රජකම් කිරීමට සැරසෙන කුමර කුමරියෝ

මතක ඇතිනේ කලින් දවසක අපි යුරෝපයේ රජ පවුල් ගැන කෙටි සටහනක් ඔබ වෙතට ගෙනාවා. අද ඒ ආටිකල් එකේම දිගුවක් විදිහට අපි කතා කරන්න යන්නේ ඊළඟට රජකම උරුම වෙන්න නියමිත කුමර කුමරියන් පිළිබඳ​ව. විශේෂත්වය වෙන්නේ මේ කුමර කුමරියන් බොහෝ දෙනෙක් ඉතාමත් ලාබාල වියේ පසුවන අය වීම. කොහොම වුණත් අපි මේ ලැයිස්තුවට චාල්ස් කුමාරයාගේ නම ඇතුළත් කරන්නේ නැහැ. මොකද එයා ගැන ගොඩක් දෙනෙක් දන්නවා වගේම එයා ලාබාලත් නැති නිසා. 

 

1. ජිග්මේ නම්ගෙයාල් වන්ග්චුක්

භූතාන රජ කිරුළේ මීළඟ උරුමකරු වන ජිග්මේ කුමරුට තවම වයස අවුරුදු හතරයි. මේ කුමරුගේ උපත සැමරීම සඳහා රට පුරා ගස් එක්ලක්ෂ අටදහසක ප්‍රමාණයක් සිටවීමට පිය රජු වන ජිග්‍මේර් කේසාර් නම්ගෙයාල් රජු කටයුතු කළා. ඊට හේතුව වන්නේ 108 සුබ අංකයක් ලෙස බෞද්ධ රටක් වන භූතානය තුළ ඇති පිළිගැනීමයි. 

 

2. එළිසබෙත් කුමරිය 

දහ අට හැවිරිදි එළිසබෙත් කුමරිය බෙල්ජියමේ අනාගත රැජින බවට පත් වීමට නියමිතව සිටිනවා. වර්තමාන බෙල්ජියමේ රජු වන පිලිප් රජුගේ සහ මැටිල්ඩේ බිසවගෙ වැඩිමහල් දියණිය වන ඇයට තවත් සහෝදර සහෝදරියන් තිදෙනකු සිටිනවා. ඇගේ උපතට වසර දහයකට පෙර පාර්ලිමේන්තුව විසින් නව පනතක් සම්මත කළ අතර ඒ අනුව රජ කිරුළේ හිමිකාරීත්වය රජ පවුලේ වැඩිමහල් දරුවාට උරුම වුණා. ඊට පෙර ඒ උරුමය සීමා වූයේ රජ පවුලේ වැඩිමහල්ම ම පිරිමි දරුවාට පමණයි. මේ නිසා ඇය අනාගතයේදී බෙල්ජියමේ පළමු රැජින බවට පත් වනු ඇත.

 

3. කැතරිනා අමාලියා

රැජිණියන් තිදෙනෙකුගේ පාලනයෙන් පසුව නෙදර්ලන්තයට වර්තමානයේ දී රජෙක් ලැබී තිබෙනවා. නමුත් ඔහුගේ රාජ කාලයෙන් පසුව කිරුළු දරන්නේද තවත් රැජිනක්. ඇය වර්තමාන රජු වන විලියම් ඇලෙක්සැන්ඩර් රජුගේ සහ මැක්සිමා බිසවගේ වැඩිමහල් දියණිය වන කැතරිනා අමාලියා කුමරියයි. මේ වන විට දාසය හැවිරිදි වියේ පසු වන ඇය තවමත් පාසල් අධ්‍යාපනය ලබමින් සිටිනවා.

 

4. ලියනෝර් කුමරිය 

ස්පාඤ්ඤයේ වර්තමාන රජු වන හයවන පිලිප් රජුගේ සහ ලැටීෂියා රැජිනගේ වැඩිමහල් දියණිය වන ලියනෝර් කුමරියට සිටින්නේ තවත් නැගණියක් පමණයි. ස්පාඤ්ඤයේ පවතින නීතිය අනුව රජුට පුත් කුමාරයෙක් ලැබුණොත් කිරුළ ඔහුට හිමි විය යුතු අතර මේ වන විට එවැනි තත්ත්වයක් ඇතිවීමේ ඉඩකඩ අවම මට්ටමක පවතින නිසා ලියනෝර් කුමරිය ස්පාඤ්ඤයේ කිරුළ හිමි කුමරිය ලෙස සැලකෙනවා. තවමත් පාසල් යන දාහතර හැවිරිදි ලියනෝර් කුමරිය මේ වන විට තම රජ පවුල නියෝජනය කරමින් විවිධ උත්සව අවස්ථාවලටත් සහභාගී වෙනවා.

 

5. මවුලේ හසන් 

වර්තමානයේ මොරොක්කෝවේ රජු වන හයවැනි මොහොමඩ් රජුගෙන් පසුව එම රාජ්‍යයේ රජකම භාර ගැනීමට නියමිතව සිටින්නේ දහහත් හැවිරිදි  මවුලේ හසාන් කුමරුයි. මොරොක්කෝ රජ පවුල ලෝකයේ ධනවත්ම රජ පවුලක් ලෙස සැළකෙන අතර ගුවන් යානා පැදවීම කෙරෙහි විශේෂ කැමැත්තක් දක්වන හසන් කුමරු පෞද්ගලික ජෙට් යානාවකද උරුමක්කරුවෙකු වනවා.

 

6. ලෙරෝතොලි සේසියෝ කුමරු 

වර්තමානය අප්‍රිකාවේ පවතින රජෙකු විසින් පාලනය කරන රටවල් තුන අතරින් එකක් වන ලෙසෝතෝ රාජ්‍යයේ මීළඟ උරුමකරු වන්නේ දහතුන් හැවිරිදි ලෙරෝතොලි සේසියෝ කුමරුයි. කෙසේ වෙතත් ලෙසෝතෝ රාජ්‍යයේ රජුගේ බලතල ව්‍යවස්ථාව මගින් සීමා කරනු ලැබ තිබෙනවා. එමෙන්ම අනෙකුත් අප්‍රිකානු රටවල් වලට සාපේක්ෂව සාක්ෂරතාවය වැනි දර්ශක අතින් ලෙසෝතෝ රාජ්‍යය ඉදිරියෙන් සිටිනවා. මේ නිසා ඒ කලාපයේ අනෙක් රටවලට සාපේක්ෂව ලෙස එහි ජනතාව තම රාජකීය හා පාලකයන්ගෙන්   ආඥාදායකත්වයෙන් තොරව සහනශීලී පාලනයක් බලාපොරොත්තුව වෙනවා. වර්තමානයේ රජ වන තුන්වන ලෙක්සි රජු විසින් තම පුත් කුමරාව මෙම අනාගත නායකත්වය සඳහා පුහුණු කරමින් සිටිනවා.

 

7. ජාක් කුමරු 

ලෝකයේ කුඩාම රාජ්‍යයක් ලෙස සැලකෙන මොනොකෝ රාජ්‍ය පාලනය කරනු ලබන්නේ කුමාරයෙක් විසින්. යුරෝපා සම්ප්‍රදාය අනුව මොනොකෝහි පාලකයා රජෙකු ලෙස නොව කුමාරයෙකු ලෙස හැඳින්වෙනවා. වර්තමානයේ මොනෝකෝව දෙවැනි ඇල්බට් රජු විසින් පාලනය කරනු ලබන අතර බොහෝ කාලයක් පුරා ඔහුගෙන් පසු මොනෝකෝව පාලනය කිරීමට උරුමකරුවෙකු නොමැතිවීම පිළිබඳව ගැටළුවක් පැවතියා. රජුට අනියම් සම්බන්ධතාවලින් දරුවන් සිටියත් නීතියානුකූල බිරිඳ වන චාලීන් කුමරියගෙන් දරුවන් ලැබී තිබුණේ නැහැ.

අවසානයේ දී කුමරිය නිවුන් දරුවන් ප්‍රසූත කළ අතර ඉන් වැඩිමහල් තැනැත්තා ජෙක් කුමරු වූ අතර බාල කුමරිය ගාබ්‍රියෙල් ලෙස නම් කෙරුණා. මේ වන විට කුමර කුමරියන් යුවල පස් හැවිරිදි වියේ පසු වනවා.

 

එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *