අමාරුම විෂය මොකක්ද කියලා පාසල් යන දරුවන්ගෙන් ඇහුවොත් බොහෝ වෙලාවට උත්තරේ විදිහට ලැබෙන්නේ ගණන් කියන උත්තරය. හැබැයි පාසලේ දී අපි ඉගෙන ගන්න සෑම විෂයකටම වඩා ලෝකය වෙනස් කරන්න බලපෑවේ ගණිතය කියලා කිව්වත් වැරැද්දක් නැහැ. අනෙකුත් විෂයන් වල ප්‍රමාණිකයන්ට සාපේක්ෂව අපේ ගණිත විෂයේ ප්‍රමාණිකයෝ ගැන අපි එතරම් දැනුවත් නැහැ. මේ නිසා අපි හිතුවා ලෝකයේ බිහි වෙච්ච සුපිරි ගණයේ ගණිතඥයෝ ගැන ආටිකල් සීරිස් එකක් පටන් ගන්න. හැබැයි මේ සීරීස් එක ඉස්සරහට අරන් යනවද කියන එක තීරණය වෙන්නේ මේ ආටිකල් එකට ඔබෙන් ලැබෙන ප්‍රතිචාර මත කියන දේ ආරම්භයේදීම කියන්න කැමතියි.
1. පයිතගරස්
ලංකාවේ හැමෝම අඳුරන එකම ගණිතඥයා විදිහට පයිතගරස්ව හඳුන්වන්න පුළුවන්. ඒකට හේතුව තමයි පාසල් විෂය නිර්දේශයේදී අපි ඉගෙන ගන්න පයිතගරස් ප්‍රමේය. ගණිතයේ එක් කොටසක් වන ජ්‍යාමිතියේ මූලික ප්‍රමේයයක් විදිහටත් මේ පයිතගරස් ප්‍රමේයය විශේෂ තැනක් ගන්නවා. ඇතැම් මතයකට අනුව පයිතගරස් කියන්නේ බුදු දහම වැළඳ ගත්ත ග්‍රීක දාර්ශනිකයෙක්. නමුත් මේ මතය විවාදාත්මකයි. කොහොම වුණත් පයිතගරස් ගේ සොයාගැනීම් ගණිතය වගේම ක්ෂේත්‍ර රැසක් වෙනස් කිරීමට හේතු වුණා.
2. යුක්ලීඩ්
පුරාණයේ බුද්ධිමතුන්ගේ කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකුණු ඇලෙක්සැන්ඩ්‍රියාවේ වාසය කළ යුක්ලීඩ් ජ්‍යාමිතියේ පියා ලෙස හැඳින්වෙනවා. ඔහු විසින් රචනා කර Elements නම් ග්‍රන්ථය සියවස් ගණනාවක් පුරා ගණිතය උගනීම සඳහා භාවිතා කරන අත්පොතක් බවට පත් වුණා. සරල ප්රත්යක්ෂ කීපයක් භාවිතා කරමින් ජ්‍යාමිතියේ මූලික සිද්ධාන්ත රාශියක් දියුණු කිරීමට ඔහුට හැකියාව ලැබී තිබුණා.
3. ආකිමිඩීස්
ආකිමිඩීස් විසින් සිදුකරන ලද සොයා ගැනීම් ගැන නොදැන සිටින අය පවා යුරේකා යුරේකා යැයි කියමින් නිරුවතින් ඔහු විසින් දිව යෑම පිළිබඳව දන්නවා. ආකිමිඩිස් විසින් පයිහි අගය ආසන්නව ගණනය කළ අතර එහි ඇති විශිෂ්ටත්වය වන්නේ කලනය වැනි සංකල්ප බිහි වීමට අවුරුදු දෙදහසකටත් කලින් එවැනි ගණනය කිරීමක් සිදු කිරීමට ඔහු තුළ තිබූ දක්ෂතාවයයි. එසේ ම කලනයේ දී භාවිතා වන සීමා පිළිබඳ සංකල්පය මුල්වරට භාවිතා කළ ගණිතඥයෙක් විදිහට ආකිමිඩිස්ව හඳුන්වන්න පුළුවන්.
4. මුහම්මඩ් බින් මූසා අල් කාවර්ස්මි
යුරෝපය වෙත හින්දු අරාබි ඉලක්කම් ක්‍රමය හඳුන්වා දීමේ ගෞරවය හිමි වන්නේ කාවර්ස්මි වෙතයි. මේ නිසා ම යුරෝපීයයන් භාවිතා කරන ඇල්ජිබ්රා සහ ඇල්ගොරිතම් යන වචනවල ආරම්භකයා විදිහටත් ඔහුව හඳුන්වාදෙන්න පුළුවන්. ගණිතය සඳහා ඔහු සිදු කළ විශිෂ්ටතම සම්ප්රදානය වන්නේ සමීකරණ විසඳීම සඳහා හඳුන්වා දෙන ලද සරල ක්‍රමයයි.
5. ජෝන් නේපියර්
ගණිතය විෂය ගැන පොඩි හරි දැනුමක් තියෙන ඕනම කෙනෙක් දන්නවා ගණනය කිරීම් සඳහා ලඝුගණක වලින් ලැබෙන පිටුවහල ගැන. මේ ලඝුගණක ක්‍රමය සොයා ගනු ලැබුවේ ජෝන් නේපියර් විසින්. පරිගණකයක් ගැන හිතන්නවත් බැරි යුගයකදී ගණනය කිරීම සරල කිරීමට නේපියර්ගේ මේ සොයා ගැනීම දැඩි ලෙස ප්‍රයෝජනයට ලක් වුණා.
6. බ්ලෙයිස් පැස්කල්
ද්වීමය සංගුණක සෙවීමේදී භාවිතා කරනු ලබන ත්‍රිකෝණාකාර ක්‍රමය සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ පැස්කල් හටයි. එම නිසා මෙම ත්‍රිකෝණාකාර ක්‍රමය පැස්කල් ත්‍රිකෝණ ලෙසද හඳුන්වනු ලබනවා. මීට අමතරව ලොව පළමුවරට යාන්ත්‍රික කැල්කියුලේටරයක් නිර්මාණය කිරීම සිදු වන්නේ පැස්කල් අතින්. මේ නිර්මාණය වර්තමාන පරිගණකයේ පුර්වජයෙකු ලෙසද හඳුන්වනු ලබනවා. සම්භාවිතාව පිළිබඳ ව අධ්‍යයනය කළ බැතිමත් කිතුනුවෙකු වූ පැස්කල්, පසු කලෙකදී ඒ ආශ්රයෙන් දෙවියන් වහන්සේ විස්තර කිරීමටත් උත්සාහයක් දරා තිබුණා.
7. අයිසැක් නිව්ටන්
අයිසැක් නිව්ටන් ගේ නම නොමැතිව මේ ලයිස්තුව සම්පූර්ණ වන්නේ නැහැ. කලනය පිළිබඳව මූලික සංකල්පය ගොඩ නැගීම අයිසැක් නිව්ටන් අතින් සිදුවුණු විශිෂ්ටතම සොයාගැනීම වනවා. ඒ හරහා ගණිතඥයන්ට මෙන්ම පොදුවේ විද්‍යාඥයින්ට කාලය සහ අවකාශය හරහා වස්තූන්හි චලනය ගණිතමය ආකෘතියක් තුළ විස්තර කිරීමේ හැකියාව ලැබුණා. මේ හරහා භෞතික විද්‍යාවට යෝධ පිම්මක් පැනීමට අවස්ථාව ලැබුණා.
එහෙමනම් අපි මුලින් කිව්වා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ ප්‍රතිචාර අපි බලාපොරොත්තු වෙනවා. ඒ ලැබෙන ප්‍රතිචාර උඩ මේ ආටිකල් එකේ තවත් කොටසක් ලියවේවි.
Leave a Reply