අපේ රට අවුරුදු දෙදාහකට වැඩි කාලයක් රජවරු අතින් පාලනය වුණා. ඒ සෑම කාලයකදීම බුදුදහමට රජයෙන් විශේෂ තැනක් ලැබුණා. මේ දීර්ඝ නොනවතින අපේ ඉතිහාසය තුල බුදු දහමට සේවය කරන්නට රජවරුන් විශේෂයෙන් කැප වුණා. මුලින්ම ලංකාවට බුදු දහම එන්නෙත් රාජ අනුග්‍රහය යටතේ. වෙනත් ආගම් ඒ ඒ ජනකොටස් සමග පැමිණියත් බුදු දහම කෙලින්ම අශෝක රජතුමාගේ නියෝජිතයින් මගින් රජතුමා හරහා ලංකාවට පැමිණි බවක් තමයි ඉතිහාසයේ සඳහන් වන්නේ. ඒ එක්ක එකල පටන්ම රජකමට අයිති එක් මූලික සේවයක් විදිහට බෞද්ධ ආගමට අනුග්‍රහය දැක්වීම අයිති වුණා.
1. කීර්ති ශ්‍රී රාජසිංහ
1747-1782 කාලයේ රට පාලනය කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා නායක්කර් වංශිකයෙක්. නායක්කර් දේශයෙන් ආවා වුණත් ඒ වෙනකොට නුවර තිබූ සමාජයට හොඳින් අනුගත වෙන්නට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට හැකි වුණා. රජතුමාගේ කාලේ ලන්දේසීන් සමග යුධ කටයුතු වලට සහභාගි වෙන්නට සිදුවුණා. ඒ නිසාම වරක් ලන්දේසි ආක්‍රමණික වෑන් ඊක් අතින් දළදා මැදුර මුළුමනින්ම පාහේ විනාස වුණා. ඒ අවස්ථාවේදී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා නැවත දළදා මැදුර තිබුණාටත් වඩා කදිමෙට නැවත ඉදිකළ බව ඉතිහාසේ සඳහන් වෙනවා. මේ කාලයේදී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා සියමෙන් උපසම්පදා කර්මය ලංකාවට රැගෙන ආවා. ඒ හරහා එතෙක් අභාවයට යමින් තිබූ බෞද්ධ සසුන නැවතත් ශක්තිමත් වුණා. ඒ වගේම අද දක්වාම දිවෙන නුවර දළදා පෙරහැර පැවැත්වීම ආරම්භ වුණෙත් මේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ පාලන කාලයේදී.
2. වළගම්බා රජතුමා
වළගම්බා රජතුමාගේ කාලේ ප්‍රබල දකුණු ඉන්දීය පාලකයින් ලංකාව ආක්‍රමණය කළා. ඒ වගේම රට පුරා පෙර නොවූ විරූ බැමිනිතියා නම් මහා සාගතයක් තිබුණා. ඒ තත්ත්වයන් සියල්ල එක්ක රජකමට පැමිණි වළගම්බා රජතුමා රටට වගේම බුදු සසුනටත් ලොකු සේවයක් කළා. වළගම්බා රජ සමයේ අභයගිරි වශයෙන් වෙනමම නිකායක් ඇති වුණා. එය සාසනයේ යම් බෙදීමක් ඇති කළත්, ඒ තරගය නිසා පසුකාලීනව ධර්ම ශාස්ත්‍රී කටයුතු වල නව ප්‍රගතියක් අත් වුණා. එසේම එතෙක් කාලයක් කට පාඩමින් රැගෙන ආ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමත් වළගම්බා රාජ සමයේ සිදුවූ වැදගත් සිද්ධියක්.
3. දුටුගැමුණු රජතුමා
දුටුගැමුණු රජතුමා 44 වසක් අනුරාධපුරය පාලනය කළ එළාර රජු දැඩි සටනකින් පළවා හැරලා සිංහල රජෙක් ලෙස අනුරාධපුරයේ රජ වුනා. දැහැමි පාලකයෙක් ලෙස සැලකුණත් එළාරගේ දෙමළ සම්භවය නිසා අපේ ආගම දහමට එය එතරම්ම හොඳ කාලයක් නොවන්නට ඇති. රුහුණේ සිට සේනා සංවිධානය කරගෙන පැමිණි ගැමුණු රජතුමා එළාර පළවා හැර සිංහල බොදු රජෙක් ලෙස අනුරාධපුරයේ කිරුළ පැළඳුවා. අදටත් ධාතු වැඩිම ප්‍රමාණයක් නිධන් කළ මහා ථූපය හෙවත් රුවන්වැලි සෑය දුටුගැමුණු රජතුමාගේ වැඩක්. මිරිසවැටිය දාගැබත් දුටුගැමුණු රජු විසින් ඉදිකළ මනරම් චෛත්‍යයක් වුණා. එකල තිබූ ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම අනුව සත් මහල් පායක් ලෙස ලෝවාමහාපාය තනා එය භික්ෂූන්ට පූජා කරන්නත් ගැමුණු රජු ක්‍රියා කළා.
4. පරාක්‍රමබාහු රජතුමා
මහා පරාක්‍රමබාහු රාජ සමය ලක් ඉතිහාසයේ තිබූ සශ්‍රීකම යුගයක්. දකුණු ඉන්දීය ද්‍රවිඩ බලපෑම් වැඩි කලක රජ වූ පරාක්‍රමබාහු රජතුමා, දීර්ඝ යුද්ධ තත්ත්වයන් අවසානයේ පොලොන්නරුවේ රජ වුණා. එතුමා ආලාහන පිරිවෙන නමින් සුවිශාල පිරිවෙන් කර්මාන්තයක් සසුන වෙනුවෙන් දායාද කළා. ඊට අමතරව මහජනතාවට දැක බලා වැඳ පුදා ගන්නට කිරි වෙහෙර, රන්කොත් වෙහෙර, දෙමළ මහා සෑය ආදී විශාල ආරාම සංකීර්ණ ඉදිකළා. මෑත කාලයේ පවා දකින්නට ඇති තිවංක පිළිම ගෙය සහ තවත් විශාල පිළිම සහ ආරාම පද්ධති පැරකුම්බා රජ සමයේ ඉදි වූ විශ්ව කර්ම නිර්මාණ වෙනවා. එදා මහ පැරකුම් රජුගේ බලපෑමින් සුවිසල් ගල් පොත්තක ඇඳුණ ගල් විහාර කැටයම් අදද බෞද්ධ බැතිමතුන්ගේ සිත් පහන් කරනවා. වසර තිහකට ආසන්න කාලයක් රජ කළ මහා පැරකුම්බා රජු දෙස් විදෙස් බලපෑම් හමුවේ බුදු සසුන වෙනුවෙන් ඉමහත් සේවයක් කළ රජ කෙනකි.
5. දේවානම්පියතිස්ස රජතුමා
එවකට ලක්දිව තිබූ වෙනත් දේව, යක්ෂ ඇදහීම් වෙනුවට තරමක් බුද්ධිය අතින් තීක්ෂණ බොදු දහම ආදේශ කරන්නට දේවානම්පියතිස්ස රජතුමා මැදිහත් වුණා. දූතයින් ලෙස පැමිණි මිහිඳු හිමි, සංඝමිත්තා තෙරණිය ආදී ඉන්දීය රාජ වංශික පිරිස් වලට අවශ්‍ය රැකවරණ සහ බුදුදහම ප්‍රචලිත කිරීමට අවශ්‍ය පහසුකම් දේවානම්පියතිස්ස රජතුමා සම්පාදනය කළා. ඔහුගෙන් පසුව රජ වූ රජවරුන්ට බුදු දහම ආරක්ෂා කිරීමේ මූලික වගකීම ඇතුළත් කිරීම දේවානම්පියතිස්ස රජතුමා අතින් සිදු වුණා. ඔහුගේ කාලයේ සුවිශාල වෙහෙර විහාර කර්මාන්ත ආදිය ගැන එතරම් සඳහනක් නැතත් එකල තිබූ තත්ත්වයන් අනුව රට තුළ ඉහළ සිට පහලට බොදු සමය පතුරුවන්නට දේවානම්පියතිස්ස රජතුමා කටයුතු කළා.
6. දෙවන පරාක්‍රමබාහු රජතුමා
පසුකාලීනව බෞද්ධ ආගම වඩාත් ජනයා අතර ප්‍රචලිත කරන්නට සාහිත්‍ය මගින් ලොකු තල්ලුවක් ලැබුණා. දෙවන පරාක්‍රමබාහු රජතුමා කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත කියලාත් හැඳින්වුවා. මොකද ඒ රජතුමා සාහිත්‍ය කෘති කීපයක්ම රචනා කළ දක්ෂ සාහිත්‍යකරුවෙක් වුණා. දෙවැනි රාජසිංහ රජතුමා සංඝ සම්මේලනයක් තිබ්බා. ඒ හරහා එතෙක් සාසනේ එල්ලිලා හිටපු දුස්සීල මහණුන් සසුනින් ඉවත් කරලා සසුන පිරිසිදු කළා. එතෙක් ද්‍රවිඩ ආක්‍රමණිකයින් වුණු කාලිංග මාඝ ඇතුළු පිරිස් අතින් විනාස වෙලා තිබුණ වෙහෙර ආරාම රට එක්සේසත් කළායින් පස්සේ දෙවනි පරාක්‍රමබාහු රජතුමා විසින් වහාම පිළිසකර කළා. දෙවන පරාක්‍රමබාහු රජතුමා ඔහු වාසය කළ දඹදෙනි පළාතේ විතරක් නෙමෙයි, දෙවුන්දර, ශ්‍රී පාදස්ථානය වගේ ස්ථාන කිහිපයකම විහාර ආරාම ඉදිකරලා තියෙනවා. ධර්මසේන හාමුදුරුවන්ගේ සද්ධර්මරත්නාවලිය, ප්‍රියදේව හිමියන්ගේ රසවාහිනිය, රාජගුරු ධම්මකිත්ති හිමිගේ දාඨාවංශය, බුද්ධ පුත්‍ර හිමිගේ පූජාවලිය ආදී වටිනා කියන කෘති ගණනාවක් දඹදෙනි යුගයේ දෙවනි පරාක්‍රමබාහු කාලසීමාව තුළ රටට දායාද ලෙස ලැබුණා. සාහිත්‍ය ලෝලියෙක් වගේම සාහිත්‍යකරුවෙකුත් වුණු දෙවැනි පැරකුම්බා රජතුමා කව්සිළුමිණ, විශුද්ධි මාර්ග සන්නස වගේ කෘතීන් රචනා කළා.
7. සය වන පරාක්‍රමබාහු
සය වන පරාක්‍රමබාහු රජතුමා කෝට්ටේ යුගයේ රට එක්සේසත් කළා. පැපිලියානේ සුනේත්‍රාදේවී පිරිවෙන කළ එතුමා කෝට්ටේ යුගයේදී දළදා මන්දිර කරවා දළදා පෙරහැරද පැවැත්වූ බව සඳහන් වෙනවා. දහම් පොත පත ලියන අයට විශේෂ වරප්‍රසාද ලබාදුන් සය වැනි පැරකුම්බා රජතුමා පොත පත සාහිත්‍යයෙන් කෝට්ටේ යුගය ඔපවත් කරන්නට සහයෝගය දැක්වූවා. මහා කඨින පෙරහැර පිංකම් පවත්වා සිවුරු දහස් ගණනින් පූජා කළ සයවන පැරකුම්බා රජු එවකට කළ කෝළහල නිසා අවදානමට ලක් වී තිබූ සසුන යළි පුබුදු කරන්නට දායක වුණා.
බුදු සමය ආරම්භ වූ උතුරු ඉන්දියාවේ නොබෝ කාලයකින්ම බුදු දහම අතුරුදහන් වෙලා ගියා. ඒකට එක හේතුවක් තමයි රජවරුන්ගෙන් නිසි පරිදි බුදු දහමට අනුග්‍රහය නොලැබීම. ඒත් ලක්දිව බොහෝ කාලයක් පුරා රජකම් කරන්නට නම් බුදු සුසුන ආරක්ෂා කරන්න ඕනි කියන මතය මහජනයා අතර තිබුණා. ඒ විදිහට නැතුව රජු බුදු දහමට අනුග්‍රහ දක්වන්නේ නැතුව හිටි අවස්ථාත් ඉතිහාසයේ තියෙනවා. ඒත් මහජනතාව ඒ තැන්වලදි රජු හරිමගට ගන්න ක්‍රියා කළා. මහසෙන් යුගයේදී මහසෙන් රජතුමා වෙනත් මතවාද වලට අනුග්‍රහය දක්වන විට මේඝවර්ණ වගේ ඇමතිවරු යටතේ මහජනතාව රජුට එරෙහිව නැගී සිටියා. පස්සේ රජතුමා එකඟතාවයට ඇවිත් බුදුදහමට කළ අකටයුතුකම් නවත්වා හොඳ බැතිමතෙකු බවට පත් වුණා. ඉතින් බුදු දහමට රජවරු දක්වපු සම්පූර්ණ අනුග්‍රහය මේ පොඩි ඉඩේ අපිට දක්වන්න බැහැ. ඒ වුණත් බුදු දහමට සැළකිය යුතු සේවාවක් කළ රජවරු කිහිප දෙනෙක් ගැන ඔබට මේ හරහා දැනගන්නට ලැබෙන්න ඇති.
Leave a Reply