ගහන්න කලින් දෙපාරක් හිතන්න ඕනෑ භයානක ටැටූ වර්ග 7ක්!

ටැටූ කියන්නේ දැන් කාලෙ තරුණ තරුණියන් අතරේ ඉහළින්ම තියන ෆැෂන් ට්‍රෙන්ඩ් එකක්. හැමෝගෙම ශරීරයේ පුංචි හරි ටැටූ එකක් තියන තරමට මේ වෙද්දි ටැටූ අපේ සමාජයේ සාමාන්‍යකරණය වෙලා. ටැටූ ගහන උදවියත් තේරුමක් ඇතුව හෝ නැතුව තමන්ට හොඳයි කියලා හිතෙන ටැටූස් කොටාගන්න පෙළඹිලා තියනවා. 

ඒත් එහෙම අපිට හිතෙන පළියට හැම ටැටූ එකක්ම ගහන එක හොඳද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. මොක​ද සමහර ටැටූ වර්ග තියනවා ඒවායේ තියෙන්නේ තරමක් නරක හෝ භයානක අර්ථයක්. ඒ නිසා මේ විදිහෙ ටැටූ එකක් ගහන්න හිතනවා නම් ඒවායේ තේරුම ගැනත් හොඳට අවබෝධ කරගෙන තමයි තීරණය කරන්න වෙන්නේ ගහනවද නැද්ද කියලා…

 

1. කඳුළු බින්දුව (Tear Drop)

සිරකරුවන් අතර බෙහෙවින් ජනප්‍රිය ටැටූ එකක් තමයි මේ ඇස් අග්ගිස්සේ කොටන කඳුළු බින්දුවක ටැටූ එක. මේ ටැටූ එකට තේරුම් ගොඩක් තියනවා. ඉන් ප්‍රධානම එකක් තමයි මේ විදිහේ ටැටූ එකක් ගහගත්ත පුද්ගලයා හිරේ ඇතුළෙදී තව කෙනෙක් අතින් ලිංගික බලහත්කාරකමකට ලක් වුණාය සහ දැන් ඔහු අයිති ඒ බලහත්කාරකම ක​ළ පුද්ගලයාටය කියන එක පෙන්වීම. ඒ වගේම තමන් තව කෙනෙක්ව මරා දමා ඇති බව සංකේතවත් වෙන්නත් මේ ටැටූ එක ගහන බවයි දැනගන්න ලැබෙන්නේ. වෙනත් භයානක නොවන හේතු නිසාත් මේ ටැටූ එක ගැහුවත්, වඩාත්ම ජනප්‍රිය තේරුම් දෙකනම් ඒ තරම්ම හොඳ නැති නිසා මේ ටැටූ එක ගහන්න කලින් දෙපාරක් හිතන්න ඕනෙ එකක්.

 

2. මකුළු දැළ (Spider Web)

මේක අද කාලේ නිතර දකින්න ලැබෙන ජනප්‍රිය ටැටූ එකක්. ගොඩක් දෙනා මේ ටැටූ එක කොටාගන්නේ තමන්ගේ වැළමිට ප්‍රදේශ​යේ තමයි. විහිදිච්ච මකුළුදැලක් ටැටූ කරන එක ඉතාම ජනප්‍රිය වෙන්න පටන් අරන් තියෙන්නේ 1970 සහ 80 දශකවලදී සිරකාරයින් අතරයි. මේ ටැටූ එක මගින් සංකේතවත් වෙලා තියෙන්නේ තමන් දීර්ඝ කාලයක් හිරේ හිටියයි කියන එකයි. ඒ වගේම මත් ද්‍රව්‍යවලට තියෙන ඇබ්බැහිකම සංකේතවත් කරන්නත් මේ ටැටූ එක භාවිතා කළාලු.

 

3. 1488

14 සහ 88 හැටියටත් මේ ටැටූ එක හඳුන්වනවා. මේකත් වර්ගවාදී මැර කල්ලි අතර ජනප්‍රිය ටැටූ එකක් හැටියටයි සැළකෙන්නේ. මේ ටැටූ එකේ 14 කියන ඉලක්කමෙන් ඩේවිඩ් ලේන් නම් නාසි නායකයෙක්ගේ වචන 14කින් යුතු කියමනක් අර්ථ ගැන්වෙනවලු. ඒ කියමනෙන් කියවෙන්නේ “අපි අපේ මිනිසුන්ගේ පැවැත්ම සහ සුදු (හමැති) දරුවන්​ගේ අනාගතය ආරක්ෂා කර ගත යුතු​ය” කියන එකලු. ඒ වගේම 88 කියන ඉලක්කමෙන් සංකේතවත් වෙන්නේ HH එහෙමත් නැත්නම් Hail Hitler කියන එකලු.

 

4. දියකිඳුරිය (Mermaid Tattoo)

මේක ඇත්තටම බොහොම අලංකාර ටැටූ එකක් හැටිය​ට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම බොහොම නිර්මාණශීලී, අහිංසක ටැටූ එකක් හැටියටත් අපිට පෙනෙන්නක්. හැබැයි අතීත කාලයේදී නම් මේ විදිහේ දියකිඳුරියක් පච්චා කොටා ගන්න එකෙන් අර්ථවත් වෙලා තියෙන්නේ බොහොම නරක දෙයක්. තමන් බාල වයස්කරුවෙක්ව හරි කුඩා ළමයෙක්ව හරි ලිංගික අපචාරයකට ලක් කළාය කියල කියන්න ​තමයි මේ ටැටූ එක ඒ කාලයේ කොටාගෙන තියෙන්නේ. ඒ අඳුරු ​තේරුම අමතක කරලා ගත්තොත් මේ දියකිඳුරි ටැටූ එක ඇත්තටම ලස්සන ටැටූ එකක්ය කියලා අපිට කියන්න පුළුවන්.

 

5. කටු කම්බි (Barbed Wire)

මේ ටැටූ එකත් මකුළු දැල් ටැටූ වගේම අත්වල බහුල වශයෙන් ගහගන්නා ටැටූ එකක්. හැබැයි මේ ටැටූ එක පිටිපස්සේ තියෙන තේරුම් නම් ඒ තරම් සුන්දර නැහැ. මේ විදිහේ ටැටූ එකකින් තමන් වරදක​ට සිර දඬුවම් ලබපු කෙනෙක් බවට සංකේතවත් වන බවයි කියවෙන්නේ. කම්බියේ තියෙන කටු කම්බි ඇණ ගණනින් ඒ කෙනා හිරේ ගත කරපු අවුරුදු ගණන සංකේතවත් වෙන්නලු මේ ටැටූ එක නිවැරදිව කොටන්නේ. ඒ නිසා මීට පස්සේ කටු කම්බි පොටවල් ටිකක් ටැටූ කරගන්න කලින් මේ ගැන පොඩ්ඩක් හිතලාම ඉන්න වෙයි.

 

6. බළල්ලු

බළල් ටැටූත් අද කාලේ අපිට එහෙන් මෙහෙන් හරි දැකගන්න ලැබෙන ටැටූ විශේෂයක්. බළල් ටැටූ ගහන්න කලින් දෙපාරක් හිතන්න වෙන්නේ අතීතයේදී බළල් ටැටූ ගහන්න පෙළඹිලා තියෙන්නේ සොරකම්වල යෙදුණු පුද්ගලයො වීම නිසයි. තමන් කරන සොරකමේ ස්වභාවය පෙන්වන්න මේ අය බළල් ටැටූස් යොදාගෙන තියනවා. උදාහරණයකට කිවුවොත් තනි බළලෙක් කොටා ගැනීමෙන් තමන් තනිවම හොරකමේ යෙදෙන පුද්ගලයෙක් බවත්, බළලුන් පිරිසක් කොටා ගැනීමෙන් තමන් සොර කණ්ඩායමක සාමාජිකයෙක් බවත් අර්ථ ගැන්වෙනවලු.

 

7. කුරුසිය

කුරුසිය පපුව මත පච්චා කොටා ගන්න එක තමයි භයානක වැඩක් හැටියට සැලකෙන්නේ. මොකද ඒක රුසියාවේ ​අතිශයින්ම භයානක මාෆියා අපරාධකරුවන්ට විතරක් උරුමයි කියලා සැලකෙන ටැටූ එකක්ලු. ඉතින් වැරදිලාවත් මෙහෙම ටැටූ එකක් නොදන්නාකමට ගහගන්න කෙනෙක් ගැන වැරදි වැටහීමක් ඇති වුණොත් එයාට සමහරවිට ජීවිත අනතුරකටත් මුහුණ දෙන්න සිද්ධ වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *