඊශ්‍රායලයට දියුණු රටක් විදිහට ඔළුව උස්සගෙන ඉන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඊශ්‍රායලය කාන්තාරබද, වැස්ස අඩු රටක් වුණත් එහි කෘෂිකර්මය බොහොම දියුණුයි. ජලය සහ පස වඩාත් අරපිරිමැස්මෙන් පාවිච්චි කරලා විශාල අස්වනු ලබාගන්න ඊශ්‍රායල රටේ ගොවියන්ට පුළුවන්. ඒකට ඊශ්‍රායල රටේ තාක්ෂණික හැකියාවනුත් උදව් වෙලා තියෙනවා.
6. ෆින්ලන්තය
ෆින්ලන්තය හැමදාම වගේ තාක්ෂණික ලැයිස්තු වල මුල් තැන ඉන්නවා. ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමය හරහා වඩාත් සාර්ථක නවීන ලොවට අවශ්‍ය නවීන පුරවැසියන් නිෂ්පාදනය කරනවා. කොහොමටත් ස්කැන්ඩිනේවියානු රටවලට තාක්ෂණික නිමැවුම් අලුතින් බිහිකිරීම අතින් මුල් තැන හිමි වෙන්න ඔවුන්ගේ ශිෂ්‍ය කේන්ද්‍රීය දියුණු අධ්‍යාපන ක්‍රමවේද හේතු වෙලා තියෙනවා. ෆින්ලන්තයේ ආර්ථිකය තුළ යම් යම් පසුබෑම් ඇතිවුණත් ඔවුන්ගේ රට තාක්ෂණික හැකියාවන් අතින් නම් ලේසියෙන් පසුබැහැලා නැහැ.
7. ඇමරිකාව
අමරිකා එක්සත් ජනපදය කියන්නේ ලෝක බලවතා. ඔවුන්ට ලෝකයේ මුල්තැනට එන්නට විවිධාකාර බාධාවන් තියෙනවා. උදාහරණ විදිහට චීනයෙන් ඇමරිකාවට දිගින් දිගටම බලපෑම් එල්ල වෙනවා. ඒත් බඩු නිපදවන රටක් විදිහට චීනයට ලොව හොඳම මිලදී ගන්නන් සිටින ඇමරිකාව ලොකුවට වැදගත් වෙනවා. අමරිකාව තුළ විශාල වශයෙන් බඩු බාහිරාදිය නිෂ්පාදනය නොකළත්, වඩාත් දියුණු හයි ටෙක් ක්ෂේත්‍රයන් තුළ ඇමරිකානු ආධිපත්‍යය දැඩිව තියෙනවා. ඒ වගේම අන්තර්ජාලය ආශ්‍රිත සේවාවන් ආදියේදිත් අමරිකානු හැකියාවන් වැඩියි.
තාක්ෂණික දියුණුවේ එක්තරා පැතිකඩක් පුද්ගලයින් දාහකට තියෙන සෙල් ෆෝන් ගණනින් නියෝජනය වෙනවා. ඇත්තටම එක් පසෙකින් මිනිස්සුන්ගේ අතේ ෆෝන් වැඩි වීමත් දියුණුවක් තමයි. ඒත් තාක්ෂණික නවෝත්පාදන අතින් දියුණු රටවල්, ඒ කිව්වේ සරලවම අලුත් දේවල් ලෝකයට දායාද කරලා ඒවා විකුණන රටවල් බැලුවාම එයාල හැම පුරවැසියෙක්ටම ස්මාට් ෆෝන් සහ කනෙක්ෂන් ලබාදීමෙන් ඉස්සරහට ගිහින් තියෙනවා. ඔවුන් අධ්‍යාපනය සහ පද්ධති වඩාත් නවීකරණය කරලා, නව නිමැවුම් වලට නවීන ලෝකය තරණය කරන්න අවස්ථාව සළසලා තියෙනවා. අපේ රටත් දියුණු කරනවා, දියුණු කරන්න ඕනි වෙලා තියෙනවා කියලා මේ දවස්වල ඇහෙනවා. ඒත් ඇත්තටම දියුණුව කියන්නේ මොකක්ද? අලුත් තාක්ෂණික යුගයේ සංවර්ධිත රටක් වෙන්නේ කොහොමද කියලා හිතන එකත් අපේ අයට අලුත් දෙයක්.
Leave a Reply