කොටුගොඩ ධම්මාවාස හාමුදුරුවෝ පිළිබඳව අප්‍රකට කතා

අද ලංකාවේ වැඩ වෙසෙන ධර්මධර, විනයධර මහ නායක ස්වාමීන් වහන්සේ නමක් තමයි කොටුගොඩ ධම්මාවාස හාමුදුරුවෝ කියන්නේ. වර්තමානයේ උන්වහන්සේ  ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක පදවිය දරනවා. ඒ වගේ ම විචිත්‍ර ධර්ම කථිකයෙක් විදිහට ප්‍රසිද්ධියක් උසුලන උන් වහන්සේගේ ධර්ම දේශනාව වලට පැහැදුණු නේපාලය, මියන්මාරය වගේ රටවල බෞද්ධයෝ පවා උන් වහන්සේට එම රටවල විහාරස්ථාන තනවලා පූජා කරලා තියෙනවා.

අද අපි උන්වහන්සේගේ ජීවිතයේ රසවත් සිද්ධි කීපයක් පිළිබඳව තොරතුරු ඔබ වෙත ගෙන එන්න තීරණය කළා. ඒ සඳහා අපිට උපාලි සමරසිංහ මහත්මයා රචනා කරපු “අමා බුදු බණ දෙසා වදහළ බුදු පුත් කොටුගොඩ ධම්මාවාස මහා නායක හාමුදුරුවෝ” කියන උන්වහන්සේගේ චරිතාපදානය උපකාරී වුණා කියලා ගෞරවයෙන් සිහිපත් කරන්න කැමතියි.

 

1. හූරන පාරන ජාතකය 

ලංකාවේ ලොතරැයි ක්‍රමය ආරම්භක අවධියේ දී ලොතරැයි කියන්නේ තවත් සූදුවක් බවත්, එය බෞද්ධ සංස්කෘතියට විරුද්ධ බවත් පවසමින් විශාල ආන්දෝලනයක් රට තුළ ඇති වුණා. ඒ අවස්ථාවේදී ප්‍රේමකීර්ති ද අල්විස් උන්වහන්සේව සොයාගෙන ඇවිත් මේ ගැන යමක් පවසන ලෙස උන්වහන්සේට පැවසුවා. උන්වහන්සේ එම අවස්ථාවේදී නිවසට අඩුපාඩුවක් නොමැති අවස්ථාවක මුදල් වලින් ලොතරැයියක් ගන්න එකේ වැරැද්දක් නැති නමුත් කුමන ආකාරයක වුණත් සූදුවට ඇබ්බැහි වීම පිරිහීමේ කාරණයක් බව  බුද්ධ දේශනාවේ සඳහන් වන බව සඳහන් කළා. නමුත් ගුවන් විදුලියෙන් ප්‍රචාරය වුණේ උන්වහන්සේ ලොතරැයි ගැනීමේ වැරැද්දක් නෑ කියන කොටස විතරයි. මේ නිසා දිගින් දිගට ම උන් වහන්සේට පුවත්පත් මගින් දැඩි ලෙස පහර දුන්නා.

ඒ අතරතුරේ දී රාවය පත්තරේ කාටූන් එකක මෙන්න මේ වගේ කතාවක් ලියලා තිබ්බා. අනාගතයේදී මෛත්‍රී බුදු හාමුදුරුවෝ උණ පඳුරක් යට ඉඳන් භික්ෂූන් වහන්සේලාට ධර්ම දේශනාවක් කරනවා. ඒ අවස්ථාවේ දී උණහපුලුවෙක් උණ පඳුරේ  ඉඳන් උණ පතුරු දිගින් දිගටම සූරනවා. භික්ෂූන්වහන්සේ මෛත්‍රී බුදු හාමුදුරුවන්ගෙන් අහනවා ඇයි මේ උණහපුලුවා දිගින් දිගටම උණ බට හූරන්නේ කියලා. උන්වහන්සේ පවසනවා මේ උණහපුලුවා ගෞතම බුද්ධ ශාසන සමයේ හිටපු කීර්තිධර භික්ෂුවක්, සූරා වාසනාව ලබා ගන්නා සූදුවක් වෙනුවෙන් උපකාරී කිරීම නිසා මේ අයුරින් කල් ගත කරන්න වෙලා තියෙනවා කියලා.

මේ කතාව ලියලා තියෙන්නේ අරිසෙන් අහුබුදු මහත්තයා. ඔහු පස්සේ කාලෙකදි නම් ධම්මාවාස හාමුදුරුවන්ගේ ළඟම හිතවතෙක් බවට පත්වෙලා තියෙනවා.

