සයිබර් යුගයේ සයිබර් හොරුන්ගෙන් ඔබේ දත්ත ආරක්ෂා කරගන්නේ මෙහෙමයි.

අපි මේ ජීවත් වෙන්නේ සයිබර් යුගයකනේ. අපිට සයිබර් යුගයෙන් මිදිලා ජීවත් වෙන්න අමාරුයි. හැබැයි ඒ වගේම සයිබර් යුගයේ තියෙන ප්‍රශ්නයක් වෙන්නේ, අපේ දේවල් හොරකම් කරන්න බලාගෙන ඉන්න සයිබර් හොරුත් හරි හරියට ඉන්න එක තමයි. හැබැයි සමහරු ඉන්නවා අපේ සංවේදී දත්ත තව කෙනෙක් හොරකම් කරයි කියලා ඒ තරම් වද වෙන්නෙ නැති. ඒ අය කියන්නේ අපිව හැක් කරලා හොරකම් කරන්න තියෙන්නේ ඩවුන්ලෝඩ් කරපු ෆිල්ම් ටික විතරයි කියලා. හැබැයි එතන තමයි වරදින තැන. සාමාන්‍යයෙන් රැකියාවක් කරන මනුස්සයෙක්ගේ රැකියාවට අදාළ දේවල් ඊමේල් එකවුන්ට් එකක නැද්ද? දැන් කාලේ ඔෆිස් වල වට්ස්ඇප් ගෘප්ස් පවා තියෙන නිසා, ඒ චැට් වල සංවේදී දේවල් නැහැයි කියලා ෂුවර්ද? මෙන්න මේක තමයි තිත්ත ඇත්ත. අන්න ඒ නිසා අපි හැමෝම උත්සුක වෙන්න ඕන අපේ සංවේදී දත්ත ආරක්ෂා කරගන්න. අන්න ඒකට වැදගත් වෙන උපදෙස් ටිකක් තමයි මේ තියෙන්නේ.

 

1. එන්ක්‍රිප්ෂන්

මේ එන්ක්‍රිප්ෂන් නැතිනම් කේතනය කියන එක ගොඩක් දෙනා හිතන්නේ කම්පියුටර් එක්ස්පර්ට්ලා විතරක් කරන, ඒ අය විතරක් දන්න දෙයක් කියලා. සරලවම කිවුවොත් එන්ක්‍රිප්ට් කරනවා කියන්නේ මොකක් හරි ගොනුවක් හෝ ෆෝල්ඩරයක් වෙනත් උපාංගයකින් බලන්න බැරි විදියට, පාස්වර්ඩ් නොදන්න කෙනෙක්ට බලන්න බැරි විදියට, අනවශ්‍ය පුද්ගලයෙක්ට බලන්න බැරි විදියට කේතනය කරන එක. දැන් කාලේ ඇත්තටම එන්ක්‍රිප්ට් කරනවා කියන්නේ රොකට් සයන්ස් නෙවෙයි.

 

දැන් කාලේ ඊමේල් එන්ක්‍රිප්ට් කරන්න පුළුවන් පහසුවෙන්. ඒ වගේම ජීමේල් වල එහෙම නම් ස්වයංක්‍රීයව යවන ඊමේල් එන්ක්‍රිප්ට් කරන පහසුකම් තියෙනවා. එතකොට වින්ඩෝස් වල වුනත් ෆයිල් එකක්, ෆෝල්ඩර් එකක් එන්ක්‍රිප්ට් කරන්න පහසුකම් තියෙනවා. රයිට් ක්ලික් කරලා, ප්‍රොපටීස් ගිහින් ඇඩ්වාන්ස් මෙනු එකට ගියානම් හරි. මේ ඇරෙන්න අපිට ඕන නම් ක්‍රිප්ටේනර් වගේ සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරලා අවශ්‍ය දත්ත එන්ක්‍රිප්ට්‍ කරලා තියාගන්නත් පුළුවන්.

 

2. ඩේටා බැකප්

මේක ගොඩක් දෙනෙක් නොසලකා හරින, හැබැයි දත්ත ආරක්ෂාව සඳහා අත්‍යාවශ්‍ය පියවරක්. ඩේටා බැකප් කිරීම කියලා සරලවම කියන්නේ, තමන්ගේ ඩේටා වල අමතර පිටපතක් තව කොහේ හරි තියාගන්න එකට තමයි. මේ ඩේටා බැකප් එක තියෙන්නේ අදාළ සේවාවේ ක්ලවුඩ් සර්වර් වල වෙන්න පුළුවන්. එහෙම නැතිනම් පෙන්ඩ්‍රයිව් එකක, එක්ස්ටර්නල් හාඩ් එකක වෙන්න පුළුවන්. කොහේ වුනත් කමක් නෑ. අවශ්‍ය දේ තමයි, තමන්ගේ සංවේදී දත්ත වල පිටපතක් වෙන කෙනෙක්ට ප්‍රවේශ වෙන්න බැරි විදියට එන්ක්‍රිප්ට් කරලා වෙනත් තැනක සුරක්ෂිත කරලා තියන එක.

 

3. ඇන්ටි-මැල්වෙයාර්

සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් කම්පියුටර් එකක් ගත්තට පස්සේ, ඒකට මෙහෙයුම් පද්ධතියක් එහෙම දාගත්තට පස්සේ මුලින්ම හොයන්නේ “ඇන්ටි-වයිරස්” එකක්. ඇත්තටම ඇන්ටි-වයිරස් එකක් කියලා කිව්වට අවශ්‍ය වෙන්නේ ඇන්ටි-මැල්වෙයාර් සොෆ්ට්වෙයාර් එකක්. සාමාන්‍යයෙන් වින්ඩෝස් 10 වල නම් එහෙම එකක් මෙහෙයුම් පද්ධතිය එක්කම එනවා. ඒක මදි නම් ඔය කැස්පර්ස්කී, ඒවීජී වගේ විශ්වාසය තියන්න පුළුවන් ඇන්ටි-මැල්වෙයාර් ක්‍රමලේඛ හොයාගන්න පුළුවන්. හැබැයි මේ ගොඩක් ඒවල සම්පූර්ණ හැකියාවන් ලබාගන්න නම් පොඩි ගාණක් ගෙවන්න වෙනවා. හැබැයි ඇන්ටි-මැල්වෙයාර් එකකින් ලැබෙන සේවය ගැන හිතනකොට එහෙම ගෙවන එක කිසිසේත්ම පාඩුවක් නෙවෙයි. මේ විදියේ ආරක්ෂක මෘදුකාංගයක් අපේ කම්පියුටර් එකේ තියෙනකොට, ඔය අනවශ්‍ය, හානිකර වැඩසටහන් වලට -ඒ කියන්නේ වයිරස්, වෝර්ම්ස්, ට්‍රෝජන් හෝර්සස්, ස්පයිවෙයා, ස්කෙයාවෙයාර් වගේ ඒවලට- අපේ පරිගණකයට ඇවිත් හානි කරන්න බෑ.

 

4. නියම මෙහෙයුම් පද්ධති

මෙන්න මේකත් අතිශයින්ම වැදගත් කාරණාවක්. සාමාන්‍යයෙන් අපේ රටේ කම්පියුටර් පාවිච්චි කරන වැඩි දෙනෙක් භාවිතා කරන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධති. හැබැයි මේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වලින් සැලකිය යුතු තරම් ප්‍රමාණයක් හොර කොපි. ඒ කියන්නේ ක්‍රැක් කරලා ගත්තු එව්වා. සමහර වෙලාවට කම්පියුටර් එක ගන්න තැනින් දාලා දෙන්නෙත් හොර කොපියක්. මේ හොර කොපි වල ප්‍රශ්නේ මේකයි. මෙහෙයුම් පද්ධතිය අප්ඩේට් වෙන්නෙ නෑ. සෙකියුරිටි අප්ඩේට්ස් එන්නෙ නෑ. අන්න එහෙම වුනහම අර උඩින් කියපු ජාතියේ මැල්වෙයාර් වලට රිංගගන්න, හැකර්ලට රිංගගන්න හොඳ අවස්ථාවන් නිර්මාණය වෙනවා. අන්න ඒ නිසා එක්කෝ ටිකක් ගණන් වුනත්, සල්ලි දීලා නියම විදියට මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරගන්න ඕන. එහෙම නැතිනම් ලිනක්ස් පදනම් වුණු නිදහස් මෙහෙයුම් පද්ධතියකට යන්න ඕන.

 

5. පාස්වර්ඩ්/ටූ ස්ටෙප් ඕතන්ටිකේෂන්

පාස්වර්ඩ් ගැන අපි මීට කලිනුත් කතා කරලා තියෙනවා. ඇත්තටම දැන් කාලේ අපි ආරක්ෂාව සඳහා පාවිච්චි කරන්න ඕන මුරපද නෙවෙයි, මුරවාක්‍ය! කොටින්ම කියනවා නම් ඔය අතීතේ වගේ “Myliferocks”, “bigbanana” වගේ පාස්වර්ඩ් දැන් කාලේ හරියන්නෙ නෑ. දැන් කාලේ පාස්වර්ඩ් අකුරු, ඉලක්කම්, සංකේත, කැපිටල්, සිම්පල් වගේ ඇතුළත් අච්චාරු සහගත, දීර්ඝ, අනුමාන කරන්න මලාට අමාරු එව්වා වෙන්න ඕන. 

 

ඒ වගේම දැන් ඔය ගොඩක් සේවාවන් එක්ක ලබාදෙනවා ටූ ස්ටෙප් ඕතන්ටිකේෂන් කියලා එකක්. ඒ කියන්නේ තමන් පාස්වර්ඩ් එක විතරක් දුන්නට මදි. ෆෝන් එකට හරි ඊමේල් එකට හරි එනවා කෝඩ් එකකුත්. අන්න ඒ කෝඩ් එකත් ඇතුළත් කරන්න ඕන. අන්න ඒ අමතර ආරක්ෂක පියවරත් අනිවාර්යයෙන්ම සක්‍රිය කරලා තියාගන්න එක වටිනවා.

 

6. නෝ ක්ලික්ස්

මේක නම් ඉතින් අනාදිමත් කාලෙක ඉඳල සයිබර් ආරක්ෂාව පිළිබඳ විශේෂඥයෝ කට කැඩෙනකල් කියන කාරණාවක්. ඒ තමයි දකින දකින ලින්ක් එක වඳුරෙක් වගේ ක්ලික් කරන්න යන්න එපා කියන එක. විශේෂයෙන්ම ඔය ඊමේල්ස් ඔස්සේ එහෙම එන ලින්ක් තියෙනවා. ඒවා සමහර ඒවා ෂුවර් එකටම සැකකටයුතුයි කියලා පේනවා. හැබැයි තවත් සමහර ඒවා බැලූබැල්මට අවුලක් නෑ වගේ. උදාහරණයක් විදියට ගත්තොත්, “ඔයාගේ ෆේස්බුක් එකවුන්ට් එකේ ආරක්ෂාව මදි, මේ ලින්ක් එකෙන් ගිහින් පාස්වර්ඩ් අප්ඩේට් කරන්න” කියලා ෆේස්බුක් ටීම් එකෙන් එවන ඊමේල් එකක් අපි දකිනවා. එහෙම එකක් දැක්ක ගමන් කෙනෙක් වැඩිය හිතන්නේ නැතුව ක්ලික් කරනවනේ. හැබැයි පොඩ්ඩක් පරීක්ෂාවෙන් බැලුවොත් පේනවා ඇත්තටම මේක ෆේස්බුක් ටීම් එකෙන් නෙවෙයි එවලා තියෙන්නේ. ඒ වගේ පේන්න හොරට හදපු එකවුන්ට් එකකින් කියලා. ආන්න ඒ නිසා දෙයක් ක්ලික් කරන්න කලින් දහපාරක් සැලකිලිමත් වෙන එක හොඳයි.

 

7. සාමාන්‍ය දැනීම

ඔව්, අන්තිමට ඉතින් සාමාන්‍ය දැනීමත් දත්ත ආරක්ෂණයට වැදගත්. සරල උදාහරණයක් දෙන්න පුළුවන්. කවදාවත් කම්පියුටර් එකේ වැඩ කර කර ඉඳලා ඒක ඔහේ දාලා යන්න එපා. එක්කෝ ලොග් ඕෆ් වෙන්න, එක්කෝ හයිබර්නේට් කරන්න. එක්කෝ ඕෆ් කරන්න. එහෙම නැතුව කඩේට ගිහින් එන්න යනකොටත් කම්පියුටර් එක හායි ගාලා ඇරලා දාලා යන්න එපා. ඒ වගේම දැන් අපි උඩිනුත් කිව්වනේ දැන් කාලේ සංකීර්ණ පාස්වර්ඩ් එහෙම අවශ්‍යයි කියලා. ගොඩක් අයට ඔව්වා මතක හිටින්නෙ නෑ. ඒ නිසා එක්කෝ නෝට්පෑඩ් එකක පාස්වර්ඩ් ටික දාලා ඩෙක්ස්ටොප් එකේ තියාගෙන ඉන්නවා. එහෙම නැතිනම් තවත් සමහරු කෙලින්ම ස්ටිකී නෝට් එකක ලියලා මේසේ අලවලා තියාගන්නවා. ඉතින් පාස්වර්ඩ් දාලා වැඩක් තියේද?

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *