පනීර් හෙවත් කොටේජ් චීස් කියන්නෙ කිරි ආහාරයක්. මේකෙන් අපිට රසවත් කෑම ගොඩක් හදාගන්න පුළුවන්. අද අපි කියලා දෙන්නෙ ගෙදරදීම පනීර් හදාගන්න හැටි වගේම පනීර් වලින් රසවත් කෑම පිළියෙල කරගන්නෙ කොහොමද කියලා.
1. පනීර් ගෙදරදීම හදමු
අවශ්‍ය ද්‍රව්‍ය
- කිරි ලීටර් 1
- විනාකිරි කෝප්ප 1/2
- ලුණු
- කිරි ටික ලිපේ තියලා හැඳිගාන්න. රත්වෙනකොට විනාකිරි ටික එකතු කරන්න. දැන් කිරි කැටි ගැහිලා එකතු වෙනවා වගේ පෙනෙයි. ලිප ඕෆ් කරලා කැටි ගැහුණු කිරි වෙන් වෙන්න වතුර පෙරාගෙන කැටියක් වගේ අතින් හදාගන්න.
- මේ පනීර් කැටිය කිහිප සැරයක් ලුණු මිශ්‍ර වතුර එකක දදා එලියට අරන්, රෙදි කෑල්ලක තදට ඔතලා පැයක් ෆ්‍රිජ් එකේ දාගන්න. පැය කීපෙකට පස්සෙ කෑලි කපාගන්න පුළුවන්.
2. පනීර් කට්ලට්
අවශ්‍ය ද්‍රව්‍ය
ෆිලින්ග් එකට අවශ්‍ය ද්‍රව්‍ය
- පොඩි කරගත් පනීර් කෝප්ප 2
- තම්බාගත් අල කෝප්ප 1
- චොප්කරගත් රතුළූණු ගෙඩි 2-3
- ග්‍රේට් කරගත් කැරට් අල 1
- චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක්
- චොප්කරගත් අමුමිරිස් කරල් 1
- චොප්කරගත් ඉඟුරු තේ හැඳි 1
- මිරිස්කුඩු තේ හැඳි 1
- ගරම් මසාලා තේ හැඳි 1/2
- ලුණු රස අනුව
- කෝන්ෆ්ලා මේස හැඳි 2
බැටර් එකට අවශ්‍ය ද්‍රව්‍ය
- කෝන්ෆ්ලා කෝප්ප 1/4
- පාන්පිටි මේස හැඳි 2
- ගම්මිරිස්කුඩු තේ හැඳි 1/2
- ලුණු තේ හැඳි 1/2
කට්ලට් එක සෑදීමට
- බිස්කට් කුඩු ග්‍රෑම් 100
- බැදීමට තෙල්
- ෆිලින්ග් එකට අවශ්‍ය ද්‍රව්‍ය ඔක්කොම කලවම් කරලා සොෆ්ට් මිශ්‍රණයක් හදාගන්න.
- බැටර් එකට අවශ්‍ය ද්‍රව්‍ය ඔක්කොම කලවම් කරලා වතුර ටික ටික එකතු කරමින් තික් බැටර් එකක් හදාගන්න.
- දැන් ෆිලින්ග් එකෙන් ටික ටික අරගෙන පොඩි බෝල හදලා බැටර් එකේ දාලා බිස්කට් කුඩු තවරගන්න.
- ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකම් බැදගන්න.
3. පනීර් ටික්කා
අවශ්‍ය ද්‍රව්‍ය
- මුදවපු කිරි කෝප්ප 1/2
- කහකුඩු තේ හැඳි 1/2
- මිරිස්කුඩු තේ හැඳි 1
- කොත්තමල්ලි කුඩු තේ හැඳි 1/2
- ගරම් මසාලා තේ හැඳි 1/2
- ඉඟුරු සුදුළූණු පේස්ට් තේ හැඳි 1
- කඩල පිටි මේස හැඳි 2
- දෙහි බෑයක යුෂ
- රස අනුව ලුණු
- ලොකුවට කපාගත් ළූණු ගෙඩි 1
- ලොකුවට කපාගත් බෙල්පෙපර් කෑලි 8ක් ( පාට 2කින් )
- කොටු කපාගත් පනීර් කෑලි 8
- තෙල් මේස හැඳි 1
- මුලින්ම බෝල් එකකට මුදවපු කිරි හා කුළුබඩු ටික දාලා කලවම් කරන්න.
- ඊලඟට ඉඟුරු සුදුළූණු පේස්ට් එක, කඩල පිටි, දෙහි යුෂ, ලුණු හා කපාගත් ළූණු, බෙල්පෙපර් ටික එකතු කරන්න. කලවම් කරලා පනීර් කෑලි ටික එකතු කරන්න.
- අන්තිමට තෙල් ටික දාලා කලවම් කරලා විනාඩි 30ක් මැරිනේට් කරන්න.
- දැන් කෙබාබ් ස්ටික් අරගෙන පනීර් කෑලි, ළූණු හා බෙල්පෙපර් කෑලි මික්ස් වන සේ ගසාගන්න. පෑන් එකක් ලිපේ තියලා තෙල් දාලා පනීර් ගසාගත් කෙබාබ් ස්ටික්ස් ටික ෆ්‍රයි කරගන්න.
- උඩින් තෙල් වක්කරමින් වටේම ෆ්‍රයි කරගන්න. කැමති නම් බේක් හෝ ග්‍රිල් එකක ග්‍රිල් කරගන්නත් පුළුවන්.
4. ගාලික් පනීර්
අවශ්‍ය ද්‍රව්‍ය
- කෝන්ෆ්ලා මේස හැඳි 1
- ගම්මිරිස්කුඩු පින්ච් එකක්
- ලුණු පින්ච් එකක්
- මිරිස්කුඩු තේ හැඳි 1
- චොප්කරගත් සුදුළූණු තේ හැඳි 1
- චිලී සෝස් තේ හැඳි 1
- ඔරිගානෝ ස්වල්පයක්
- තරමක කෑලි කපාගත් පනීර්
- භාජනයකට කෝන්ෆ්ලා ගම්මිරිස්කුඩු, මිරිස්කුඩු, ලුණු දාලා කලවම් කරගන්න.
- ඒකටම සුදුළූණු, චිලී සෝස්, ඔරිගානෝ දාලා කලවම් කරගන්න. වතුර චුට්ටක් දාලා ගොඩක් තික් විදියට හදාගන්න.
- පනීර් කෑලි මේ පේස්ට් එකේ තවරගන්න. විනාඩි 30ක් විතර මැරිනේට් කරගන්න.
- පෑන් එකට බටර් ටිකක් දාලා දියවෙනකොට පනීර් ටික දාලා හොඳට වටේම ෆ්‍රයි කරලා ගන්න.
5. පනීර් ෆින්ගර්ස්
අවශ්‍ය ද්‍රව්‍ය
- දික් අතට කපාගත් පනීර් කෑලි 10
- කහකුඩු තේ හැඳි 1/2
- මිරිස්කුඩු තේ හැඳි 1
- ලුණු පින්ච් එකක්
- පාන්පිටි මේස හැඳි 4
- කෝන්ෆ්ලා මේස හැඳි 2
- බැදීමට තෙල්
- බිස්කට් කුඩු ග්‍රෑම් 100
- කපාගත් පනීර් වලට කහකුඩු, මිරිස්කුඩු, ලුණුකුඩු දාලා කලවම් කරගන්න.
- වෙනම බෝල් එකකට පාන්පිටි, කෝන්ෆ්ලා හා ලුණු දාලා වතුර ටික ටික දාලා තික් බැටර් එකක් හදාගන්න.
- දැන් පනීර් ටික මේ බැටර් එකේ දාලා බිස්කට් කුඩු වල තවරලා ගැඹුරු තෙලේ බැදගන්න.
6. පනීර් පරාටා
අවශ්‍ය ද්‍රව්‍ය
- පොඩි කරගත් පනීර් කෝප්ප 1
- මිරිස්කුඩු තේ හැඳි 1
- ගරම් මසාලා තේ හැඳි 1
- ලුණු
- තලාගත් ඉඟුරු ටිකක්
- චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්
- පාන්පිටි කෝප්ප 1
- තෙල් ස්වල්පයක්
- පනීර් වලට මිරිස්කුඩු, මසාලා කුඩු, ලුණු, ඉඟුරු, කොත්තමල්ලි කොළ දාලා කලවම් කරගන්න.
- වෙනම බෝල් එකකට පාන්පිටි හා ලුණු දාලා කලවම් කරලා වතුර ටික ටික දාලා අනාගෙන අතේ නොඇලෙන ඩෝ එකක් හදාගන්න.
- අන්තිමට තෙල් ටිකක් දාලා අනාගන්න. දැන් මේක තෙත රෙදි කෑල්ලකින් වහල විනාඩි 30ක් තියන්න.
- මේ ඩෝ එක පොඩ්ඩක් අතින් තුනී කරලා පනීර් මිශ්‍රණයෙන් බෝලයක් හදලා මේක මැද්දෙන් තියලා වටේට ඔතාගන්න.
- දැන් මේ බෝලය එක හිමින් හිමින් තුනී කරගන්න. රොටිය වගේ තුනී උනාම පෑන් එකකට ගී හෝ තෙල් ටිකක් තවරගෙන පරාටා එකේ දෙපැත්ත පුච්චගන්න.
Leave a Reply