කේක් ටූල්ස් නැතුව කේක් එක හදන් අයිසින් කරමුද?

කලින් අපි ලිව්ව කේක් ටිප්ස් වල අන්තිමට ලිව්වනෙ කේක් එකක් ටූල්ස් නැතුව අයිසින් කරගන්නත් කියාදෙනව කියල. අද මේ කතා කරන්නෙ ඒ ගැන. අපි කවුරුත් ආසයිනේ කේක් කන්න. ඒ වගේම ගෙදර හදපු කේක් වලට තමා වැඩි දෙනෙක්ගෙ මනාපය තියෙන්නෙ. ඒත් කේක් හදන්න කැමති අයට එන ලොකු ප්‍රශ්නයක් තමයි ඕන කරන බඩු නැති එක. මීට පස්සෙ බීටර් නෑ, නොසල් නෑ, අවන් නෑ කියල වද වෙන්න ඕනම නෑ. 

 

කේක් එකක් හරියටම හදාගන්න ටිප්ස් 7ක් මෙතනින්!

 

1. කේක් එක හදන්න මුලින්ම ඕන දේවල්

කේක් එකක් හදනකොට අමුද්‍රව්‍ය ටික ගාණට මෙශර් කරගන්න ඕනේ. ඒකට අපිට ස්කේල් එකක් නැත්තන් මෙශරින් කප්ස් ටිකක් ගත්තත් පුළුවන්. 

 

කෝප්ප, මේස හැඳි සහ තේ හැඳි මිලිලීටර් වලින් මෙහෙමයි මැනගන්නෙ,

 

කප් 1      = මේස හැඳි 16  = තේ හැඳි 48 = මි.ලී 240 

කප් 3/4  = මේස හැඳි 12  = තේ හැඳි 36  = මි.ලී 180

කප් 2/3  = මේස හැඳි 11  = තේ හැඳි 32  = මි.ලී 160

කප් 1/2  = මේස හැඳි 8    = තේ හැඳි 24  = මි.ලී 120

කප් 1/3  = මේස හැඳි 5    = තේ හැඳි 16   = මි.ලී 80 

කප් 1/4  = මේස හැඳි 4     = තේ හැඳි 12   = මි.ලී 60 

මේස හැඳි 1  = මි.ලී 15

තේ හැඳි 1     = මි.ලී 5 

 

බීට් කරන්න බීටර් එකක්ම ඕනේ නෑ. ඉස්සර අපේ ආච්චිල, අම්මල කේක් හැදුවෙ ලී පත්තකින්. කේක් එක පත්තකින් කලවම් කරන කොට ඔරලෝසුවේ කටු කැරෙකෙන අතට එකම විදියට කලවම් කරගන්න. කේක් එකට වාතය හොඳින් ඇතුල් වෙලා සොෆ්ට් කේක් එකක් හදාගන්න පුළුවන්. 

 

2. වැලි පෝරණුව

දැන් හිතමුකො අපිට අවන් එකකුත් නෑ කියලා. ගෑස් ලිපේ කේක් එක හදාගන්න පුළුවන්. 

 

ගැඹුරු සහ අඩිය ඝණකම බඳුනක් (මැටි හෝ ප්ලාස්ටික් නොවන) ගෙන සමාන සයිස් ගල් කැට හෝ ලුණු කැට අඩිය වැහෙන්න අතුරා ගන්න. කැමති නම් පිරිසිදු කර වියලාගත් වැලි පාවිච්චි කරන්නත් පුළුවන්. 

 

ඒ වැලි හෝ ගල් තට්ටුව උඩින් මැදට වන්නට යකඩ දරණුවක් හෝ එවැනි ස්ටෑන්ඩ් එකක් තබා, හොඳින් තදවෙන පියනකින් වසා විනාඩි 10ක් සාමාන්‍ය අඩු ගින්දරේ රත් කරගන්න. ප්‍රී හීට් කරගත් වැලි පෝරණුව සූදානම්. 

 

මේක ඇතු​ළෙන් කේක් ට්‍රේ එක පරිස්සමෙන් තියල පියන තදින් වහල විනාඩි 25ක් බේක් කරගන්න.

 

3. කේක් ස්ටීම් කරන හැටි

ලිපේ බේක් කරගන්න එක කරදරයි වගේ නම් පහලින් කියන විදියට ස්ටීම් කරලා ගන්න පුළුවන්. 

හොඳට බටර් ගාපු ට්‍රේ එකට කේක් බැටර් එක දාගෙන රයිස් කුකර් එකේ ස්ටීමර් එක හෝ වෙන ස්ටීමර් එකක් අරගෙන කේක් ට්‍රේ එක ඒක ඇතු​ළෙන් තියලා පියන වහගන්න.

දැන් විනාඩි 30-40ක් වගේ හොඳට ස්ටීම් කරගන්න.

 

4. කේක් එක අයිසින් කරන්න සකසා ගන්නෙ කොහොමද?

බේක් හෝ ස්ටීම් කරගත් කේක් එක හොඳට නිවෙන්න තියන්න. පොඩ්ඩක් හරි රස්නෙ තිබ්බොත් අයිසින් එක දියවෙනවා.

 

ඊලඟට තංගුස් නූලක් අරන් කේක් එක ස්ලයිස් කරගන්න. නූල කේක් එක වටෙන් එක මිම්මකට උස අරන් ඔතාගන්න. නූලෙ දෙකෙ​ළවර එකට අල්ලල තමන්ගෙ පැත්තට ඇදලා කපාගන්න. එතකොට ලස්සනට කේක් එක දෙකට කැපිලා එනවා.

කේක් එකේ උඩ පොත්ත වගේ කොටස ගාණට කපාගන්න.

 

ඊට පස්සෙ කේක් එක අයිසින් කරන්න කලින් උඩ යට මාරු  කරගන්න. එතකොට කේක් එක උඩට සමබර පැතලි මතුපිටක් ලස්සනට ගන්න පුළුවන්.

 

5. කේක් එක අයිසින් කරන්නයි යන්නේ…

බටර් අයිසින් හදන රෙසිපි නම් ඕන තරම් සයිට් එකේ තියනවා. ඒ ඕනම විදියකට අයිසින් එක හදාගන්න. ඒ ලිපි පහත ලින්ක් ක්ලික් කරලා කියවන්න.

තනියම කේක් එකක් අයිසින් කරන්න ආසයිද? එහෙනම් මේ අයිසින් රෙසිපි ඔයාලටමයි

කේක් එක රස කරන අයිසින් රෙසිපි – දෙවැනි කොටස

 

සොෆ්ට් බටර් අයිසින් නම් කේක් එක ක්‍රම්බ් කෝට් කරගන්නයි ගන්නෙ. ඒකට ඔයාට පැතලි පිහියක් පාවිච්චි කරන්න පුළුවන්.

 

6. හැඩ කරගන්න නොසල් හෝ ටූල්ස් ඕනම නෑ

කේක් එක උඩ ඩිසයින් ඇඳගන්න පහත රූප දාලා තියනවා වගේ පාන් කපන පිහියෙ දැති, හැඳි, ගෑරැප්පු පාවිච්චි කරන්න පුළුවන්.

 

නොසල් වෙනුවට පයිපින් බෑග් එකේ තුඩ එක එක හැඩ වලට කපලා නොසල් වලින් දාන ඩිසයින් දාගන්න පුළුවන්. ඒ වගේම පයිපින් බෑග් එක කට්ටකින් හිල් කරලා අයිසින් කළාම ග්‍රාස් ඩිසයින් එක ලස්සනට පයිප් කරගන්න පුළුවන්. කේක් එක වටේ අයිසින් කරගන්නත් පොඩි පිහි තුඩක් ආධාරයෙන් පුළුවන්.

 

7. කටර්ස් නැතුව රෝස මල් හදමු

බටර් අයිසින් වලින් මල් හදන්න නම් හාඩ් බටර් අයිසින් හදාගන්න ඕනේ. ඒක අතේ නොඇලෙන ගාණට හදාගෙන රෝලින් පින් එකක් නැතිනම් බෝතලයක් ආධාරයෙන් තුනී කරගෙන රවුම් 4ක්  කපාගන්න.

 

දැන් ඒ රවුම් එක රවුමක් භාගෙට වැහෙන විදියට පේළියට තියාගෙන ගිහිල්ලා කොණක ඉ​ඳලා නවාගෙන එන්න. ඒ එන රෝල් එක දෙකට කපලා ලස්සන මල් දෙකක් හදාගන්න අපිට පුළුවන්. ඒ වගේම පිහියෙන් කොළේක හැඩ කපලා ගෑරැප්පුවෙ තුඩෙන් කොළ ඩිසයින් එක දාගන්නත් පුළුවන්.

 

8. බටර් අයිසින් වලින් ෆොන්ඩන්ට් අයිසින් වගේ අයිසින් කරමු

මේකටත් අපිට හාඩ් බටර් අයිසින් ඕන වෙනවා. ලන්ච් ශීට් එකක් හෝ ඉටි කොළයක් අරගෙන අයිසින් එක තුනී කරගන්න. කැමති නම් වෙනත් පාට අයිසින් වලින් තැන් තැන් වලට දාලා තුනී කරලා කැමති ඩිසයින් එකක් හදාගන්න. 

 

ඊළඟට සොෆ්ට් බටර් අයිසින් එකෙන් කේක් එක කවර් කරගෙන මේ ශීට් එක උඩට කේක් එක ගෙනල්ලා නවාගන්න. දැන් ෆොන්ඩන්ට් අයිසින් එකේ වගේ වටේ බිත්ති වලට අයිසින් එක ඇලෙන විදියට ඉටි කොළය වටෙන් කවර් කරගන්න.

 

ටිකක් වෙලා ෆ්‍රිජ් එකේ දාලා තියලා  හිමින් ඉටිකොළය ගලවගන්න. ඊලඟට පයිපින් බෑග් එකෙන් කැමති බෝඩර් එකක් දාගන්න.

 

මේ විධි වලට කේක් එක අයිසින් කරගන්න හරිම ලේසියි. ඒ වගේම වැඩි ටූල්ස් ඕනේත් නෑ. ඔයාලත් හිත හිත ඉන්නැතුව ට්‍රයි කරලා අපිටත් බලන්න ෆොටෝස් දාන්න ඕනේ හොඳේ. 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *