ගැහැණු දරුවොම ඉන්න පවුලක සහෝදරියෝ අතරේ බැඳීම හරිම ශක්තිමත්. මේ සහෝදරියොම ඉන්න එකේ වාසිත් සෑහෙන්න තියෙනවා. දුවලා දෙන්නෙක් එකම ගෙදරක ඉන්නව කියන්නෙ ඒ තරම් සිරියාවක් තවත් කොහෙද ඉතින්. දුවල දෙන්නා තුන්දෙනා වුණාම, තුන්දෙනා හතරදෙනා වුණහම ඊටත් වඩා සිරියාවයි. කොහොමද කෙල්ලෝ සෙට් එකම ලස්සනට පාරෙ බැහැලා යනකොට තියෙන ගැම්ම? හැබැයි ඔය සිරියාව එහෙම පිටින්ම ඉවරෙටම ඉවරයි සිරියාවයි ඉරානයයි වගේ ගහ මරාගන්න පටන් ගත්තම. ආයේ ඉතින් කෙහෙවලුත් පටලවගෙන තමයි කෙළවරක් වෙන්නෙ. අපි කලින් දවසක කතා කළා අක්කා නිසා නංගි කෙනෙක්ට කන්න වෙන කටු ගැන. මේ කියන්න යන්නෙ අක්කයි නංගියි, නැත්තම් අක්කලයි, නන්ගිලයි ඔක්කොම එකට සෙට් වෙලා දාගන්න වලි ගැන. අක්කලා නංගිලා ඉන්න ඕනම ගෙදරක මේ කියන ජාතියෙ හැම වලියක්ම අඩුමගානෙ එකපාරක් හරි වෙලා තියෙනව කියන එකනම් ඉර හඳ තරම්ම විශ්වාසයි.
1. ඇඳුම් වලි
කෙල්ලොම ඉන්න ගෙදරක ලොකුම වලියක් තමයි මේ ඇඳුම් වලිය. අක්කල නංගිල ළඟ ළඟ වයස් වල අය වුණහම ඔක්කොටම එහා. පොඩි කාලෙනම් ලොකු වාසියක් තමයි ඇඳුම් බෙදාගෙන අඳින්න පුළුවන් වෙන එක. හැබැයි ලොකු වුණාමනම් ඒක මහ යුද්ධෙකට හේතුවක්. අක්කගෙ ලස්සන ඇඳුමක් දැක්කොත් නංගි ඇඳන් යනවා. නංගි අලුතෙන්ම ගෙනාපු ඇඳුමක් එයාට කලින් අක්ක ඇඳගෙන යනවා. ඇඳගෙන ගියාටත් පස්සෙ තමා වැඩේ අහුවෙන්නෙ. ඉතින් ගිහින් ගලවගෙන එන්නයෑ.
2. හදාගත්ත බබා
අක්කගෙන් මේ ටික අහගත්තෙ නැති නංගි කෙනෙක් ඉන්නවනම් ඉතින් ඔන්න එයානම් ඇත්තටම හදාගත්ත බබෙක් තමයි. පොඩි කාලෙ නංගිව අවුස්සල පොඩි ආතල් එකක් ගන්න අක්කල කරන එක වැඩක් තමයි මේක. නංගි හදාගන්න ගත්ත බබෙක්. අක්ක පොඩි කාලෙ කැළේ දාල ගිහින් ඉන්නකොට හම්බවෙලා තමයි අම්මලා නංගිව අරන් ආවෙ වගේ කතා කියල නංගිව අවුස්සන්න අක්කල හරි ආසයි. නංගිත් ඉතින් කතාව ඇත්ත කියලා හිතල අඬාගෙන ගිහින් අම්මට නඩු කියන්නෙ. අම්මලාටත් මේ වලි බේරලම ඉවරයක් නැහැ.
3. ගෙදර වැඩ
ගෙදරක ගැහැණු ළමයි ඉන්නකොට ඉතින් කොයි අම්මත් ගෙදර දොරේ පුංචි පුංචි වැඩ වලට ඒ ගැහැණු දරුවන්ව සම්බන්ධ කරගන්නවනෙ. ඔන්න ඔතන තමයි ඊළඟ වලිය. අම්ම එක්කෙනෙක්ට වැඩක් කිව්වම ඔන්න එයා කෑගහන්න පටන් ගන්නව. මට තමයි ඔක්කොම, අරයට කියන්නෙ නැද්ද කියල. දෙන්නටම එකතුවෙලා වැඩක් කරන්න කිව්වම වැඩ බෙදාගන්න බැරුව තමයි ඊළඟට රණ්ඩු වෙන්නෙ. මොකද දෙන්නම බලන්නෙ වැඩේ අනික් කෙනාගෙ කරේ එල්ලල මාරු වෙලා යන්නනෙ. තනි ගැහැණු ළමයෙක් ඉන්න ගෙදරක වගේ නෙමෙයි ගැහැණු ළමයි දෙන්නෙක් හරි ඊට වැඩියෙන් හරි ඉන්න ගෙදරක. වැඩක් පටන් ගත්තොත් වලියක් තමයි.
4. ආදරේ වැඩි කාටද?
ඊළඟ ප්‍රශ්නෙ තමයි අම්මයි තාත්තයි වැඩියෙන් ආදරේ කාටද කියන එක. මේක අක්කල නංගිලා රණ්ඩු වෙන්න නිතරම හොයාගන්න හේතුවක්. ගෙදර ඉතින් එක්කෙනෙකුට පොඩිම පොඩි වෙනස් සැලකීමක් ලැබුනම ඇති. එක්කො එයාට වැඩියෙන් රුපියල් 10ක් 20ක් දුන්නොත්, වැඩියෙන් කෑමක් දුන්නොත්, එක්කෙනෙකුට එපා කියපු දේකට අනික් කෙනාට අවසර දුන්නොත් ඔන්න එතකොට මහා වලියක් පටන් ගන්නව. මේ වලිය නම් අක්කල නංගිල රණ්ඩුවෙලා ඉවර වෙන එකක් නෙමෙයි. අර පැත්තක ඉන්න අහිංසක අම්මයි තාත්තයිත් ගාවගන්නව.
5. රහස් එළිකරන තර්ජන
අක්කල නංගිලා කියන්නෙ කාටත් වඩා හොඳම හොඳ යාළුවො. අක්කෙකුට නංගියෙක්, නංගියෙක්ට අක්කෙක් කියන්නෙ ජීවිතේ ඕනම දෙයක් බෙදාගන්න, රහස් කියන්න හොඳම යාළුවෙක් කියන එකයි. ඕනම ගමනක් බිමනක් යන්න, හොර වැඩක් කරන්න වුණත් එහෙමයි. හැබැයි ඉතින් යාළුකම වගේම තමයි පොඩි වලියක් ගිහින් තරහ උනහම. අර ඔක්කොම රහස් දන්න නිසා ඒව අම්මට තාත්තට කියනව කියල බය කරන එක තමයි අක්කල, නංගිල අතරේ වෙන ඊළඟ දරුණුම රණ්ඩුව. ඉතින් රහස් වලට, හොර වැඩ වලට ගාව ගත්ත වගේ නෙමෙයි, අක්කව හෝ නංගිව ශේප් එකේ තියාගන්නත් ඕන. හැබැයි ඔය කිව්වට, තර්ජනය කරල බය කළාට අක්කට, නංගිට අහිතක් වෙන දෙයක් නම් අනික් කෙනා කරන්නෙ නැහැ.
6. පොඩි පොඩි හොරකම්
අයියල මල්ලිල වගේ නෙමෙයි, අක්කල නංගිලා ඉන්නව කියන්නෙ. දෙන්නම පාවිච්චි කරන බඩු එකවගේ, දෙන්නගෙම උවමනාවන් එක වගේ නිසා තමන්ගෙ කියල වෙන් කරගෙන පාවිච්චි කරන එක හරිම අමාරුයි. ෂැම්පු, පර්ෆියුම් වගේ රූපලාවන්‍ය බඩු, සල්ලි, ඇඳුම් පැළඳුම්, සපත්තු වගේ එකී මෙකී නොකී ඕනෑම දෙයක් දෙන්නට දෙන්න හොරකම් කරගෙන අන්තිමේ රණ්ඩුත් කරගෙන තමයි කෙළවර වෙන්නෙ. කොච්චර දෙන්නට වෙන වෙනම බඩු තිබ්බත් අනික් කෙනාගෙ ඒවගෙන් අරහෙන් මෙහෙන් හොරකම් කරන එකනම් නැවතෙන්නෙ නැහැ ඉතින්. හුඟක් වෙලාවට ඒවා ඕන නිසාමත් නෙමෙයි. අනික් කෙනාව අවුස්සන්නත් මේ පොඩි පොඩි හොරකම් කරනවා.
7. ඉස්කෝලෙ වැඩ
මේ ඉස්කෝලේ යන කාලෙදි අක්කලා නංගිලා දාගන්න වලි. ඔන්න නංගිට පාඩම් කියල දෙන්න අක්කට පැවරෙනවා. පටන් ගත්ත වෙලාවේ ඉඳන්ම දෙන්න වලි ඉතින්. නංගි වැඩ කරන්නෙ නෑ කියල අක්ක බනී. අක්ක බනිනවා, ටොකු අනිනවා කියල නංගි නාහෙන් අඬයි.
ඊළඟට ඉස්කෝලෙ පන්තියේ වෙනියා ගැන, කරන බාහිර වැඩ, ඒවගේ ප්‍රතිඵල ගැන එහෙමත් සෑහෙන්න වලි දාගන්න කට්ටිය තමයි අක්කලා නංගිලා. මොකද ටිකක් හරි වැඩියෙන් ඉස්කෝලෙ වැඩට කැපිලා පේන කෙනාට අම්මලා හොඳ කියනකොට අනික් අයට බලාගෙන ඉන්න බැහැනෙ ඉතින්. මොකක්හරි පොඩි හේතුවක් හදාගෙන වලියක් දාගන්නවම තමයි. හැබැයි ගෙදරදී එහෙම වුණාට ඉස්කෝලෙ ඇතුලෙදිනම් තමන්ගෙ අක්කගෙ, නංගිගේ හැකියාවල් ගැන වැඩියම සතුටු වෙන්නෙත්, හැමෝම එක්ක කිය කියා ආඩම්බර වෙන්නෙත් මේ සහෝදරියොම තමයි.
Leave a Reply