හැරයාම දුකයි. ආදරයක් හැර යෑම ඊටත් වඩා දුකයි. කලා කෘති වලින් බොහොමයක මේ හැරයාමේ තියෙන වේදනාව ගැන සඳහන් වෙනවා. ඉතින් කලින් තිබ්බ ආදරය මොනා හරි හේතුවක් හින්දා කඩා වැටෙනවා. නැතිනම් ඒක අපිට මග හැරෙනවා. දැන් අලුත් ජීවිතයකට අපි හුරුවෙලා. කලින් තිබ්බ ආදරය එක්ක ඒ කාලේ තිබුන ජීවිත ස්ටයිල් එකට, ජීවිත වටිනාකම් වලට වඩා දැන් තත්ත්වය වෙනස්. ඒ මොක වුනත් අපිට පරණ ලව් එක මතක් වෙන අවස්ථා එනවා. ඒ ඇයි සහ එහෙම වෙන්නේ මොන වගේ තැන්වලද කියලා අපි ටිකක් කල්පනා කරලා බලමු නේද?
1. දැන් සම්බන්ධතාවයේ අබල දුබල තැන්
ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් කියලා තියෙනවා දොරක් වහනවා කියන්නේ අලුත් දොරක් ඇරීමක් කියලා. හැබැයි කලින් ආදරය නැතිවුණා කියලා අලුත් ආදරයක් පහල වෙන්නේ නැහැ. සමහර අය ආදරය නැති වීමත් එක්ක අලුත් ජීවිතයකට, අලුත් විනෝදාංශ වලට හුරු වෙනවා. ඒත් ඒ මොක වුණත් ඒවායේ යම් අසාර්ථකවීම්, කඩාවැටීම් එනවා. අපි හිතමු ආදරය කඩා වැටීම එක්ක කෙනෙක් අලුත් රස්සාවකට යනවා කියලා, මොකද කලින් රස්සාවෙදි පැරණි ආදරවන්තයා නිතර මුණ ගැහෙන නිසා. ඒත් අලුත් තැනකට ගියත් එතැන ඇතිවෙන නොයෙක් කළකිරීම් වලදි පරණ වැඩ කළ තැන වගේම පරණ ලව් එකත් මතක් වෙනවා.
2. ස්මාරක සිහි වීම
ආදරයක් මුලින්ම ප්‍රකාශ වීමේ ඉඳන් ආදරය ගලා යෑමේදි විවිධ දේවල් හමු වෙනවා. ආදරවන්තයින් උයන් වතු සිනමා හල් වල හමු වෙනවා, ඇවිදිනවා, යම්යම් ගෙදරට මාට්ටු වීම් ආදිය එනවා, ආදර සම්බන්ධතාවයට බාධාවන් එනවා. ඒ හැම එකක් එක්කම මතක සටහන් අපිට ඉතුරු වෙනවා. කලින් එයා එක්ක ගිය බස් එකේ ආයේ දවසක යන්න වුණොත් ඒ කලින් දෙන්නා එක්ක ගියපු මතකය අලුත් වෙනවා. කලින් ගියපු උයන, සිනමා හල ගැන වෙන අය කතා කළත් එයා ගැන නිතරම මතක් වෙනවා. කොටින්ම ෆිල්ම් එකක කතාවක යන කතාව අපේ පරණ කතාවට සමීප නම් එතනදි අපි නොදැනීම අපිට හීල්ලෙනවා.
3. වැටුණු වෙලාවට
පොඩි කාලෙනම් සෙල්ලම් කරන්න ගියාම වැටෙනවා, පෙරළෙනවා ආයේ නැගිටලා දුවනවා. ආදරය එක්ක ඉද්දි අපි වැටුණාම අපි ගැන එයාල සළකා බලන විදිහක් තියෙනවා. අපේ ඉගෙනගන්න වැඩක ප්‍රශ්නයක්, වෙනත් කරදරකාරයෙක් සම්බන්ධ ප්‍රශ්නයක්, එතකොට ලෙඩ දුකක් වගේ දේවලදි එයා ඉද්දි එයා ඒවා ගැන කටයුතු කරන ආකාරය ගැන අපේ මතකයේ තියෙනවා. ලෙඩ ඇඳේ ඉද්දි, බෙහෙත් බොන්න කම්මැලි වෙද්දි එයා කතාකරලා ආදරෙන් බේත් බොන්න කියලා ආයාචනා කරන හැටි අපිට මතක් වෙන එක වළක්වන්න බැහැ. ඒ වගේ අපි එදිනෙදා ජීවිතේදි යම්යම් වැටීම් වලට මුහුණ දෙන අවස්ථාවලදි, කලින් ඒවගේ අවස්ථාවලදි හෙවනැල්ලක් වගේ අපේ ලඟ ඉඳන් අපිව දිරිමත් කළ එයාව මතක් වෙනවා.
4. පන්තියේ යාලුවෝ ඉඳහිටත් මුණ ගැසී…
ඔයා කෝ අහනවා ඉතින්. කියලා ගීයක් තියෙනවා. පන්තියේ යාලුවෝම නොවුණත්, ආදරය කරන කාලේ එකට ඉඳලා කොහෙ හරි අතුරුදන් වෙච්ච යාලුවෝ, හිතවතුන් ඉන්නවා. අපි ආදර කතාව අමාරුවෙන් හිතෙන් ඈත්කරගෙන ඉද්දි ඔන්න අර පරණ යාලුවෙක් හරි ආදරයට සප් එක දීපු මළ යකෙක් හිටි ගමන් කඩා පාත් වෙනවා. එතකොට අපි අමාරුවෙන් හදාගෙන හිටපු හිත ආයෙම පෑරෙනවා… සමහර විට අවුරුදු ගාණක් ගිහින් දැන් වෙනමම ලයිෆ් එකකට එන්ටර් වෙලා උන්නත් පරණ යාලුවෝ සෙට් වුණාම ආයෙ හම්බුනේ වත් නැද්ද බන්? කියලා අහලා අපේ පරණ ලව් එක අපේ ඔලුවට ආයෙත් දාන්න හදන වෙලාවන් තියෙනවා.
5. උපදෙස් ඕනි අවස්ථා…
ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ කච කචය වෙලාවකට කන්දොස්කිරියාවක් වගේ වුණත් ඒක නැති වුණාම අප්සැට් එකක් දැනෙනවා. බෝයි වුණත් එහෙමයි. වැඩකරන තැන, ඉගෙනගන්න තැන, මගතොට ප්‍රශ්නවලදී අපිට උපදෙස් දෙන්නට, අපේ තියෙන වැරදි පෙන්වා දෙන්නට ආදරය ලඟ හිටියා ඒ කාලේ. දැන් වෙනත් ආදරයක් තිබුණත් සමහර ප්‍රශ්න වලදී එයාගේ උපදෙස් දීම්, එයාගේ දැනමුතුකම් අපිට වඩාත් සමීප වෙනවා. සමහර අය ආදරය එක්ක කේන්තියත් සමීපව ගෙනියනවා. ඒ වගේ අය කේන්තියෙන් බැනපු දේවල් වුණත් අමතක කරන එක ලේසි වැඩක් නෙමෙයි.
6. සෝෂල් මීඩියා
සෝෂල් මීඩියා නිසාත් කලින් කෙනාව අමතක කරගන්න අමාරුයි. තනිවෙලා රෑ නින්ද එනකල් ඇඳේ ඉද්දි අපිට හිතෙනවා අඩේ එයා මොනා කරනවා ඇතිද කියලා චෙක්කරලා බලන්න. එතකොට එයා අලුත් කෙනා එක්ක කොහේ හරි ගිහින් ලස්සන පොටෝ දාල තිබ්බොත් අපේ අහිංසක හිත ආයෙත් රිදෙනවා. මේක කිහිප වතාවක් වුණත්, මාසයකට දෙතුන් වතාවක් හරි එයාගේ ප්‍රොෆයිල් එකට ලොග්වෙලා බලන, හොයන එකෙන් ගැලවෙන්න ටිකක් අමාරුයි. ඉතින් සෝෂල් මීඩියාත් එයාව අමතක කරන්න අපිට බාධාවක් වෙනවා.
7. මිනිස්සු සමාජ බැඳීම් සහිත සතුන් වීම
කෙනෙක් සම්බන්ධතාවයක් ඇතිකරගැනීම සතෙක් ක්‍රොස් කරනවා වගේ සරල දෙයක් නෙමෙයි. ආදර සම්බන්ධතාවයක ලිංගික අංශයකුත් තිබුණත් බොහෝවිට මනසින්, සිතුවිලි වලින් සම්බන්ධතාවයක පදනම ශක්තිමත් කරනවා. වෙනත් සතුන් ඉන්නවා ඔවුන්ට සමාජ ජීවිතයක් ගැන වැඩි මෙව්වා එකක් නැහැ. එත් මිනිසාට තියෙන ලොකු මොළය එක්ක ඔවුන්ට සමාජ බැඳීම්, සමාජ ගනුදෙනු වලටත් යම් අවකාශයක් ජීවිතයෙන් වෙන් වෙනවා. ඉතින් කෙනෙක්ට සම්බන්ධකම් ඇතිකරගන්න තරම් ආශ්වාදයකින් සම්බන්ධතාවයන් නැති කරගන්න අමාරුයි. පරණ ලව් එක අමතක කරන්න බැරිවෙන්න අපි මිනිස්සු වීමත් එක්තරා ප්‍රබල හේතුවක් වෙනවා.
අපේ බැඳීමක තියෙන වේදනාව නැති කරගන්න සම්පූර්ණයෙන් බැඳීම් ඔක්කොගෙන්ම ඈත්වීම හොඳ විකල්පයක් නෙමයි. අපි මොනවා වුනත් අවසානයේ කිව්වා වගේ සමාජීය සත්වයෝ නිසා අපිට සමාජ සම්බන්ධකම් වුවමනා වෙනවා. ඒ නිසා අලුත් ලවු එකකට යන්න පුළුවන් නම් හෝ තියෙන අලුත් ලව් එක තවත් වැඩිදියුණු කරගන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේම පරණ ජීවිතය පැරණි සිතුවමක් වගේ හදවතේ තිබුණත් අලුත් ජීවිතය වඩාත් තෘප්තිමත්ව ගතකරන්න අපිට අවස්ථාව ලැබෙනවා නම් පරණ ආදරය වෙන් වීමේ වේදනාවට අපිට තදට මුහුණ දෙන්නට වෙන එකක් නැහැ.
Leave a Reply