 

2. වලාකුළු අස්සෙන් වඩින්න 

දවසක් කොටුගොඩ ධම්මාවාස හාමුදුරුවන්ට තවත් භික්ෂූන් වහන්සේ නමක් මහ රෑ දුරකථනයෙන් අමතල තියෙනවා. මේ මහ රෑ කතා කරේ මොකද කියලා ඇහුවම කියලා තියෙන්නේ “ස්වාමීන් වහන්ස මම මේ දැන් රහත් වුණා, ඇඟට යම් අමාරුවකුත් දැනෙනවා. මම හෙට උදේ බස් එකෙන් ඔබ වහන්සේව මුණ ගැහෙන්න ඔබ වහන්සේ වාසය කරන ගල්කිස්සේ ධර්මපාලාරාමයට වඩින්නම්” කියලා. මේක අහපු ධම්මාවාස හාමුදුරුවෝ කියන්නේ “ඇයි නම දැන් රහත් වුණා කිව්වා නේද? එහෙනම් වළාකුළු අස්සෙන් වඩින්නකෝ බස් එකේ වගේ තදබදයකුත්  නෑ. ඇඟට අමාරුවකුත් නෑ.” කියලායි. මේක අහපු ගමන් අනිත් පැත්තෙන් දුරකථනය තියලා. හැබැයි අද වෙනකල්ම කොටුගොඩ ධම්මාවාස හාමුදුරුවෝ මුණගැහෙන්න ඒ රහතන් වහන්සේ නම් වැඩලා නෑ.

 

3. උන් වහන්සේ කළ පින්කම් 

හිටපු ආරක්ෂක ඇමතිවරයෙකු වූ රංජන් විජේරත්න අමාත්‍යවරයාගේ පියා පී. එච් විජේරත්න ධම්මාවාස හාමුදුරුවන්ට හිතවත්ව හිටපු දායකයෙක්. එතුමා විසින් උන් වහන්සේ වෙනුවෙන් වැල්ලවත්ත ප්‍රදේශයෙන් පර්චස් 93 ක ඉඩමක් පූජා කළා. පස්සේ කාලෙක මේ ඉඩමේ දිළිඳු පවුල් ගණනාවක් පැල්පත් අටවා ගත්තා. උන් වහන්සේව මුණ ගැසීමට පැමිණි ව්‍යාපාරිකයින් ගණනාවක් ඒ ඉඩම තමන්ට ලබාදෙන ලෙසත්, ඒ සඳහා උන්වහන්සේට සුවිශාල මුදලක් ලබා දෙන බවත් පැවසුවා. නමුත් උන් වහන්සේ ඒ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරලා ප්‍රේමදාස අගමැතිවරයා සම්බන්ධ කරගෙන එම ඉඩමේ නිවාස සංකීර්ණයක් හදලා ඒ මිනිසුන් වෙනුවෙන්ම ලබා දුන්නා.ප්‍රේමදාසට මේ නිවාස සංකීර්ණයට උන්වහන්සේගේ නම දාන්න ඕනකම තිබ්බත්, ඒ ඉල්ලීමත් උන්වහන්සේ ප්‍රතික්ෂේප කළා. පසුව ඒ සඳහා රන්ජන් විජේරත්න පුර කියන නම උන්වහන්සේගේ ඉල්ලීම පරිදි යොදා ගත්තා.

 

4. නොවැරදුණු දානය 

එක වතාවක් ධම්මාවාස හාමුදුරුවෝ ලංකාවේ වැඩ විසූ තවත් සුප්‍රකට ස්වාමීන්වහන්සේ නමක් වන අම්බලන්ගොඩ ධම්මකුසල හිමියන් බැහැ දකින්න ගියා. ඒ වෙන කොට උන්වහන්සේ අසනීප තත්ත්වයෙන් පසුවුණා. ඒ වෙද්දි අනිත් භික්ෂූන් වහන්සේලා ධම්මකුසල හාමුදුරුවන්ට ඖෂධීය කැඳක් හදලා දීලා වෙනත් දානයක් සඳහා වැඩම කරලා තිබ්බ වෙලාවක්. තමන්ව බලන්න ආපු ධම්මාවාස හාමුදුරුවන්ට දහවල් දානය සඳහා දෙන්න දෙයක් නොවීම ධම්මකුසල හාමුදුරුවොන්ට සෑහෙන හිතේ අමාරුවක් වෙලා තියෙනවා. හැබැයි ටික වෙලාවකින් මහ පුදුම දෙයක් වෙනවා. එක්තරා පුද්ගලයෙක් හදිසියේම එක නමකට පමණක් දානය රැගෙන පන්සලට එනවා. ඔහු කියන්නේ අද තමන්ගේ උපන් දිනය බවත් එය තම දියණිය විසින් මතක් කරන තෙක් අමතක ව තිබූ බවත්. ඒ නිසා උපන් දිනය වෙනුවෙන් පින් කමක් කිරීමට සිතා මේ අයුරින් එක හිමි නමකට දානය රැගෙන එන්න තීරණය කළා කියලා ඔහු කියනවා.

 

5. බළංගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නායක ස්වාමීන් වහන්සේගේ මස් වැළඳීම 

බළංගොඩ මහනායක හාමුදුරුවෝ නිර්මාංශ වුණ සිල්වත් ස්වාමීන් වහන්සේ නමක්. වතාවන් කීපයකදී උන් වහන්සේ සමඟ දානමය පිංකම් වලට කොටුගොඩ ධම්මාවාස හාමුදුරුවන්ට වඩින්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ හැම අවස්ථාවකම වස් පිළිවෙළට මුල් ආසනයේ වැඩ ඉන්නේ බළංගොඩ හාමුදුරුවෝ. දානය බෙදා ගෙන එද්දී මස් මාංශ බෙදෙනවා නම් බළංගොඩ හාමුදුරුවෝ තමන්ගේ පාත්‍රයේ එක තැනක් පෙන්නලා එතැනට මස් මාළු බෙදන්න කියලා සංඥා කරනවා. නමුත් උන්වහන්සේ වළඳන්නේ නැහැ. නැවතත් බෙදන්න උත්සහ කළත් තවමත් මස් මාංශ ඇති බවට සංඥා කරමින් එය වළක්වනවා. තමන් වහන්සේ මස් මාංශ නො වැළඳුවත් ඒවා වළඳන භික්ෂූන් වහන්සේලා කෙරෙහි ගිහියන් තුළ අප්‍රසාදයක් ඇතිවීම වැළැක්වීම උදෙසා උන්වහන්සේ මේ පියවර අනුගමනය කරලා තියෙනවා.

 

6. උන්වහන්සේගෙන් ඉල්ලූ අපූරු ඉල්ලීම් 

මුල් කාලයේදී උන්වහන්සේ ධර්ම දේශනා සඳහා වැඩම කළේ පොදු ප්‍රවාහන සේවා වලින්. මේ නිසා ඇල්බට් එදිරිසිංහ මහත්මයා උන් වහන්සේට කාර් රථයක් පූජා කරන්න තීරණය කළා. හැබැයි මේ රථය පූජා කරන ගමන් ඔහු ඉල්ලීම් හතරක් ඉල්ලා සිටියා.

 

1. කිසිම අවස්ථාවක ස්වාමීන් වහන්සේ ඇතුව හෝ නැතුව කාන්තාවක් මේ රථයේ ගෙනියන්න එපා. 

2. වාහනයේ රියදුරා විටින් විට මාරු කරන්න එපා. එක් පුද්ගලයෙකු පමණක් රියදුරෙක් විදියට තබා ගන්න. 

3. වාහනය වෙනුවෙන් එක ගරාජ් එකක් පමණක් තබා ගන්න. 

4. වෙනත් පුද්ගලයන්ගේ අවශ්‍යතා සඳහා මේ වාහනය භාවිතා කරන්න ඉඩ ලබා දෙන්න එපා.

 

කොටුගොඩ ධම්මාවාස හාමුදුරුවෝ කියන විදිහට මේ ඉල්ලීම් හතරටම එකඟ නොවීම නිසා වාහනයට ලෙඩක් වැටිල නෑ. ඒ වගේම උන් වහන්සේට ලෙඩක් වැටිල නැහැය කියලා උන්වහන්සේ කියන්නේ හිනාවෙමින්.

 

7. උත්තරීතර මහා නායක පදවිය

අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක පදවියට පත් වෙන්න නම් අමරපුර සංඝ සභාවට අයත් යම් කිසි නිකායක මහනායක පදවියට පත් වෙලා තිබිය යුතු වෙනවා. කොටුගොඩ ධම්මාවාස හාමුදුරුවෝ නියෝජනය කරන නිකායේ මහා නායක ධුරය දැරූ අම්බලන්ගොඩ සුමංගල හිමියන් තමන් වහන්සේගේ වයෝවෘද්ධ බව හේතුවෙන් එම මහා නායක පදවියෙන් ඉවත් වෙලා එම ධූරය අනුනායක කොටුගොඩ ධම්මාවාස හිමියන්ට ලබා දීමට කටයුතු කළා. ඉන් මාස කීපයකට පසුව අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක පදවිය දැරූ අතිපූජනීය දවුල්දෙණ ඤාණිස්සර හිමියන් අපවත්වී වදාළා. මේ නිසා  එම පදවියට අමරපුර මහා සංඝ සභාව විසින් කොටුගොඩ ධම්මාවාස හිමියන් පත් කිරීමට තීරණය කළා. ඒ වන විටත් අම්බලන්ගොඩ සුමංගල හිමියන් වැඩ වාසය කරනවා. මේ සිදුවීම අමරපුර මහා සංඝ සභාවේ ඉතිහාසයේ සුවිශේෂී සිද්ධියක්. ඒ වගේම මේ වන විට කොටුගොඩ ධම්මාවාස හිමියන්ගේ සහ රාමඤ්ඤ නිකායේ මහා නායක නාපානේ ප්‍රේමසිරි මහා නාහිමියන්ගේ එකඟතාවයෙන් එම නිකායන් දෙකම ඒකාබද්ධ වී තිබෙනවා.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *