එදිනෙදා ජීවිතේට වැඩිපුරත් එකක් තිබුණට කමක් නැති දේවල්!

මොනවද මේ දෙක දෙක තියෙන්න ඕන කියලා අපි කියන්නේ? ඒ කියන්නේ මෙහෙම දෙයක්. දැන් අපි එදිනෙදා පාවිච්චි කරන දේවල් ගත්තහම සමහර දේවල් වලින් වැඩිපුරත් එකක් තියෙන එක ඇත්තටම වැඩ කටයුතු පහසු කරගන්න උදවුවක්. හැබැයි ප්‍රශ්නේ මේකයි. ගොඩක් දෙනෙක් යම් කිසි දේකින් අමතර එකකුත් තියාගන්න එක තේරුමක් නැති දෙයක්, නාස්තියක් විදියට තමයි දකින්නේ. ඒත් අපි මේ කියන දේවල් වලින් අමතර එකක් තියාගන්න එකේ ප්‍රයෝජන කියවලා බැලුවහම තේරෙයි, ඒ හැම එකක්ම නාස්තියකට වඩා ආයෝජනයක් කියලා. හරි එහෙමනම් පටන් ගමු!

 

1. සපත්තු කුට්ටම් දෙකක්

මේක ගොඩක් දෙනෙක් නොහිතන කාරණාවක්. හැබැයි අපිට දිනපතා පාවිච්චියට එක සපත්තු කුට්ටමක් වෙනුවට සපත්තු කුට්ටම් දෙකක් තියෙනවා නම්, ඒ සපත්තු කුට්ටම් දෙකේම කල් පැවැත්මත් සැලකිය යුතු තරමකින් ඉහළ නංවා ගන්න පුළුවන්. ඒ වගේම පුද්ගලික සනීපාරක්ෂාවටත් ඒක ඉතාම වැදගත්.

 

දැන් ඔය සාමාන්‍යයෙන් එකම සපත්තු කුට්ටම සතියම දානකොට, ඒක පොඩ්ඩක් හුළං වදින්න තියන්න ඉස්පාසුවක් නැතිවෙනකොට, සපත්තු කුට්ටම ගඳ ගහන්න පටන් ගන්නවා. අර ජෝක් එකට කියන්නේ ගෙදර පූසා එහෙම සපත්තු කුට්ටම ඉව කළාට පස්සේ කලන්තෙ දාලා වැටෙනවා කියලා. ඒක බොරුමත් නෙවෙයි. සමහරුන්ගේ සපත්තු කුට්ටම් වලින් එන ගඳ මෙලෝ මිනිහෙක්ට උහුලගෙන ඉන්න අමාරුයි. ඉතින් එහෙම සපත්තු දෙකක් දිගටම දාන එක අපේ ශරීර සෞඛ්‍යයට හොඳ නෑ විතරක් නෙවෙයි, අපේ කාඩ් එකටත් හොඳ නෑනේ. හැබැයි සපත්තු කුට්ටම් දෙකක් මාරුවෙන් මාරුවට පාවිච්චි කරනවා නම්, ඔය ප්‍රශ්නේ නැතිවෙලා යන්නේ මැජික් එකකින් වගේ. ඒ වගේම එක සපත්තු කුට්ටමක් කෑලි හැලෙනකල් පාවිච්චි කරලා, තවත් සපත්තු කුට්ටමක් ඊලඟට ආයෙ කෑලි හැලෙනකම් පාවිච්චි කරන්න යන සම්පූර්ණ කාලෙට වඩා වැඩි කාලයක්, සපත්තු කුට්ටම් දෙකක් මාරුවෙන් මාරුවට දාලා පාවිච්චි කරන්න පුළුවන්. කල් පැවැත්ම වැඩියි!

 

2. මොනිටර් දෙකක්

මේ මොනිටර් දෙකේ කතාව ඇත්තටම මේ දවස් වල නම් ගොඩක් අයට වැදගත්. ඒ කියන්නේ ගෙදර ඉඳන් වැඩ කරන අයට. දැන් මෙහෙම හිතමුකෝ. අපි කම්පියුටරේ මොකක් හරි ඔෆිස් එකේ ඩොකියුමන්ට් එකක් ටයිප් කරනවා. එතකොට අපිට ඉන්ටර්නෙට් එකෙන් මොනවා හරි බලන්න වෙනවා ඒ ඩොකියුමන්ට් එකට ඕන දෙයක්. එතකොට අර ඩොකියුමන්ට් එක මිනිමයිස් කරලා ඉන්ටර්නෙට් යන්න බ්‍රවුසරේ ඕපන් කරගන්න වෙනවා. ඊට පස්සේ ආයෙමත් අර ඩොකියුමන්ට් එක මැක්සිමයිස් කරලා ටයිප් කරන්න වෙනවා. ඉන්ටර්නෙට් එකේ තියෙන මොකක් හරි දෙයක්, එහෙම නැතිනම් ඊමේල් එකේ තියෙන මොකක් හරි දෙයක් බලාගෙන ටයිප් කරන්න වුනොත් එහෙම බඩුම තමයි.

 

හැබැයි මොනිටර් දෙකක් තියෙනවා නම් කරන්න තියෙන්නේ ඩුවල් මොනිටර් එක්ස්ටෙන්ඩ් සෙටප් එකක් විදියට පාවිච්චි කරන එක තමයි. එක මොනිටරේක බ්‍රවුසර් එක. අනික් මොනිටරේ ඩොකියුමන්ට් එක. හිතාගන්න බැරි විදියට තමයි එතකොට කාර්යක්ෂමතාවය ඉහළ යන්නේ!

 

3. ඊමේල් එකවුන්ට් දෙකක්

මේක නම් ඉතින් සල්ලි යන කාරණාවක් නෙවෙයිනේ. හැබැයි ඊමේල් එකවුන්ට් දෙකක් විශේෂයෙන්ම වෘත්තිකයෙක්ට වැදගත්. ඒ කියන්නේ පුද්ගලික වැඩ කටයුතු වලට එක ඊමේල් එකවුන්ට් එකක් සහ වෘත්තිමය වැඩ කටයුතු වලට තව ඊමේල් එකවුන්ට් එකක් විදියට තමයි එකවුන්ට් දෙකක් තියෙන එක වැදගත් වෙන්නේ. ප්‍රධානතම දේ තමයි, ඒකෙන් තමන්ට එන ඊමේල් කළමනාකරණය ලේසි වීම. මොකද, සාමාන්‍යයෙන් අපි මේ ඩිජිටල් යුගයේ සබ්ස්ක්‍රයිබ් වෙලා ඉන්න දහසකුත් එකක් සේවා වලින් අපිට දිනපතා ඊමේල්ස් කීපයක් වත් ලැබෙන එක සාමාන්‍ය දෙයක්. හැබැයි එහෙම ගොඩගැහෙන ඊමේල් අතරේ ඔෆිස් එකට අදාළ ඊමේල්ස් ඇවිත් මිස් වුනොත් ඒක ප්‍රශ්නයක්. ඒත් ඔෆිස් වැඩ වලට වෙනම ඊමේල් එකක් තියෙනවා නම්, ඒකට එන්නේ වෘත්තියට අදාළ ඊමේල්ස් විතරයි කියලා අපි දන්නවනේ.

 

4. පෙන්ඩ්‍රයිව් දෙකක්

දැන් ඔන්න අපි යාලුවෙක්ව මුණගැහෙන්න යනවා. යාලුවා කියනවා එයාට ලැබෙනවා කියලා අපි හොය හොයා හිටපු ෆිල්ම් එකක්. හැබැයි ඉතින් ඒක දාලා තියන්න පෙන් එක තියලා යන්න වෙනවා. ඒත් කොහොමද පෙන් එක තියලා යන්නේ? අපිට වැඩ වලට පෙන් එක ඕන වෙනවනේ. හැබැයි අපි ගාව පෙන් දෙකක් තියෙනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. එක පෙන් එකක් තියලා යන්න පුළුවන්.

 

මේ ඇත්තටම පෙන් දෙකක් ඕන වෙන එක අවස්ථාවක් විතරයි. හොඳම දේ තමයි වෘත්තීය කටයුතු වලට, ඒ කියන්නේ ඔෆිස් වැඩ වලට එක පෙන් එකක් සහ තමන්ගේ පුද්ගලික කටයුතු වලට එක පෙන් එකක් විදියට පෙන් ඩ්‍රයිව් දෙකක් තියාගන්න එක. කිසිසේත්ම පාඩු නෑ.

 

5. ඩෙනිම් කලිසම් දෙකක්

මේක ඉතින් අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවෙයිනේ. අපි සාමාන්‍යයෙන් ඩෙනිමක් ගන්නේ පට්ට ගහන්න. ඕන තැනකට, ඕන ඇඳුමකට අඳින්න ඩෙනිම කියන්නේ ඉටු දෙයියෙක්. හැබැයි ඉතින් එකම ඩෙනිම තියාගෙන එක දිගටම පට්ට ගහන එක ඒ තරම් හොඳ නෑ. කාලයක් යනකොට අහළ පහළ ඉන්න අයගේ නාහෙට ඒක හොඳ නෑ වගේම ඩෙනිමේ ආයුකාලයටත් ඒක හොඳ නෑ. 

 

අන්න ඒ නිසා තමයි ඩෙනිම් දෙකක් තියෙන එක වටින්නේ. මාරුවෙන් මාරුවට පට්ට ගහන්න පුළුවන්. කල් පැවතීමත් වැඩියි.

 

6. ෆෝන්ස් දෙකක්

මේක සමහරුන්ට ෆෝන් දෙකක් වගේම සිම් දෙකක් වෙන්නත් පුළුවන්. දැන් අපිට ප්‍රධාන වශයෙන්ම වැඩියෙන් කෝල්ස් එන්නේ ලංකාවේ තියෙන ප්‍රධාන දුරකථන ජාලයන් දෙකෙන්. එකක් මොබිටෙල් හෝ ටෙලිකොම්. අනික ඩයලොග්. එතකොට මේ ජාලයන් අතරේ කෝල්ස් වලට ටිකක් වැඩිපුර ගාණක් යනවනේ. ඒ කියන්නේ මොබිටෙල් එකකින් ඩයලොග් එකකට ගත්තහම කැපෙනවා වැඩියි. හැබැයි අපිට ඩයලොග් සිම් එකක් සහ මොබිටෙල් සිම් එකක් කියලා දෙකක් තිබීමේ වාසිය එන්නේ මෙතනදී තමයි.

 

ඒ වගේම අපි හැමෝම පාවිච්චි කරන ස්මාට්ෆෝන් එක වගේම, අර දවස් දෙක තුන බැටරි අල්ලලා හිටින පොඩි ෆෝන් එකකුත් තියෙන එක එක්තරා විදියකට වාසියක් වෙනවා. විශේෂයෙන්ම ස්මාට්ෆෝන් එකේ බැටරි බැහැලා ගියපු හදිසි අවස්ථාවකට එහෙම පොඩි ෆෝන් එකක් අමතරව තියෙන එක ලොකු දෙයක්.

 

7. ජොබ්ස් දෙකක්

ඔව්. දැන් කාලේ විදියට ජොබ්ස් දෙකක් තියෙන එකත් ලොකු වාසියක්. මෙතනදී අපි ජොබ් දෙකක් කියලා කියන්නේ මෙහෙමයි. එකක් තමන් කරන ප්‍රධාන රැකියාව. අනික් එක සයිඩ් එකෙන් කරන පොඩි දෙයක්. ඒක ෆ්‍රී ලාන්සින් රැකියාවක් වෙන්න පුළුවන්. පොඩි සයිඩ් බිස්නස් එකක් වෙන්න පුළුවන්.

 

දැන් ඔය පහුගිය කාලේ අපි දැක්කා කාර් වල ගෙනැත් තියාගෙන එළවළු සහ පළතුරු විකුණනවා. එතකොට පෝක් සමග පොල් රොටි විකුණනවා. ඒවත් ඔය කියන විදියේ සයිඩ් බිස්නස් තමයි. තමන්ගේ නිවාඩු දවසේ පැයක් දෙකක් ඌබර්, පික් මී දිව්වත් ඒක පාඩු නෑ.

 

හැබැයි එකක්. ඔය හැම එකකින්ම දෙක දෙක තියෙනවා කියලා ගර්ල්ෆ්‍රෙන්ඩ්ස්ලා හරි බෝයිෆ්‍රෙන්ඩ්ස්ලා හරි දෙක දෙක පාවිච්චි කරන්න යන්න එපා. බඩුම තමයි. වැඩ ලේසි වෙනවා වෙනුවට තියෙන වැඩත් අවුල් වෙලා තමයි නතර වෙන්නේ, හරිය!

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *